2020 මැයි 16 වන සෙනසුරාදා

කොටස් වෙළඳපොළේ තත්පර 38 කඩා වැටීම

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 244

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකය පසුගිය මැයි එකොළොස් වැනිදා ගනුදෙනු තත්ත්පර තිස් අටකට සීමා විය. එය ඉතිහාස ගත වන කරුණකි. කොවිඩ් -19 වයිරසයේ බලපෑම සලකා සති  හතක් වෙළෙඳ පොළ ගනුදෙනු නතර කරන්නට විනිමය හා සුරැකුම් කොමිසම තීරණය කර තිබුණි. එම තීරණය නිවැරදි එකක් නොවන බව දැනට සිදුවන සිද්ධි මැනැවින් දක්වයි. වෙළෙඳපොළ ගනුදෙනු නිසි පරිදි සිදුවෙන්නට ඉඩහැර ක‍්‍රමානුකූලව ඉල්ලුම හා සැපයුම පාලනය වෙන්නට ඉඩදුන්නේ නම් මෙවැනි බරපතල ක්ෂණික කඩාවැටීමක් සිදුනොවන බව දැක්විය යුතුය. රටට ආයෝජන අවශ්‍ය, ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත යුතුම මොහොතක කොටස් වෙළෙඳාම වැනි වැදගත් සංකේතයක් මුහුණ දී ඇති ඉරණම බලවත් අවධානයකට ලක් විය යුතුය.

විශ්වාසය ආර්ථිකයක හැසිරීමට බලවත් පදනමකි. විවෘත ආර්ථක ක‍්‍රමය තුළ විශ්වාසය තහවුරු කරන අන්දමට තීන්දු තීරණ ගත යුතුව ඇත. එයට හේතුව රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද වැදගත් පාර්ශවයක් සේ ක‍්‍රියා කරන හෙයින්ය. පුද්ගලික අංශය තමන්ගේ ධනය ආයෝජනය කරයි. ආරක්ෂා කරගැනීම හා ලාභ උපයන තත්ත්වයට ගෙනයෑම එකම අරමුණය. සුරක්ෂිතභාවය තහවුරු කරන අතර ආයෝජන වලට නිසි අවස්ථාව ලැබෙන පරිදි නීති රීති හා යටිතල පහසුකම් සම්පාදනය ආණ්ඩුවක වගකීමකි. පසුගිය මාස කිහිපය තුළ කොටස් වෙළෙඳාම වර්ධනය වන ආකාරය දේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණයට හේතු වී තිබුණි. පර්යේෂකයන් දක්වන ආකාරයට මෙරට වාණිජ බැංකු පොලී අනුපාත අඩුවෙමින් පැවැති අතර එයට සාපේක්ෂව කොටස් වෙළෙඳාමේදී ලැබෙන ප‍්‍රතිලාභ ඉහළ යමින් තිබුණි. යම් අවදානමක් ඇතත් එය නොසලකා යළි යළිත් කොටස් මිලදී ගැනීමට දේශීය ආයතනික සහ සුළු ගනුදෙනුකරැවෝ යුහුසුළු වෙමින් සිටියහ. කොවිඩ්-19 වසංගතය පැතිරී සමාජය අවහිරවීම එම වාසිදායක තත්ත්වයට අවහිරයක් විය.

• පොලිස් ඇඳිරි නීතිය කොටස් වෙළෙඳාමට

රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී කොවිඩ් -19 වයිරසය පැතිරෙන විට ජන ජීවිතය පාලනය කළ යුතු බව රජය තීරණය කළේය. සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත් සාධකයක් වූ අතර සියලු අවස්ථා පාලනය කරන තීරණ ගෙන තිබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළද එයට නිරායාසයෙන්ම අවනත විය. ඇත්ත වශයෙන්ම කොටස් වෙළෙඳාම එවැනි අවහිරවීමක් අපේක්ෂා නොකරන ලද බව නිසැකය. සම්පූර්ණයෙන්ම පරිගණක තාක්ෂණයෙන් පවත්වාගෙන ගිය ගනුදෙනු සඳහා ආයෝජකයන් සම්බන්ධ වූයේ දුරස්ථවය. සජීවීව ගනුදෙනු දැකගැනීම සඳහා ඇතැම් සුළු ආයෝජකයන් තැරුව්කාර සමාගම්වල පුවරු දෙස බලා සිටින්නට ඇබ්බැහි වී සිටි නමුත් එය අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. සමාජ දුරස්ථකරණය තිබිය දී කොටස් වෙළෙඳ පොළ පවත්වාගෙන යා හැකිව තිබුණ නමුත් මෙම අර්බුදයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මිල ගණන් පහත යන්නට ඇති අවදානම සලකා තාවකාලිකව වසා දමන සේ ඇතැම් පිරිස් බලධාරීන්ට යෝජනා කර තිබේ. පසුගිය මාර්තු 20 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා පුරා සති හතක් සම්පූර්ණයෙන්ම කොටස් වෙළෙඳාම නතර කරන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ලෝකයේ අනෙක් රටක මෙවැනි වසා දැමීමක් සිදුවූයේ නැත. ශ‍්‍රී ලංකාව බෝම්බ පිපිරෙන අතර කොටස් හුවමාරුව කරගෙන ගිය රටකි. මෙපමණ කාලයක් නැතත් සුළු කාලසීමාවකට බංගලාදේශයේ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබුණි. ඇමරිකානු සෙනෙට් සභිකයන් ඇතුළු පිරිස් එරට නිව්යෝක් හා නැස්ඩැක් වෙළෙඳ පොළ තාවකාලිකව වහන සේ යෝජනා කළ නමුත් ‘‘ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට නම් කොටස් වෙළෙඳපොළ විවෘතව තිබිය යුතු බව’’ ඇමරිකානු ජනාධිපතිවරයා එකහෙලා කියා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව, පකිස්තානය හා යුරෝපා රටවල් කිසිම අවස්ථාවක කොවිඩ්-19 වසංගත තත්ත්වය තර්ජනයක් සේ සලකා කොටස් වෙළෙඳාම නතර කළේ නැත. එම වෙළෙඳ පොළ ගනුදෙනු දුර්වල වී මිල ගණන් පහත වැටුණ නමුත් ජනවාරි හා පෙබරවාරි කාලයේ පහළ ගිය උනන්දුව මාර්තු හා අප්‍රේල් වල නංවා ගන්නට සමත් වී තිබුණි. 

• තත්ත්පර තිස් අටක වෙළෙඳාමකින් කොළඹ ඉතිහාසයට

ඉකුත් සඳුදා ගනුදෙනු අරඹන කොටස් වෙළෙඳපොළ තත්ත්පර තිස්අටක් තුළ තාවකාලිකව වහන්නට සිදුවිය. කලින් ගනුදෙනු දිනයට වඩා සියයට දහය ඉක්මවා දර්ශක පහළ ගියහොත් තාවකාලිකව නතරකර යුහුසුළු භාවය පාලනය කරන පියවරක් විනිමය හා සුරැකුම් කොමිසම අනුගමනය කරයි. 2009 ජනවාරි 02 හඳුන්වා දුන් එම නීතිය ඉකුත් මාර්තු මාසයේ පමණක් දින හතරක දී බලගන්වන ලද අතර වෙළෙඳ පොළ පරිවර්තනය වෙමින් තිබුණ දුර්වල ස්වභාවය මෙයින් පැහැදිලිය. දිගින් දිගටම කොටස් මිල පහත වැටී තමන්ගේ ධනයට හානි සිදුවනු ඇති බවට නිගමනය කළ කණ්ඩායමක් වහාම කොටස් වෙළෙඳ පොළ වසන සේ යෝජනා කරන ලද බව ප‍්‍රකාශ වෙයි.  තාවකාලික සුරක්ෂිතබවක් තහවුරු වූ නමුත් වෙළෙඳ පොළ විවෘත කරන ලද වහා නැවතත් නැවතත් ඉල්ලුම පහළ යන බව දැකගත හැකිය. ගනුදෙනුකරුවන් තුළ ඇතිවෙමින් තිබුණ පීඩනය සාමාන්‍ය පරිදි නිදහස් කරන අදහස ඇතිව වෙළෙඳ පොළ විවෘත කර තබන තීරණයක් අනුගමනය කළේ නම් වැදගත්ය. දෙරටු අරින ලද වහා තත්ත්පරයකින් දෙකකින් මහා බිඳ වැටීමක් සිදුවන්නේ නැත. එයින් කැළඹෙන අනෙක් ගනුදෙනුකරුවන්ද තමන්ගේ කොටස් විකුණන්නට යුහුසුළු නොවන බව නිසැකය.

ගනුදෙනු අරඹන ලද පළමු දිනයේ තත්ත්පර තිස් අටකට පසු නතර කරන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 4392.43 ක වූ අතර එය අවසානයට පැවැති එනම් මාර්තු විසි වැනිදාට සාපේක්ෂව දර්ශක 179.20 ක පිරිහීමකි. එස්. ඇන්ඩ් පී. - එස්. එල්. යනුවෙන්ද දර්ශකයක් තිබේ. එය මෙරට කොටස් හිමි සමාගම් අතරින් කැපීපෙනෙන ආයතනවල වෙළෙඳාම හා බලවත්කම දක්වන දර්ශකයක් වශයෙන් සැලකේ. එය දර්ශක 196.93 කින් එය පිරිහී ගිය අතර නතරවූයේ දර්ශක 1750.00 යන ස්ථානයේය. ඉතාම ඉහළින් තිබුණ සමාගම් වල කොටස් වලට ලැබුණ ඉල්ලුම බරපතළ ලෙස අඩුවිය. ජෝන් කීල්ස් සමාගමේ කොටසක මිල රු.10.40 කින් පහළ ගිය අතර සම්පත් බැංකුවේ කොටසක මිල රු. 19.00 කින්, කොමර්ෂල් බැංකුව රු. 5.00 කින් හා ඩිස්ටිලරීස් රු. 1.00 කින් වැටීම කැපී පෙනිණි. ඇතැම් සමාගම්වල කොටස්වලට කිසිම ඉල්ලුමක් රහිත ස්වභාවයක් දිස්විය. දෙවැනි දිනයේ දී පවා විකිණීම් ඉහළ ගිය අතර එහි ප‍්‍රතිඵලය දෛනික පිරිවැටුම රු. මිලියන 300 ක තැනට පත්වීමය.

• විශ්වාසය හැර අනෙක් පැලැස්තර පලක් නැත

ආයෝජනවලදී විශ්වාසය හැර අනෙක් යමක් නැත. ගනුදෙනු නතර කර ආයෝජකයන්ට නීති පනවා කොටස් මිලදී ගන්නට යෝජනා කිරීම නිරර්ථක වෑයමකි. උනන්දුව පවත්වාගෙන යන්නට ද ඉඩක් නොලැබේ. පසුගිය මාර්තු 10 වැනිදා වන විට කොළඹ කොටස් වෙළෙඳ පොළ වසර අටකට පසු දැකිය හැකි අන්තිම නරක තැනට වැටී තිබුණි. විනිමය හා සුරැකුම් කොමිසමේ ඉලක්කම් අනුව 2012 අගෝස්තු 29 වැනිදා සියලු කොටස් මිල දර්ශකය තිබුණ තැනට වඩා පිරිහීමකි. වෙළෙඳපොළ දර්ශක 2020 වසරේ මුල් මාස හතර තුළ සියයට 16 කින් පසු බැස තිබුණ අතර පෙබරවාරි මාසයේ පමණක් බිඳ වැටීම සියයට 8.4 ක් බව දැක්වෙයි. මෙවැනි අභාග්‍යයකට මුහුණ දී ඇති අවස්ථාවක වෙළෙඳ පොළ වසා ආරක්ෂා කරගත යුතු යමක් තිබේද? සමබර අවස්ථා මගින් තරඟකාරීව තම ආයෝජන මෙහෙයැවිමට ඉඩකඩ විවෘතව ලැබීම ඉතාමත් අවශ්‍ය කාරණයකි. විශ්වාසය බිඳ වැටී පැවැත්ම අවහිර වන විට අනෙක් අවකාශය කරා සංක‍්‍රමණය වන අරමුණෙන් ආයෝජකයෝ ධනය ඉවත් කරගනිති. එවැනි ඉක්මන් රටාවකින් ආර්ථිකයට තිරසාර ප‍්‍රතිලාභ අත්පත් වන්නේ නැත.

2011 මාර්තු මාසයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ට සමීප වූ බව අමතක කළ යුතු නැත. මෙසේ වර්ධනය වෙමින් තිබුණේ යුද්ධයෙන් බැට කෑ රටක ආයෝජනය බල අවධානයට ගත යුතුය. ලෝකයේ හොඳම කොටස් වෙළෙඳ පොළ දක්වා වර්ධනය වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද වනවිට ලෝකයේ අවදානම් ස්ථාන අතරට පැමිණෙන්නට හේතු වී ඇත. වාර්තා දක්වන පරිදි විදේශ ආයෝජකයෝ මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 28.8 ක කොටස් විකුණා දමා තිබේ. විදේශ විනිමය ඉතාම වැදගත් අවස්ථාවක මෙම පැවැත්ම ඉතා නරක තත්ත්වයකි. වෙළෙඳ පොළ වසා දැමීමෙන් එය තවත් අයහපත් වූ බව තේරුම් ගත යුතුය. දැනට පවතින ලැයිස්තුගත සමාගම් 290ක සම්පූර්ණ ප‍්‍රාග්ධනීකරණය රු. බිලියන 2,748කට සීමා වී ඇති අතර දර්ශක පහළ ගියහොත් මෙකී වටිනාකම් තවත් දුර්වල වනු නිසැකය.

• කොටස් හිමි සමාජයක් ගොඩනැගීමට සිදුවන බාධා

කොළඹ කොටස් වෙළෙඳපොළට යොදවන්නේ මහන්සියෙන් උපයා ගත් ධනයයි. විශේෂයෙන් සුළු ආයෝජකයන් එවැනිය. ආයෝජන වැඩි සමාගම්වල තරගකාරීත්වය ඉහළ යෑමෙන් සරු ආදායමක් උපයා ගත හැකි වෙතැයි එහි නිරත පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවයි. කොටස් වෙළෙඳාම යනු එදිනෙදා රුපිලයක් දෙකක් මිල වැඩිවූ පමණින් කොටස විකුණා යමක් උපයා ගැනීම නොවේ. ලැයිස්තුගත සමාගමක කොටස් හිමියකුවීම ආයෝජකයකු සතු අරමුණ විය යුතුය. සමාගමක කොටස්කරුවකු සමාගම වැඩෙන, එහි ලාභයෙන් තමන්ට සහ සමාජයට අර්ථයක් සිදුවන ආකාරය ගැන තෘප්තිමත්වීම අවශ්‍යය. එවැනි නිවී සැනසිල්ලක් ඇති කොටස් හිමි සමාජයක් බිහිකිරීම අද මුහුණ පා ඇති අභියෝගයයි.

කොටස් වෙළෙඳපොළ රටක ආර්ථික ශක්තිය පෙන්වන එක්තරා දර්ශකයකි. එහි ඇති වත්කම් ඔස්සේ ආයෝජනයට අවස්ථාවක් ඇති බව දෙස් විදෙස් ආයෝජකයන් අතර විශ්වාසයක් ඇතිවෙයි. මිලදී ගන්නට හැකියාවක් ඇති පිරිසක් තර`ගකාරීව සිටින අවස්ථාවක ප‍්‍රාථමික කොටස් නිකුතුවක් කළ හැකිය. මෑත කාලය තුළ මුලික කොටස් නිකතු සිදුවූයේ නැති තරම්ය. රට තුළ කොටස් වෙළෙඳාම වෙනුවෙන් ඉල්ලූමක් ඇති වන පසුබිමක් තිබේ. බැංකු පොලී අනුපාත අඩුවීම එයට යහමින් බලපා ඇත. මහ බැංකුව සිය පොලි අනුපාත සෑහෙන අඩු කරන අතර එය ආර්ථිකය සක‍්‍රීය කරන අරමුණෙන් කරගෙන යයි. ස්ථිර තැන්පතු වෙනුවෙන් ගෙවන පොලිය තවත් අඩුවියහැකි අතර භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඵලදා අනුපාතයද අඩු වෙමින් තිබේ. එය ඉතා වාසිදායක තත්තවයකි. නමුත් නිවැරදි තීන්දු ගැනීම අවශ්‍යය. විශ්වාසය ජනනය වන සේ ප‍්‍රතිපත්ති හැදිය යුතු අතර ඒවා එක් එක් අවස්ථාවලට ගැලපෙන පරිදි වෙනස් කිරීම නුසුදුසුය. අතරමැදි පිරිස් අයථා ක‍්‍රමවලින් ලාභ උපයන බව දැනෙන්ට හැරීම අනුචිතය. 

 ගාමිණී සරත් ගොඩකන්ද