2020 මැයි 09 වන සෙනසුරාදා

නිවෙස්වලට සීමා වූ වෙසක් උළෙල

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

රටේ පවතින්නා වූ කොවිඩ් - 19 වසංගතයත් සමඟ මෙවර වෙසක් උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බෞද්ධයින් වෙතින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උතුම් දිනය වන බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ත්‍රිවිධ අවස්ථාවන් සිදුවූ වෙසක් දිනය ඉතා ගෞරවාන්විත ලෙස නිවෙස්වලම සිට සැමරීමට කටයුතු කළ යුතුවෙයි.

සෑම වසරකදීම බෞද්ධයින් විසින් වෙසක් උත්සවය මහ ඉහළින් සමරනු ලබේ. වෙසක් සැරසිලි, වෙසක් තොරණ, දන්සල්, බෞද්ධාගමික වැඩසටහන් ආදී කටයුතුවලින් වෙනත් වසරවලදී බොහෝ බෞද්ධයෝ කාර්යබහුල වෙති. ඇතැම්හු වෙසක් කූඩු තනති. තවත් අය වෙසක් තොරණ ඉදිකරති. තවත් පිරිසක් ගමේ විහාරය, ගමේ මංමාවත් වෙසක් දිනය වෙනුවෙන් සූදානම් කරති. මේ සෑම කටයුත්තකදී ඔවුහු සාමූහිකව මේ කටයුතුවල නියැලෙති. බෞද්ධයින් පමණක් නොව වෙසක් සැමරීමට අන් ආගමිකයන්ද දක්වන්නේ කැමැත්තකි. වසරක් පාසා බෞද්ධයින් සූදානම් වන මේ ගෞරවාන්විත කටයුත්තේදී ඔවුන්ට තමන්ට හැකි අයුරින් වෙසක් කූඩු තනති.

වෙසක් උත්සවයට සෑම පළාතකදීම දන්සල් පැවැත්වෙයි. නැතිබැරි අය පමණක් නොව ඇති හැකි අය පවා මෙම දිගු පෝලිම්වල ගොස් දන්සල්වලට සහභාගි වෙති. මේ නිසාම වෙසක් දිනයට රටේ විහාරස්ථානවල මෙන්ම මහාමාර්ගවලද ඉතා විශාල පිරිසක් ඒකරාශි වෙති.

නමුත් මෙවර සිදුවනු ඇත්තේ වෙනත් වසරවලට සාපේක්ෂව වෙනස්ම වූ වෙසක් සැමරීමකි. මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවද කොවිඩ් - 19 රෝගයට ගොදුරක් වෙමින් සිටින තත්ත්වයය රට තුළ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම ජනතාවට වෙසක් සැමරීමද වෙනදා මෙන් කළ නොහැකිය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවට අනුව මෙවර ශ්‍රී ලාංකිකයින් විසින් සමරන ලද්දේ නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වූ වෙසක් සැමරුමකි.
වෙසක් කලාප, දන්සල්, තොරණ ආදී මහජනතාව ඒකරාශි වන වැඩසටහන් මෙවර නොපැවැත්වුණි.  වෙසක් දිනය දා නිවෙසින් පිටත එක්රුස්වීම වැළැක්වීමට මුළු දිවයින පුරා එම දෙදින ඇඳිරි නීතිය පනවා තිබිණි. මේ සෑමවිටම පුද්ගල දුරස්ථභාවය පවත්වා ගතයුතු බවද මෙම උපදෙස් මාලාවේ ප්‍රමුඛයෙන්ම සඳහන් කොට තිබුණි. සැබැවින්ම මේ ගෙවුණේ ඉතා චාම් වූ වෙසක් සැමරුමකි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් වෙසක් සැමරීම සම්බන්ධයෙන් මෙම උපදෙස් මාලාව පනවන ලද්දේ ජනතාවට කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂා වීම පිණිසය. මේ අනුව හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරතවන ලෙසත්, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා, ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කළයුතු බවත් සඳහන් කොට තිබුණි. වෙසක් සතිය සමරනු ලබන්නේ ඒ උපදෙස් අනුවය.
එමෙන්ම විහාරස්ථානය තුළ නිරන්තරයෙන්ම පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට නොහැකි වන හෙයින් පිරිස් ගැවසෙන ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබුණි. මේ නිසාම රට තුළ වෙසක් දිනය දා විහාරස්ථානවල දාන ශීල, භාවන වැඩසටහන්, දන්සල්, සල්පිල්, තොරණ, පෙරහර සංවිධාන කිසිවක් නොපැවැත්වුණි. බොහෝ දෙනෙක් තම නිවෙස්වල උදෑසන සිට ශීල භාවනා වැඩසටහන්වල නිරත වූහ. ඒ සඳහා ඔවුහු රූපවාහිනියෙන් හා ගුවන් විදුලියෙන් ආගමික වැඩසටහන්වලට සවන් දෙමින් ධර්මානුකූලව දවස ගතකළහ.

වෙන වසරවලදී වෙසක් මාසය උදාවීමත් සමඟම මුළු පරිසරයම එයට සූදානම් වුණි. මඟ දෙපස තැනිත් තැන ඇතැමුන් වෙසක් කූඩු ඇතුළු සැරසිලි විකිණූහ. ඇඳිරි නීතිය රට තුළ ක්‍රියාත්මකවීමත් සමඟ මෙවැනි වෙසක් සැරසිලි මහාමාර්ගයේ විකුණූ වෙළඳුන් මහා මාර්ගයේ නොසිටියාම නොවේ. වෙන වසරවලට සාපේක්ෂව එවැනි වෙළඳාම්වල නිරත වූවන්ගෙන් බොහෝ පිරිසක් අඩුවුවද ඇතැම් පිරිස් තම නිවෙස් ඉදිරිපිට, වාහනවල, මෙම වෙළෙඳාමේ නිරතවූහ.

ගිය අවුරුද්දේ පාස්කු බෝම්බය නිසා අපිට වෙළඳාම් කරගන්න බැරිවුණා. දෙයියනේ කියලා මේ අවුරුද්දේ වෙසක් කූඩු ටිකක් හදලා විකුණාගන්න කීයක් හරි සොයාගන්න හැදුවා. ඒකත් මේ වසංගත රෝගය නිසා අපිට නැතිවුණා. මෙහෙම වෙළෙඳාම් කරන්න තහනම් කියලා අපි දන්නවා. ඒත් මොනවා කරන්නද? අපිත් ජීවත්වෙන්න ඕනේනේ.... සමහරු ඇවිත් කේවල් කරලා වෙසක් කූඩු අඩුගානට අරගෙන යනවා. හැබැයි ඊයේ එක නෝනා කෙනෙක් මේ අමාරුම කාලෙත් අපිට වැඩිපුර රුපියල් දෙසීයක් දීලා ගියා. ඒක අපිට මේ වෙලාවේ ලොකු පිනක්. අද අපි හරි අසරණයි.

තලවතුගොඩ ප්‍රදේශයේ ගිනිගහන අව්වේ මුඛ ආවරණයක් පැළඳ වෙසක් සැරසිලි වෙළඳාමේ නිරතවුණ රංජිනී පීරිස් මහත්මිය දේශයට පැවසුවාය.
මුළු රටම වසංගතයට මුහුණ දෙද්දී පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින් මෙවැනි වෙළෙඳාම් කටයුතුවල නිරත වුණ අය අසල මුඛ ආවරණය පැළඳ වෙසක් සැරසිලි තෝරාගන්නා පිරිස අපිට දක්නට ලැබුණි. ඒ ඇතැමුන්ට මීටරයේ දුර මතකයේ නැත. නමුත් ඇතැමුන් තම වාරය එනතුරු ඉවසීමෙන් බලා සිටියහ. මේ අතර ලැබුණ මඳ අවසරයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා වෙළෙඳුන්ද නැතිවම නොවේ. ඔවුන් තම සිතැඟි පරිදි  වෙසක් සැරසිලිවල මිල තීරණය කර තිබිණි. ඉතා අඩු මුදලකට වෙසක් කූඩු, වර්ණ කඩදාසි, විදුලි බල්බ, වෙසක් කූඩු සැකිල්ල ආදිය විකුණනු ලැබීය. කෙසේ හෝ යම් වෙසක් සැරසිල්ලක් නිවසට ගෙනයන්නට උත්සාහ දැරූ ජනතාව මෙවැනි මඟ දෙපස සිටි වෙළෙඳුන්ගෙන් වැඩි මුදලට මේවා මිලදී ගත්හ.

මෙම සියලු වෙසක් කටයුතු සම්බන්ධව කරන ලද වෙළෙඳාම් කටයුතු පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින් කෝවිඩ් - 19 පැතිරීම වැළැක්වීමට ගටයුතු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිදුකරන ලෙසද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාවේ සඳහන් වේ. මේ සියල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් පරීක්ෂා කරනු ඇත.

මෙම වෙසක් සතියේ වෙන වසරවලටත් වඩා අපි කල්පනාකාරී විය යුතු වෙනවා. සමූහ වශයෙන් වෙසක් දිනය සැමරීමේ බරපතළ අපහසුවක් තියෙනවා. ඒ නිසා මේ සතිය තුළදී ජනතාව එක්රැස්වන කාර්යයක් නතර කොට නිවසේ සිට වෙසක් උත්සවය සැමරීම කළයුතු වෙනවා. යැයි බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.

කොවිඩ් - 19 රෝග ව්‍යාප්තියත් සමඟ නිවෙස්වලටම සීමාවුණ ජනතාවට තම පවුලේ සාමාජිකයින් හා එක්ව මෙම වෙසක් සැරසිලි නිර්මාණය කරන්නට අවස්ථාව උදාවුණි. පසුගිය වසරේදීද ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සුපුරුදු පරිදි වෙසක් සැමරීමට ඉඩලැබුණේ නැත. අප්‍රේල් විසි එක්වෙනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමඟ ජීවිත බොහෝමයක් අහිමි විය. මේ නිසාම එම වසරේදී විහාරස්ථානවලට පමණක් සීමාවුණු වෙසක් සැමරුමක් සිදුකළ අතර මෙවර කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් නිවසටම පමණක් සීමාවුණු ඉතා චාම් වෙසක් සැමරුමක් සිදුවුණි.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ