2020 මැයි 16 වන සෙනසුරාදා

කොළඹ කොටු වූ පිරිස ආපසු යැවූ මෙහෙයුම - ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විස්තර කරයි

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56
 
කොරෝනා වෛරසය නිසා වැඩිම අවදානමක් ඇති වූයේ බස්නාහිර පළාත තුළය. ඒ බස්නාහිර පළාතෙන් සීඝ්‍ර ලෙස කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවීමට පටන් ගැනීමත් සමඟිනි. ඒ නිසා එම පළාතේ දිස්ත්‍රික්ක තුන සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතියට යටත්ව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශයටත් ආරක්ෂක අංශයටත් සිදුවිය. ඒ පොඩි කාලයකට නොව මාස දෙකකට අධික කාලයක් සඳහාය. මේ නිසා බස්නාහිර පළාතේ ජීවත් වන අය පමණක් නොව බස්නාහිර පළාත තුළ රුකියා කරන්නෝ, අධ්‍යාපනය ලබන්නෝ, සේවා සපයන්නෝ ද කොටු වී සිටියහ.
 
කෙසේ වෙතත් බස්නාහිර පළාත තුළ ස්ථීරව ජීවත් වන අයට ප්‍රශ්නයක් නැත. ඔවුන්ගේ සදාකාලික ජීවිතය බැඳී ඇත්තේ මේ පළාත තුළ නිසාය. එහෙත් බස්නාහිර පළාතට වෙනත් ප්‍රදේශවලින් තාවකාලිකව පැමිණ විවිධ දෑ සිදුකරමින් ජීවත් වූවෝ මේ අවස්ථාවේ දැඩි ලෙස අසරණ වන්නට වූහ. ඒ එක් පැත්තකින් ඔවුන්ගේ ආයතන වසා දැමීම නිසාය. ඒ නිසාම තවත් පැත්තකින් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමිව ගොස් තිබීමය. මේ නිසා ඔවුන් ජීවත් වූයේ දැඩි අර්බුදයන් රුසක් මැදය. ඇතැම් අයට කෑම බීමෙන් පවා දැඩි ගැටලු රුසකට මුහුණ පාන්නට සිදු වූ අවස්ථා තිබිණි.
 
එහෙත් මේ සියලු දෙනාගේම එකම ඉල්ලීම වී තිබුණේ ඔවුන්ට කෙසේ හෝ ගම්බිම් බලා පිටත්වීමට අවස්ථාව සලසා දෙන ලෙසය. ඒ ඔවුනුත් ඔවුන් නොමැතිව ඔවුන්ගේ අඹු දරැවනුත්, පවුලේ අයත් අසරණ වී සිටින නිසාය. කෙසේ වෙතත් ඒ වනවිටත් දිස්ත්‍රික්ක හරහා ගමන් කිරීම තහනම් කර ඇති නිසාත්, බස්නාහිර පළාතේ තත්ත්වය අවදානම් නිසාත් ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක වීම නිසාත් ඒ ඉල්ලීමට එකවර අවසරයක් ලබාදීමට ආණ්ඩුවට හෝ ආරක්ෂක අංශයට හැකිවූයේ නැත. ඒ නිසා එම ක්‍රමවේදය ඉතාම පිළිවෙලකින් සිදුකිරීමට ශ්‍රී ලංකා පොලීසියේ වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පවරනු ලැබුවේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටය. ඒ අනුව ඒ මහතා එම අසීරැතාවයට පත්ව සිටින ජනතාවට තම ගම්බිම් බලා යාමට ක්‍රමවේදයක් සැකසුවේය.
 
ජනතාවගේ ඒ ඉල්ලීමට එකවර අවස්ථාවක් ලබාදෙන්න විදිහක් නෑ. ඒ බස්නාහිර පළාතේ අවදානම් තත්ත්වයත් එක්ක. ඒ නිසා අපි ඉස්සෙල්ලම කළේ එහෙම ගම්බිම් බලා යන්න කැමති අය ගැන ළඟම පොලීසිය හරහා තොරතුරු ලබා ගත්ත එක. ඊට පස්සේ අපි ඒ අයගේ තොරතුරු අනුව ඔවුන් මේ මොහොතේ පත්වෙලා තියෙන අසීරුතාවය ගැන හිතලා අගමැතිතුමාගේ උපදෙස් මත දානපතියන් හරහා හැකි පමණින් වියලි ආහාර බෙදා දුන්නා. එතනදි මතක් කරන්න ඕන අපේ කොලොන්නාවේ සුමංගල හාමුදුරුවෝ, උන්නාන්සේ තමන්ගේ වාහනය විකුණලා මිනිස්සුන්ට අවශ්‍ය ආහාර පාන ලබාදුන්නා. ගංඟාරාම විහාරස්ථානයේ අස්සජී හාමුදුරුවෝ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ, උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ, ඒ සියලු දෙනා හරහා අපි ඒ ජනතාව බලාගත්තා. මේ සියල්ල අතර මැද්දෙ අපේ සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් අපි ඒ අයව නිරෝධායනය කළා. දවස් 14,21 වශයෙන්. මොකද ඒ අයව කොයි මොහොතක හරි අපි ඒ අයගේ ගම්බිම්වලට යවන්න ඕන නිසා. ඒ නිසා අපි විතරක් නෙමෙයි සෞඛ්‍ය අංශත් අධීක්ෂණය කරමිනුයි ඒ අයව රඳවා ගත්තේ" යැයි දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
 
මෙරට වාණිජ නගරය කොළඹය. රටේ විශාල ප්‍රමාණයක් රුකියා වෙළඳ ව්‍යාපාර, අධ්‍යාපනය ලබන්නේ මෙකී නගරය තුළය. ඒ නිසා පිට පළාත්වලින් පැමිණි පිරිසගෙන් වැඩිම ප්‍රමාණයක් සිටිය හැක්කේ බස්නාහිර පළාතෙනුත් කොළඹය. ඊට අමතරව ගම්පහ කළුතර ප්‍රදේශවල පවා වෙනත් පළාත්වලින් පැමිණ ජීවත් වන පිරිස් විශාලය. ඒ කොපමණ සංඛ්‍යාවක් ද යන්න අප මෙහිදී සොයා බැලුවෙමු.
 
ඒ අනුව බස්නාහිර පළාතේ පිහිටි පොලිස් කොට්ඨාශ දහය තුළ සිටින සංඛ්‍යාව පොලීසි වෙත මෙලෙස වාර්තා වී තිබිණි.
 
පොලිස් කොට්ඨාශය          සංඛ්‍යාව
 
කොළඹ මධ්‍යම                 1758
කොළඹ උතුර                    2346
කොළඹ දකුණ                   3388
මීගමුව                              5275
කැලණිය                           9217
ගම්පහ                              1827
නුගේගොඩ                     16020
ගල්කිස්ස                          9192
කළුතර                               361
පානදුර                             3028
 
 අපි ඒ  ඒ පොලිස් කොට්ඨාශ වශයෙන් ඒ පිට පළාත්වලින් පැමිණි අය ගැන වාර්තා ගත්තා. එතකොට බස්නාහිර පළාත තුළ හිරවෙලා ඉන්න පිරිස 52412ක සංඛ්‍යාවක් බවට තහවුරු වුණා. ඒ අනුව පිරිමි අය 33335කුත් කාන්තාවෝ 19077කුත් අපේ සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වුණා. ඒ විතරක් නෙමෙයි මේ සංඛ්‍යා ලේඛන ඒ ඒ රැකියා අනුව, වයස් අනුව, රෝගී තත්ත්වයන් අනුව, මව්වරැ වශයෙන් අපි හදාගත්තා. ඒ සියල්ලක්ම අපි අපේ දත්තවලට ඇතුළත් කරලා අධීක්ෂණයට ලක්කළා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.
 
ඒ අනුව පොලීසිය විසින් අදාළ සිරවී සිටි අය දිස්ත්‍රික්ක මට්ටමින් ද වර්ග කොට තිබුණි. ඒ අතරින් වැඩිම පිරිසක් සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිට පැමිණි පිරිසකි. ඔවුන්ගේ සංඛ්‍යාව 7777කි. ඊට පසුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් 6645ක සංඛ්‍යාවකුත්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 3857 දෙනකුත් වශයෙන් සිටියහ. මේ සියලු දෙනාම තම නිවෙස්වලට යාම සඳහා ඇඟිලි ගනිමින් සිටියහ. කෙසේ වෙතත් ඔවුන්ට අලුත් අවුරැදු සමයේ තම මුදල් නිවෙස් වෙත යැවීම සඳහා ජංගම බැංකු ක්‍රමයක් ද ක්‍රියාත්මක කර තිබිණි.
 
කෙසේ වෙතත් මේ අතරතුර නිරෝධායනය සමය අවසන් වීමත්, වෛරසය ව්‍යාප්තිය අඩුවීමත් හේතුවෙන් පොලීසිය මැදිහත්ව අදාළ ජනතාව තම ගම්බිම් බලා පිටත් කරවීමේ වැඩකටයුතු පසුගියදා ආරම්භ කළේය.
 
 
අපි ක්‍රමයෙන් මේ අයව ගම්බිම් වෙත යවන්න සැලසුම් කළා. ඒකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදුන්නා. ඒ ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට එන්න කියලා 60 දෙනෙක් යන්න පුළුවන් බස් එකක 30 දෙනෙක් පමණක් නංවලා පොලිස් ආරක්ෂාව මැද්දේ අපි ඒ දිස්ත්‍රික්කවලට අරගෙන යනවා. කිසිම තැනක අපි නවත්තන්නේ නෑ. අපි අදාළ පොලිස් කොට්ඨාශයට එක්කන් ගිහින් අදාළ පොලිස් කොට්ඨාසයට අයිති පොලිස් ස්ථාන හරහා ඔවුන්ව නිවෙස්වලට ඇරලනවා. එහෙම ගියා කියලා ඔවුන්ගේ වගකීමෙන් අපි ඉවත් වෙන්නේ නෑ. ඒ අය පවුලේ අයගෙන් ඈත් කර තබන්නත් නැවත දින 14 ක හෝ 21ක නිරෝධායන ක්‍රියාවලියකට යටත් කරන්නත් අපි කටයුතු කරනවා. ඒ සියල්ල අපි අධීක්ෂණය කරනවා යැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
 
කෙසේ වෙතත් මේ වනවිට බස්නාහිර පළාත තුළ ලොක්ඩවුන් සිදුකළ ස්ථාන කිහිපයක් ඇත. ඒ ස්ථානවල සිටින කිසිවකු ගම්බිම් වෙත දැන්ම යොමු කිරීමට තීරණය කර නැත. ඒ පිරිස් අවසානයේ පිටත් කරන බව සඳහන් වේ. මේ අතර තවත් පිරිසක් පොලීසියට දන්වා ඇත්තේ තමන්ට නැවත ගම්බිම් වෙත යාමට අවශ්‍ය නොවන බවය. ඒ දැනටමත් කාර්යාල විවෘත කර ඇති නිසාය. ඒ නිසා ඔවුහු නැවතත් සුපුරුදු රැකියා වෙත යොමු වී සිටිති.
 
මේ අතර බොහෝදෙනකුට ඇති ප්‍රශ්නයක් ද අවසාන වශයෙන් තෙන්නකෝන් මහතාගෙන් අපි විමසුවෙමු. ඒ තමන්ගේ පෞද්ගලික වාහන මගින් ගම්බිම් වෙත යා හැකිද යන්නය.
 
“ගොඩක් අය අහනවා. ඒත් ඒකට අවසරයක් නෑ. මොකද එහෙම වුණොත් ඒ අය යන්නේ තැන් තැන්වල නවත්තලා. ඒකෙන් යම් අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊට අවසරයක් දෙන්න කොහෙත්ම සූදානම් නෑ" යැයිද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
 
කෙසේ වෙතත් මේ වනවිට පුද්ගලයන් 10000කට අධික පිරිසක් ගම්බිම් වෙත පිටත් කර ඇත. තවත් අදියර කිහිපයක් යටතේ එය සිදුවෙමින් පවතී. කෙසේ වෙතත් එය ලෙහෙසි කටයුත්තක් නොවේ. එහෙත් ඒ අභියෝගය ශ්‍රී ලංකා පොලීසිය දරමින් සිටියි. එයට පුරවැසියන් ලෙස අප ස්තූතිය පුදකළ යුතුය.
 
ගයාන් ගාල්ලගේ