කෝවිඩ් වසංගතය හමුවේ අක්‍රීය වූ රට සක්‍රීය ලක්කිරීමට රජය සූදානමින් සිටියි. කර්මාන්ත ක්ෂේත්‍ර යළි පණ ගැන්වීම කෙරෙහි වූ සැලසුම් මේ වනවිටත් ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස රටේ අර්ථිකය යළි සක්‍රීය කිරීම සම්බන්ධ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ අප සම්මුඛ සාකච්ඡාවකට එළඹියෙමු. ඒ මෙම කටයුත්තේ පුරෝගාමියෙක් ලෙස කටයුතු කරන නාගරික සංවර්ධන නිවාස පහසුකම් ජල සම්පත් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සමඟය.
කෝවිඩ් වසංගතය සමග රට තුළ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසීගොස් තිබෙනවා. මේ මොහොතේ රටේ ආර්ථිකයට එය බලපා ඇත්තේ කෙසේද?
මේක ලංකාවට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවෙයි. ලෝකයේ හැම රටකම මේ ප්‍රශ්නය විවිධ මට්ටම්වලින් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන කේන්ද්‍රස්ථානවල දරැණු ලෙස මෙම අර්බුදය ඇතිවී තිබෙනවා. අප රට තුළත් සෞඛ්‍ය හේතුන් මත ඇඳිරි නීතිය පැනවීම සමඟ රාජ්‍ය පෞද්ගලික ආයතන ඇතුළුව කර්මාන්තශාලා වෙළඳසල් සියල්ලේ ක්‍රියාකාරීත්වය නවතා දැමීමට සිදුවුණා. මේ හරහා විශාල සේවක සංඛ්‍යාවක් නිවෙස්වලට යොමුවුණා. මේ සමඟ විශාල ආදායම් අහිමි වී යාමකුත් සිද්ධවෙලා තියනවා.
මෙය ක්‍රම දෙකක් ඔස්සේ හඳුනාගන්න පුළුවන්. එකක් ලංකාවේ අවශ්‍යතාවයන් සපිරීමේදී ඇතිවූ ගැටලුව. අනික විදේශීය ඇණවුම් තිබුණු පිරිසට එම ඇණවුම් ලබාදීමට නොහැකිවීම. මෙම තත්ත්වයන් මත ආර්ථික අවශයෙන් විශාල බලපෑමක් රටට ඇතිවුණා. විදේශ විනිමය ගලා ඒම විශාල වශයෙන් අඩුවුණා. කර්මාන්ත අංශයන් පමණක් නොවෙයි සංචාරක ක්ෂේත්‍රයෙන් හා විදේශ ග්‍රමිකයන්ගෙන් ලැබෙන විනිමයත් අඩුවීම සිද්ධවුණා. රජයට ආනයන සීමා පවා පනවන්නට සිද්ධවුණේ මේ තත්ත්වය මත.
රජය කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණ ගැනීමේ වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා. කෝවිඩ් පාලනය නොකළ පසුබිම එවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට හැකිද?
මේ රෝගය සම්පූර්ණයෙන් ලෝකයෙන් තුරන් වෙනකම් සෞඛ්‍ය තත්ත්වය කියන දේ මුළුමනින්ම යහපත් වෙන්නේ නෑ. ඒ නිසා මේ රෝගය යම් මට්ටමකට පාලනය කරගෙන සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට කටයුතු කිරීම ඉතාම වැදගත්. රජය මුලසිටම මෙම පාලනය ඉතා හොඳින් සිදුකරමින් සිටිනවා. ආසාදිතයන් හඹායමින් වෙන්කරමින් කරන මේ කටයුත්ත ලෝකයේ වෙන කිසිම රටක සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා වසංගත නැතිවනතුරැ සිට නැවත සියල්ල ආරම්භ කළ යුතුයි කියන එක සාධාරණයි කියලා මම දකින්නේ නෑ.
එසේ නම් කෝවිඩ් අභියෝගය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය නැවත සක්‍රීය කිරීමට රජය අනුගමනය කරමින් සිටිනේ කවරාකාර වැඩපිළිවෙළක්ද?
අපි ඇත්තටම පළවෙනි දවස් දහයෙන් විතර පසු ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර නිෂ්පාදන කරන ඇසුරුම් කරන නිෂ්පාදන කරන සියලු කර්මාන්තශාලාවලට සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් නිෂ්පාදන සිදුකරන්න අවසර ලබාදුන්නා. එසේ නොකළා නම් ජනතාවට අත්‍යවශ්‍ය බොහෝ දේ නොලැබී යනවා. ඊට අමතර කෘෂි කර්මාන්තයට අදාළ නිෂ්පාදන සිදුකරන සියලු ආයතනවලට සිය නිෂ්පාදන සිදුකරගෙන යාමට රජය අවකාශ සලසා දෙනු ලැබුවා. එසේ නොවුණා නම් ආහාර හිඟයක් ඇතිවෙන්නට තිබුණා. කර්මාන්ත පණ ගැන්වීම පළමුව අපි ආරම්භ කළේ මේ ආකාරයට.
ඉන් අනතුරැව අප හමුවේ තිබුණ අභියෝග විශාල විදේශ ඇනවුම් ප්‍රමාණයක් තිබුණ කර්මාන්තශාල සම්බන්ධව ගැටලුව. ඒ අය ඇනවුම් නැතිවීයාම සම්බන්ධව දැඩි අර්බුදයකට මුහුණදී සිටියා. එම ඇනවුම් වෙනත් රටවලට ගලාගෙන යාම සහ එවා නැවත ලබාගැනීමට නොහැකිවීම ගැටලුවක් වුණා. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරලා අපි ක්‍රමානුකූලව අපනයන ආර්ථිකය ක්‍රමවත්ව නැවත සක්‍රීය වීමට ඉඩකඩ ලබාදුන්නා. එම කටයුතු සිද්ධ වුණේ ආයෝජන මණ්ඩලයත් අපනයනය සංවර්ධනය මණ්ඩලයත් සම්බන්ධ කරගෙන. අදාළ අයතනවලට ඉතාම සීමිත සේවක පිරිසක් යොදාගෙන සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගෙන වැඩ කරගෙන යන්න අපි අවස්ථාව ලබාදුන්නා.
මීට අමතරව ඉදිරියේදී අනෙකුත් කර්මාන්ත සක්‍රීය කිරීම සිදුවන්නේ කෙසේද?
දැන් අපි සැලසුම් කරගෙන යනවා රටේ සියලුම කර්මාන්තශාලා රාජ්‍ය ආයතන සියල්ල ක්‍රමානුකූලව ආරම්භ කරන්න. මෙතැනදී සේවක ගැටලු බලපානවා. අපි මුලින් මේ අයට කියන්නේ අදාළ කර්මාන්ත ශාලාවට ආසන්නතම සේවකයන් හඳුනාගන්න. ඔවුන් සේවයට කැඳවා වැඩ ආරම්භ කරන්න. දෙවැනි අදියරේදී අපි උපදෙස් දෙනවා දුරබැහැර සිටින සේවකයන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පරිදි පරීක්ෂණයකට යටත්ව නැවත ගෙන්වාගෙන ඔවුන්ට නවාතැන් ලබාදෙන්න. මේ සියල්ල එකවර කිරීම අපි අවකාශය ලබාදෙන්නේ නෑ සියල්ල ක්‍රමානුකූලව කෙරෙන්නේ.
මේ වෙනකොට ඇඳිරි නීතිය ඉවත් කරපු ප්‍රදේශවල කර්මාන්තශාලාවලට සීයට පනහක් දක්වා සේවකයන් කැඳවා ගැනීමට ඉඩදී තිබෙනවා. අනෙක් ප්‍රදේශවල සීයට තිහත් පනහත් අතර සේවක පිරිසක් කැඳවීමට තමා ඉඩදී තිබෙන්නේ. මෙහි අංශ රැසක් අපි සලකා බලනවා. සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගැනීම, සමාජ දුරස්ථභාවය, නවාතැන් පහසුම් ලබාදීමේ හැකියාව, ප්‍රවාහන පහසුකම්වල ප්‍රමාණාත්මකභාවය ඒ අතරින් කිහිපයක්. මේ සියල්ල නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් දෙනවා. ඒ වගේම වැඩ ආරම්භ වූ පසුව එම කර්මාන්තශාලා අප නිතර නිතර පරීක්ෂාවට ලක්කිරීමේ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. ආයෝජන මණ්ඩලයත් අපනයනය සංවර්ධනය මණ්ඩලයත් මේ අය වෙනුවෙන් මාර්ග උපදේශ සංග්‍රහයක් නිකුත්කර තිබෙනවා කටයුතු කළයුතු ආකාරය සම්බන්ධව.
මෙරට කර්මාන්ත ආරම්භ කිරීම කොතරම් සාර්ථකව සිදුවුවත් ඇතැම් නිෂ්පාදනයන් සඳහා ලෝකය තුළ තවදුරටත් වෙළඳපොළක් පවතින්නේ නෑ. මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට ඇති වැඩපිළිවෙළ කුමක්ද?
ඒ සම්බන්ධව අපිට විශාල ගැටලුවක් තියනවා. මේ වෙනකොට ඇඟලුම් ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍රවලට දරැණු බලපෑමක් එල්ලවෙලා තියනවා. මොකද ලෝකය පුරාම සාප්පු සංකීර්ණ, වෙළඳසල් වැසී ගිහින්. එහෙම බැලුවාම ඇඟලුම් නිෂ්පාදනය විකුණන්න තිබෙන වෙළඳපොළ බිඳවැටිලා. ඇඟලුම් ක්ෂේත්‍රය සැලකුවාම ලංකාවට ප්‍රධාන වෙළෙඳපොළ තුනක්, පැවතියා. යුරෝපා, එක්සත් ජනපදය සහ එකසත් රාජධානිය කියන මෙම කලාප තුනම කොරෝනා උවදුරෙන් දැඩිලෙස බලපෑමට ලක්වෙලා. මේ අයට අපේ නිෂ්පාදනය මිලදී ගැනීමේ හැකියාවක් නෑ.
පහුගිය දවසක සාකච්ඡාවකදී මතුවුණ කරුණක් මතක් කරන්න ඕනෑ. දැනට යවලා තියෙන භාණ්ඩ සඳහා ගෙවීම් කිරීමට මාස හයක් අවුරුද්දක් වැනි කාල සීමාවක් ගැනුම්කරුවෝ ඉල්ලා තිබෙනවා. ඒ වගේම මේ මොහොතේ නැව්වල මහ මුහුදේ තිබෙන භාණ්ඩ තිබෙනවා. ඒවා ගැනුම්කරුවෝ භාරගන්න බෑ කියන තත්වයක් ඇතිවෙලා තියනවා. ඊට අමතර නිෂ්පාදන කරලා මෙරට තිබෙන භාණ්ඩ නැව්ගත නොකරන ලෙස ඉල්ලා තිබෙනවා. මේ අනුව බලපුවාම ඇඟලුම් ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බව පේන්න තියනවා. මෙය විසඳුම් හොයන්න විවිධ උපක්‍රම මේ මොහොතේ අපි සාකච්ඡා කරමින් ඉන්නවා. දැනට අපි උපදෙස් දීලා තියනව අලුත් තත්ත්වය එක්ක අවස්ථාවට ගැලපෙන ඇඟලුම් ආශ්‍රිත විකල්ප නිෂ්පාදන සඳහා යොමුවෙන්න.
මීට සමගාමීව ඉල්ලුම වැඩිවූ කර්මාන්තත් මෙරට පවතිනවාද?
ඔව්. තේ වගේ නිෂ්පාදනයන්ට මේ මොහොතේ ඉල්ලුම වැඩිවෙලා. අත්වැසුම් ආදිය නිෂ්පාදනට තිබෙන ඉල්ලුම නිසා රබර් කර්මාන්තයටත් ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ අත් ආවරණ නිෂ්පාදනය විශාල ලෙස සිද්ධ වෙනවා. ඒ සඳහා තිබෙන ඉල්ලුම අති විශාලයි. ඒ නිසා අපි බලන්නේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ඉල්ලුම නැති තැන්වලට අලුත් දේවල් හඳුන්වා දෙන්නත් ඉල්ලුම ඇති තැන්වල ධාරිතාවය වැඩි කිරීමට උදව්කරන්නත්. ඒ වැඩපිළිවෙල තමා අපි මේ මොහොතේ සකස් කරගෙන යන්නේ. ජනාධිපතිතුමා රට ආර්ථික වශයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න ජනාධිපති කාර්යසාධන බළකායක් ස්ථාපිත කරලා තිබෙනවා. ඒ හරහාත් මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වෙනවා. මේක ලෝකයටම අලුත් අත්දැකීමක් ඒ නිසා ඊට මුහුණ දෙන ආකාරයත් අලුත්.
සම්ප්‍රදායික වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක වෙන්නේ නෑ. අපි අලුතින් හිතලා අලුතින් දැකලා වෙනස් විදිහකට වැඩ කළයුතු පරිසරයක් සකස්වෙලා තිබෙනවා. කොරෝනා උවදුරත් එක්ක වෙනස්ම ලෝකයක් තමා මතුවෙන්නේ වෙනස් ආර්ථික වටපිටාවක්. විවෘත ආර්ථික සංකල්ප දරුණු ලෙස අභියෝගයට ලක්වී තිබෙනවා. සංවෘත ආර්ථික සංකලන තමයි ක්‍රියාත්මක වේගෙන යන්නේ. රටක් විදිහට අපිට වුණත් චීනය සීමාවන් පනවපු ගමන් නිෂ්පාදන අමුද්‍රව්‍ය ටිකවත් හොයාගන්න බැරිව ගියා. ඒ නිසා දේශීය වශයෙන් තමන්ගේ නිෂ්පාදන යම් මට්ටමකට පවත්වාගෙන යෑම ඉතාම වැදගත්. එය ලෝකේ බොහෝ රටවලට අවබෝධ වී තිබෙනවා.
කර්මාන්ත ක්ෂේත්‍ර වෙනස් ලෙස ක්‍රමයෙන් යළි පණ ගැන්වුණත් ඇඟලුම් වැනි ක්ෂේත්‍රවල දහස් සංඛ්‍යාවකගේ රුකියා ඉදිරියේදී අහිමි වී යාමේ අවදානම පැහැදිලිව පෙන්නට තිබෙනවා. ඒ සඳහා රජයේ සූදානමක් පවතිනවාද?
එය ලොකු ප්‍රශ්නයක්. එකවර සියල්ලටම විසඳුම් දෙන්න බෑ. අපි පළමුව අවධානය යොමු කරන්නේ දැනට කරගෙන යා හැකි කර්මාන්ත ශාලා ටිකට විසඳුම් ලබාදෙමින් ඉදිරියට පවත්වාගෙන යාමට. යම් සේවක පිරිසකගේ හෝ රුකියා සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට. ඒ වගේම අලුත් රැකියා අවස්ථා ඇති කිරීමටත් අපි උත්සාහ දරනවා. කෘෂි කර්මාන්තයේ පිබිදීමක් එක්ක සම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට ගිහිල්ලා කෘෂි ව්‍යවසාය ඇතිකරලා ඒ තුළට රැකියා අහිමිවෙන පිරිස් යොමුකිරීමේ උත්සාහයකුත් අපේ තිබෙනවා. උදාහරණ විදිහට ඇඟලුම් කර්මාන්තයේ නියතු වුණ ගොඩක් දෙනා දුෂ්කර ප්‍රදේශවල අය. නමුත් තාවකාලිකව යම් යම් අර්බුද ඇතිවෙන්න පුළුවන්. එහිදී කර්මාන්තශාලාවට සහන දෙන්න, රුකියා අහිමි වුණ අයට යම් සහනයක් ලබා දෙන්න අපි සාකච්ඡා කරමින් ඉන්නවා.
චමිඳු නිසල් ද සිල්වා