2020 මැයි 16 වන සෙනසුරාදා

අතටගත් පාලනය ගිලිහ‍ෙන්න නොදී රැකගන්න හැටි

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

පසුගිය 11 වැනිදා සිට කළුතර, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීති ඉවත් කෙරිණි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරුණද එම දිස්ත්‍රික්කයන්හි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හා ආයතනික කටයුතු පවත්වාගෙන යෑම සඳහා ලිහිල් පදනමක් යටතේ කටයුතු කිරීමට රජය තීරණ කළේය. රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික අංශයේ තෝරාගත් පිරිසක් සඳහා විවිධ ප්‍රදේශවල සිට කාර්යාල දුම්රිය දහයක් සේවයට යෙදවුණ අතර ලංගම බස්රථ රැසක්ද සිග්සැග් ක්‍රමයට අසුන් ගැනීම හෙවත් නිසි සෞඛ්‍ය ප්‍රතිපත්ති යටතේ සේවය සඳහා යොදවා තිබිණි. කෙසේ වුවද දිවා කාලයේ ඇඳිරි නීතිය බල නොපවත්නා දිස්ත්‍රික්කවල පසුගිය බදාදා සිට ආසන ගණනට මගීන් ප්‍රවාහනය කීරීමට රජය අවසර දුන්නේය.

මෙම විවෘත කිරීමත් සමඟ කොරෝනා දෙවැනි රැල්ලක් ඇති විය හැකි බවට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. එහෙයින් රට විවෘත කරන අතරම සමාජ දුරස්ථභාවය හා පෞද්ගලික ස්වස්ථතාව වැනි කරැණු කෙරෙහි දැඩි අවධානයකින් පසුවිය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද වැලිසර නාවික හමුදා කඳවුරෙන් හැර වෙනත් කිසිදු ස්ථානයෙකින්  රෝගීන් වාර්තා වී නොමැත. මැයි 14 වැනිදා වනවිට මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 915කි. පසුගිය දිනවල වාර්තා වූ සියලු දෙනා නාවික හමුදා භටයන්ය. ඒ අනුව  කොරෝනා ආසාදිත සමස්ත නාවික හමුදා පිරිස 498 දෙනෙකි. ඔවුන්ගෙන් 60 දෙදෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වීමද  නැවතී තිබේ මේ වන විට සමස්ත රෝගී සංඛ්‍යාවෙන් 382 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මේ වන විට නව රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතරින් පමණක් බවටය. බාහිරින් වාර්තා වීම  සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවද ඒ අනුව රෝගය සෑහෙන දුරකට පාලනය වී ඇති බවද ඒ මහතා සඳහන් කරයි. පාලනයට නතුව තිබුණද කුමන අවස්ථාවක හෝ රෝගය යළි හිස එසවීමට ඇති සම්භාවිතාවක් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය සඳුදා  සිට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ජනතාව හැසිරුණු ආකාරය සතුටුදායක නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ඇතැම් අවස්ථාවල කිසිදු ආකාරයක නිරෝධායන රීතියකට ගරැ නොකර මහජනතාව කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වූ බවත් එහෙයින් නීති රීති දැඩි කිරීමට පොලිසිය තීරණය කළ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකාවක වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කොරෝනා මර්දන ක්‍රියාවලියේදී විශේෂ කාර්යභාරයක් ඉටුකර තිබුණාය. වසංගත තත්ත්ව හඳුනාගැනීමට හා පරීක්ෂණ කටයුතු පැවැත්වීමටද වසංගත විද්‍යා අංශයට කරුණු පැහැදිලි කිරීම, ප්‍රෙද්ශීය වසංගත රෝග විද්‍යාඥයන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් එම කාර්යයන් සඳහා යෙදවීම හා නිලධාරි මට්ටමින් අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේද ඇය විසිනි.

රට නැවත විවෘත කිරීම හා ඉන් ඇතිවිය හැකි අවදානම පිළිබඳව අප විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන විමසා සිටි‍යෙමු. ඇය මෙලෙස සඳහන් කළාය. 

කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ හැකියාවක් අපට නැහැ. කොරෝනා යනු ස්වසන ආසාදනයක්. එයට අනියත බියක් ඇතිකරගෙන කටයුතු කිරීමටත් නොහැකියි. ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ක්‍රියා කළේ සෞඛ්‍ය කාරණා රැකගන්නා අතරම රටේ ආර්ථිකයද රැකගැනීමට සිදූවී තිබෙන නිසයි. ඒ නිසා කොවිඩ් වසංගතය සමගම රටේ ආර්ථික කටයුතුද පවත්වාගෙන යෑමට අපට සිදුවෙනවා. මේ මොහොතේ  ආර්ථිකයත්, සෞඛ්‍යයත් අතර කිසියම් සමතුලිත බවක් පවත්වාගෙන යෑමට රජයට සිදුව තිබෙනවා එහෙත් රෝගයෙන් වැළකීම සඳහා ගත යුතු නිසි ක්‍රියාමාර්ග සියලු දෙනා අනුගමනය කළ යුතුයි. ඇඳිරි නීතිය ලිහිල් කළද සියලු දෙනා ඉතා වගකීම් සහිතව, ආරක්ෂිතව කටයුතු කළ යුතුයි. අනවශ්‍ය ලෙස එක්රොක්වීම, වෙළෙඳසල්වල ගැවසීම නොකළ යුතු වන අතර සැම විටම අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, ආදිය තව දුරටත් අනුගමනය කළ යුතුයි. වසංගත තත්ත්වය අප යම් ආකාරයකට මැඩ පවත්වා ඇති නමුදු සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීමට අමතක නොකළ යුතුයි. මේ වන විට අප මෙම රෝගය පාලනයට නතු කරගෙන තිබෙනවා. එය යළි පැතිර යාමට ඉඩ නොසැලසෙන අයුරින් සියලු දෙනා කටයුතු කළ යුතුයි. එසේ නොවුනහොත් යළි පොකුරු වශයෙන් රෝගීන් මතුවිය හැකියි. මේ වන විට පොකුරු වශයෙන් රෝගය පැතිරයාමද අප පාලනය කර තිබෙනවා. යළි රෝගය හිස එසවීම වළකා ගැනීමේ වගකීම ඇත්තේ ජනතාව අතයි. යනුවෙන් පැවසුවාය.

දැඩි නීතීරීති යොදා ඉතා සාර්ථක ලෙස කොවිඩ් වසංගතය පාලනය කළ දකුණු කොරියාව එම නීති ලිහිල් කොට සමාජ ශාලා විවෘත කිරීම හේතුවෙන් කොවිඩ් වසංගතය එරට තුළ යළි හිස ඔසවා තිබේ. වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ වූහාන් ප්‍රදේශයේ යළි දෙවැනි රැල්ලක් ඇතිවෙමින් තිබේ. මෙබඳු වාතාවරණයක් ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකිදැයි අප විමසූ විට වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ එවැනි තත්ත්වයක් යළි ඇතිවිය හැකි බවයි. 

විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන්ගෙන්, රටතුළ සිටින පුද්ගලයන්ගේ නොසැලකිලිමත් හැසිරීම නිසා එවැනි තත්ත්වයක්  මතුවීමට හැකියි. ඒ නිසා අපි අහඹු පීසීආර් පරීක්ෂණ නොකඩවා කරනවා. ලොව වෙනත් රටවල් හා සසඳන විට අපේ රටේ රෝගී සංඛ්‍යාවත්, මරණ සංඛ්‍යාවත් සීමිතයි. ඊට හේතු වුණේ මෙරට සෞඛ්‍ය අංශවල සියලු නිලධාරීන්ගේ දැඩි කැපවීම නිසයි. වසංගත රෝග අංශයේ මෙහෙයවීමත් එමෙන්ම රාජ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියෙන් සහ මහජනතාවගෙන් ලද සහයෝගයත් ඊට බලපෑවා. රෝගීන් හඳුනා ගැනීමට හා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට මේ අය දක්වන ලද සහයෝගය ඉතා විශාලයි. වසංගත තත්ත්වය මුල් අවස්ථාවේදීම මර්දනය කිරීමට අපට හැකි වුණේ ඒ නිසයි. යනුවෙන් සඳහන් කළාය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා