2020 මැයි 16 වන සෙනසුරාදා

මීටරේ සෙන්ටිමීටරේ කළ බාර් පෝලිම!

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

සූර්වෙන්න බලා සිටි සැමට බාර් ඇරදීමට ආණ්ඩු බදාදා කටයුතු කළේය. ආණ්ඩුවේ පන්දහසෙන් ජීවිතය යාන්තම් ගලපාගෙන සිටි මෙසිරිලක ජනී ජනයා කුවේර ලීලාවෙන් බාර් අසල පෝලිම් ගැසුණි. මීටරේ ගැන සෙන්ටිමීටරයක තරම්වත් මීටරයක් නොතිබිණි. පස්වනක් ප්‍රීතියෙන් ඉපිලෙමින් සිටි මේ පුරවැස්සෝ එදා කොරෝනාට ගෙරවූහ. මේ අතර සතිය අග බාර් ඇරිල්ල ගැන ඕසේට කතා සාජ්ජ රටපුරා ඇතිවිය. ඒවාගේ වග විස්තර ගලපා බැලීමට අපද කල්පනා කළෙමු.

බාර් ඇරීම සම්බන්ධව රාජ අණ කවරෙක් විසින් කාහට නිකුත් කරන ලද්දක්ද? යාන්තම් හාවක් හූවක් ඒ ගැන නම් නොවීය. ඒත් පෙරදාක ආණ්ඩුවේ සුරා බද්දේ ලොක්කෙක් කී කතාවක් ගැන කසුකුසුවක් නම් බදාදා රටපුරා ඇසිණි. කොරෝනා අල්ල පනල්ලේ ඒ ලොක්කා කියා තිබුණේ බාර් වසා තැබීම නිසා ආණ්ඩුවට වෙන පාඩුව ගැනය. ඒ මහත්තැන් කියා තිබුණු ගාණ නම් ටිකක් සැර වැඩිය. කොයික වෙතත් බාර් ඇරියේ ආණ්ඩුව මුහුණ පා සිටින ආර්ථික වින්නැහියක් ගැලවීමටද? සාධාරණ සැකයක් ජන මන තුළ මේ වනවිටත් හටගෙන තිබේ.

බාර් වැහුවේ කොරෝනා පැතිරීම ගැන තිබූ අවධානය සලකලාය. ලෝක සෞඛ්‍ය ලොක්කෝද කීවේ සුරාවෙන් ශාරීරික ප්‍රතිශක්තිය නැතිවෙන බවයි. ඒ නිසා සුරාව කොරෝනාට ඉනිමන් බඳින බව අපේ ලොක්කෝද කීහ. ඒත් අපේ ලොක්කෝ කොරෝනා මඬින අතරේ ඉඳහිට බාර් ඇර ආතල් ගත්හ. ජී.එම්.ඕ. දොස්තරැන්නැහේලා මේ බාර් ඇරිල්ලට උරණ වී තග දමා තිබිණි. ඔවුහු නැවත බාර් වැස්සූහ. මේ අතර ජහමනයා අඩියක් ගසන්නට වඩියක් පෙරන තත්ත්වයට වැටුණි. පොලීසියට වඩිකාරයෝ අල්ලන්ට වෙනම ගේමක් ගැසීමට සිදුවිය. සමහර ගම් නියංගම්වල කඩවල සීනි ගෝනි පවා අතුරුදන් වූයේය. වඩි පෙරිල්ල වැඩි නිසාම බාර් අරිය යුතු බව ඇතැම් ලොක්කන් කීවේ එබැවිණි.

මේ බාර් කතාව මැද්දේ වුවද ලංකා ආණ්ඩුව කොරෝනාට බැටදීමට දියත් කළ වැඩපිළිවෙළට අප දෙස් දෙවොල් තියන්නේ නැත. ඒත් බාර් ඇරීමට ගත් ඕපපාතික තීරණ ගැන අපට ඇත්තේ විචිකිච්චාවකි. බාර් ඇරිල්ල වූයේ කිසිම විධිමත් සැලසුමකින් තොරවය. සමහරු බාර් ළඟ ඇණකොටා ගත්හ. බොන්නට සල්ලි නොදුන් නිසා පුතෙක් අම්මාගේ අත සපා කෑවේය. සමහරැ බාර් ළඟ පෝලිම්වල මීටරේ දුර මිලිමීටර්වලට වැටී තිබුණි. ඇඳිරි නීතිය තිබූ අවදානම් කොළඹ, ගම්පහද බාර් ඇරිණි. අයිඩෙන්ටි කාඩ් අංක අනුව සුපිර් බාර්වලින් බඩු ලබා ගැනීමට කොළඹ ගම්පහ සෙට් එකට හැකි විය.

තාමත් පාසල් වසා ඇත. බස්වලද දුම්රියේද හිතේ හැටියට යන්නට බැරිය. ඒත් ඕනෑතරම් බොන්නට නම් හැකිය. පාසල් නොයවා ගෙදර තබාගෙන සිටින පොඩි එකාගේ අප්පා බාර් එකේ සෙන්ටිමීටරයේ පෝලිමේ සිට ගෙදර එන්නේය. ඒක අවුලක් නැතැයි. ඕං ඔහොම එකක් බුකියේ පොරක් අසා තිබුණි. කොයි හැටි වෙතත් අප මේ කතාව කියන්නේ ආසියාවේ ධාන්‍යාගාරය ස්කාගාරයක් වී ඇතැයි කියන්නට නොවේ. බාර් ඇරිල්ලේ අවිධිමත් බව කියන්නටය. කොරියාවේ සෝල් නුවර පහුගිය දොහක ඇරිය බාර් ආපහු වැහුවේය. කොරෝනාට බැටදීමෙන් පොරක් වීමට සිටි කොරියාවට බාර් නිසා නැවත කෙලවීමට තිබුණි. ඉන්දියාවේ අරක්කු ගෙදර ළඟටම ඩිලිවරි කරන ලෙසට අධිකරණ තීන්දු පවා දුන්නේය.

කොයික වෙතත් ලෝකය පුරා මිනිස්සු මදුවිතෙන් කෘත්‍රිම සතුටක් සොයති. අපට එහි හරි වැරැද්ද පලක් නැත. නිත්‍යනුකූල දේ පාවිච්චිය හරිය. නීතිවිරෝධී දේ පාවිච්චිය වැරුදිය. ඒකත් මරු කතාවකි. කොරෝනා කාලේ මත් විරෝධී පිරුවට පොරවා රඟන උන් සෑහෙන්න සිටිති. ඒක වෙනම කතාවකි. අපට අදාළ නැත. දකුණු අාසියාවේ අරක්කු සංස්කෘතියේ පොඩි අවුලක් තිබේ. ඒක පොෂ් නැත. ඒක ටිකක් විතර ගොබ්බය. බාර් ඇරපු ගමන් අපේ අය චාටර් වූයේ එබැවිනි. නමුත් කරන්නට දෙයක් නැත අපේ සමාජ ආර්ථික දේශපාලනයට අනුව ඒ ගොබ්බ ගතියේ කොටින්ම අවුලක් නැත. ඒවා නිවැරදි කරන්නට කාට හෝ ඕනෑ නම් ඒක වෙනම කතාවකි.

ඇත්තටම අපට ඕනෑ බාර් ඇරිල්ලේ අවදානම සුළුපටු නැති බව කියන්නය. සෞඛ්‍ය ලොක්කන් කියන පරිදි අපි තවමත් පරිස්සම් විය යුතුය. බාර් එකේ පෝලිම හරිම නරක තැනකි. විනය කිසිදා එහි පවතින්නේ නැත. ජනතාව රැස්වන තැන්වලින් අවදානම්ම තැන බාර් එකේ දොරකඩයි. ඒ නිසා ඇත්තෙම ගැටලු ඇත්තේ බොන එකේ නොව මේ සාමූහික රැස්වීමේය. හැලි අරක්කු ස්ප්‍රීතු බොනවාට වඩා ලීගල් දෙයක් බී මැරෙන එක මරුය. ඒත් බොන්න පෝලිමේ ඉඳ කොරෝනා හාද්දක් දුන්නොත් නම් වැඩේ මරු නැත. මුළු රටටම ක්ෂණිකව කෙළවීමට ඉඩ තිබේ.

බාර් ඇරිල්ලේ අතුරු කතා බොහෝය. මාධ්‍ය ලොක්කෝ බාර්වල පෝලින් වීඩියෝ කර රෑට රෑට පෙන්වා මාර ආතල් එකක් දුන්නේය. බුකියේ ඊට අපූරු විරෝධයක් දළුලමින් තිබේ. ඔවුන්ට අනුව බොන එකේ සමාජ ආර්ථික සෞඛ්‍ය කතාව වෙන එකකි. මාධ්‍යකරුවෝ බාර්වල පෝලිම් දා බීලා වැඩි වුණ අසරණ ඩයල්ද රෑට රෑට පෙන්නුවේ මාධ්‍ය ආචාර ධර්මය බල්ලාට දමමිනි. මිනිස්සු බොන්නේ බාර් ඇරපු නිසාය. වෙරි වෙන්නේ බඩු තිබෙන නිසාය. මූඩිය කඩා කාල කටේ හලාගන්න පොරවල් එදාවේල කන අසරණ මිනිස්සුය. ඔවුන්ගේ මුහුණු සංදර්ශනය කාටවත් පලක් නැත. අපට අනුවත් මේවා කැත වැඩය. මේ මාධ්‍යයේ සංදර්ශන කරන සමහර ලොක්කෝ කොරොන්ටයින් කාලෙත් රෑට බිව්වේ රට අරක්කුය.

කොරෝනා සම්බන්ධව ආණ්ඩුවේ මහන්සිය කිරි කළයක් නම් අවිධිමත් බාර් ඇරිල්ල හෙට ගොම බිංදුවක් වීමටද ඉඩ ඇතැයි අපට දැනේ. වේදනාව ඒකය. වැරදුණත් වරදින්නේ මුළු රටටමය. 
දැන් ලියවිල්ල සූර් වී ඇති නිසා බාර් කතාව නිමා කළයුතුය. බාර් ඇරිල්ලේ සහ කොරෝනා පැතිරිල්ලේ අන්තර් සම්බන්ධයක් මතු මතුත් හමු නොවේවා කියා අපි පතන්නෙමු. මේ කතාව දැම්මේ බාර් වසන්නට කියා නොවේය. නැවතත් හිතන්නට කියාය.

I චමිඳු නිසල් ද සිල්වා