2020 මැයි 22 වන සිකුරාදා

ත්‍රස්තයන් පසුපස ලෝකය සිටගනිද්දී යුද්ධය ජයගත් රණවිරුවෝ

 2020 මැයි 22 වන සිකුරාදා, ප.ව. 04:19 204

ත්‍රස්ත බියෙන් ත්‍රස්තව සිටි යුගය නිමාවී දශකයකුත් වසරක් ගෙවුණේය. ජාතියක් ලෙස අපට හැරී බලන්නට අතීතයක් මෙන්ම සිතා බලන්නට වර්තමානයක් ද ඉතිරිව තිබේ. පැහැබර අනාගතයක් පිණිස යුද්ධය පිළිබඳ නූතන කියවීමකට අප සැරසිය යුතුමය. එය යුගයේ අවශ්‍යතාවක් පමණක් නොව අනාගතය විසින් අප සැමගෙන් කරනු ලබන සාධාරණ ඉල්ලීමකි.

යුද්ධයට සුජාත උපතක් කිසි කලෙකවත් නොවීය. ඒත් හැම යුද්ධයකටම නිශ්චිත අවසානයක් පවතිනු ඇත. පසුගිය සතියේ අප සැමැරුවේ සූජාත උපතක් නොමැති යුද්ධයක් නිශ්චිතව අවසන් කළ දිනයයි. යුද්ධයට හේතු වූ කරුණු කවරක් වුවත් යුද්ධය නිමා වූ පසු මිනිසුන්හට අකාලයේ බිහිසුණු මරණ අත් නොවේ. ඒ නිසාම යුද්ධයක් නිමාවූ දිනය සමරන්නට පරම පවිත්‍ර අයිතියක් යුද්ධය නිමාකළ මිනිසුන්ට ඇත්තේය.

භීෂණයෙන් වෙලී තිබූ රටට සාමය උදාකිරීම සඳහා අපේ රණවිරැවන් හා ඔවුන්ගේ පවුල් විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කළා. යුද්ධය රෝස මල් යහනාවක් නොවෙයි. විශේෂයෙන්ම නීතිය පිළිනොගන්නා ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමඟ සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම්වලට හා දුෂ්කරතාවන්ට මුහුණදෙන්නට සිදුවෙනවා. ඒ අවුරැදු 30 ඇතුළත, එක් ප්‍රදේශයක නෙමේ, රටේ සෑමතැනකම අසරණ සිවිල් මිනිසුන් මියගියා. මරාගෙන මැරෙන බෝම්බකරැවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලිවලට බෝම්බ ගැසීම් ආදිය නිසා, මේ රට තුළ විශාල ජීවිත සහ දේපළ විනාශයක් ඇතිවුණා. මානුෂිය මෙහෙයුමේ අවසාන අරමුණ වුණේ රටට දීර්ඝකාලීන සාමය උදාකර දීමයි.

යුද්ධය නිමාවී වසර එකොළහක් ගෙවුණු තැන විජයග්‍රහණයේ සැමරැමේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය සිදුකළේය. යුද්ධයේ සහ සාමයේ අන්තර් සම්බන්ධය කියවා ගැනීම මේ කතාව යොදා ගතහැකිය.

සැබවින්ම යුද්ධය රෝස මල් යහනාවක් නොවන බව අප අනාගත පරපුරට කියාදීමට අවැසිය. අප යුද්ධ කළේ දීර්ඝකාලීන සාමයක් වෙනුවෙන් බවද අනාගත පරපුරට කියා දීමට අවශ්‍යය. මක්නිසාදයත් යුද්ධයට හේතුවූ ඊළාම් මතවාද මෙරට මෙන්ම එතෙරද පොහොර පස් දමා වගා කරන්නෝ බොහෝ වෙති. මතු යම් දිනෙක කවර සන්නද්ධ බල පරාක්‍රමයක් විසින් මර්දනය කළද ඉඩ ලැබෙන ඇසිල්ලක නැවත යුද්ධයක් සඳහා අවැසි වාස්තවික තත්ත්වයන් අප රට තුළ නිර්මාණය විය හැක.

ලොවපුරා රටවල් පහළොවක පමණ ලොකු කුඩා සංවිධාන හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් ඒකීය ශ්‍රී ලංකාවකට එරෙහිව සක්‍රීයව කටයුතු කරමින් සිටිති. ඔවුන්ගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසීයක් පමණ බවද දැනගන්නට ලැබේ. අනෙක් අතින් මෙරට තුළ වර්ගවාදී මතවාද පතුරැවා හරින වෛරය වපුරන සිංහල ජාතික සංවිධාන යැයි කියාගන්නා පිරිස් රැසක්ද නිදහසේ ක්‍රියා කරමින් සිටිති. ගින්දරත් පුළුනුත් දෙකොනක නමුත් සෑහෙන පරිමාවකට සුරක්ෂිතව තිබේ. මේ අවදානම තේරුම් ගැනීමට නම් යුද්ධයේ ඉතිහාසය දෙස බලා අප යාවත්කාලීන විය යුතුය.

හැත්තෑව දශකයේ උතුරේ සන්නද්ධ ව්‍යාපාර ඇරඹුණු නමුත් පනහ හැට දශකවල මෙරට දේශපාලන භාවිතයන් ඊට සාධක වූ බව අප අවබෝධ කර ගත යුතුය. කෙසේ වෙතත් 1983 ජූලි 23 වැනි දින හමුදා මුර සංචාරයකට යාපනයේදී පහරදීම තෙක් පූර්ණ යුද්ධයක් මෙරට හටගෙන නොතිබුණි. සෙබළුන් 13 දෙනෙක් මියගිය එම ප්‍රහාරයෙන් පසු ඇරඹි ජාතිවාදී කැරුල්ල ඊළම නම් අවජාතක දරැවාට ව්‍යාජ සුජාත බවක් සැපයූ බව අද අප පිළිගත යුතුමය.

ඉතිහාසය ඒ අයුරින්ම නැවත නැවත සිදු නොවන නමුත් ලොවපුරා ගැටුමකට අවශ්‍ය කරුණු පෙළ ගැසෙන්නේද ගැටුම් යුද්ධය බවට පත්වන්නේද එකම ක්‍රමයකටය. වෙල්වෙටිතුරේ ඉපිද වෙල්ලමුල්ලි වෛක්කාල්වලදී අවසන් ගමන් ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් යුද්ධය අවසන් නමුදු යුද්ධයට හේතු වූ මතවාද අවසන් නැත. පසුගිය කාලේ එම මතවාද ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණි. කෙසේ නමුත් මතවාදවලට එරෙහි යුද්ධය මතවාදී වන අතර සන්නද්ධ නොවන බව වර්තමාන පාලකයන්ද තේරුම් ගතයුතුය.

උතුරේ ප්‍රශ්නය දිනා ගැනීමට නම් උතුරට භෞතික සංවර්ධනය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නැත. උතුරේ ජනතාවට ඇති සැබෑ ප්‍රශ්නය රාජ්‍ය නොවන සංවිධානවල හෝ එක් එක් දේශපාලන ව්‍යාපෘතිවල කොටස් වීමට ඉඩ හැරීම සුදුසු නොවේ. උතුරේ මිනිසුන්ට එහෙම ප්‍රශ්නයක් නැතැයි කියමින් සිටීම හරහා ඇත්තෙන්ම අසාධාරණයට ලක්වන්නේ දීර්ඝකාලීන සාමයක් වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ය. එමනිසා උතුරු නැගෙනහිර දෙසට අලුත් දැක්මක් සහිත ප්‍රවේශවීම වර්තමාන පාලනය සමත්විය යුතුමය. 

කෙසේ නමුත් විජයග්‍රහණය සමරණ මොහොතේ දකුණේ තැන තැන ඇසෙන මෙම කතා සම්බන්ධවද අප අවධානය යොමුකළ යුතුය.

අද රණවිරුවෝ කියන අය එදා යුද්දෙට ගියේ දුප්පත්කමට. මැරිච්ච දෙමළ කොල්ලොත් අපි වගේම මිනිස්සු. මේක ජයග්‍රහණයක් නෙවෙයි සමරන්න. යුද්දෙන් පරාද කළාට උන්ගේ මතවාදේ පරාද කරන්න පුළුවන්ද? උතුරේ අම්මාත් තාම අඬනවා...
මේ බොහෝ කතා බෝසත් කතා මෙන් පෙනුණද ඒවා තුළ වන්නේ දේශපාලන මතවාද සහ ව්‍යාපෘති බව අවබෝධ කොට ගතයුතුය. යුද්ධ ජයග්‍රහණය බාල්දු කිරීමට මේ ආදී ප්‍රකාශ යොදාගැනීම ඛේදනීය තත්ත්වයකි. යුද්ධය නිමා කිරීමට දායකත්වය සැපයූ දේශපාලන නායත්වය සහ හමුදා නායකත්වයට අප නොවලහා ඒ ගෞරවය පිදිය යුතුය. එකොළොස් වසරකට පෙර අප නිමා කළ යුද්ධය කිසිසේත් සරලව ගත නොහැකිය. යුරෝපය ප්‍රමුඛ ජාත්‍යන්තර බලවේග රුසක් ත්‍රස්තයන්ගේ පසුපසින් හිට ගනිද්දී කෝටි ගණනින් ආධාර මුදලක් ත්‍රස්තයන් සතුවෙද්දී අති නවීන ආයුධ ඔවුන් සතුවෙද්දී ලැබූ ඒ ජයග්‍රහණය විශ්මිතය.

අන්තවාදීන්ට අවශ්‍යවන්නේ  අපව බෙදා වෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන, දේශසීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන, යුධ බිය ජනජීවිතයේ කොටසක් බවට වූ, තවත් එක් අවාසනාවන්ත, බෙදුණු රටක් බවට ලංකාව පත් වෙනවා. ඒ ව්‍යසනයෙන් රට මුදවාගැනීමේ ගෞරවය, දීර්ඝකාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලුම වීරෝධාර රණවිරුවනට ලබාදිය යුතුයි.

දශක 3ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න ඇතුළු සියලු රණවිරුවන්ව අප මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

අවසන් සටනේ පමණක් නොව යුද්ධය පුරාවට ජීවිත පූජා කළ රණවිරුවන්ට තිබුණේ යුද්ධය නිමාකිරීම පිළිබඳ බලාපොරොත්තුවයි. යුද්ධය මතින් දේශපාලන කිරීමට වුවමනා වූයේ ඉතිහාසය පුරා සිටි දේශපාලකයන්ටයි. ඒ නිසාම යුද්ධයේ සමරැවේදී අපි අදිටන් කර ගත යුත්තේ අනාගතයේ කවරදාවකවත් මෙම යුද්ධයට හේතුවූ කරුණු තවත් තවත් යුද්ධයකට හේතු නොවීමට වගබලා ගැනීමටයි. ඒ සඳහා කළ හැකි එකම දෙය යුද්ධය රෝස මල් යහනාවක් නොවන බව අනාගත පරපුරට කියාදීමයි.

 චමිඳු නිසල් ද සිල්වා