2020 මැයි 09 වන සෙනසුරාදා

වසාදැමූ ගම්මාන විවෘත කිරීමේ පසුබ්ම

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

හුදකලා කරන ලද නගර ගම්මාන පිළිබඳ මින් පෙර ඉතිහාසයේ අප අසා තිබුණේ පත පොත ඇසුරේ පමණි. එහෙත් ගෙවුණු තෙමස තුළ අපට හුදකලා කරන ලද නගර ගම්මාන පිළිබඳ පුවත් දෛනික ජීවිතයේ කොටසක් මෙන් විය. විශ්ව ගම්මානය වීමට ගිය ලෝකයක රටවල් නගර ගම්මාන ලෙස හුදකලා වූයේ ලෝවැස්සන්ගේ සිත් සෝ සුසුම් වලින් පුරවමිනි. එසෙත් පසුගිය සතිය තුළ ලොවපුරා හුදකලා කරන අද ප්‍රදේශ රැසක් යළි විවෘත විය. සුවපත් අනාගතයක බලාපොරොත්තු පෙරදැඩිව අප මව්බිමේ ද හුදකලා කරන ලද ප්‍රදේශය කිහිපයක්ම පසුගිය දා විවෘත කෙරිණි. 

ඒ අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හමුවේ හුදකලා (Lockdown) කරන ලද අකුරණ, බේරුවල සහ මරදාන ඉමාමුල් අරූස් මාවත යළි විවෘත කිරීම සුවිශේෂී විය. ආසාදිතයින් පොකුරේ ඇති විශාල අවදානමක් සහිතව හුදකලා කරන ලද මෙම ප්‍රදේශ වෛරස් උවදුරෙන් මුදා ගැනීම ආයාසකර කර්තව්‍යයක් වූයේය. ස්වයං නිරෝධනය, නිරෝධනයට මධ්‍යස්ථාන සඳහා පිරිස් රැගෙනයාම, විශබීජහරණය ආසාදිත සම්බන්ධතා හදුනා ගැනීම  අදී සංකීර්ණ කටයුතු රුසක් මෙම ප්‍රදේශ තළ සිදුවිය. මෙහි දී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.

මෙම ප්‍රදේශ වෙන්ව ගෙන එම ප්‍රදේශවල සිදුවූ දෑ කෙටියෙන් හෝ ඔබ හමුවේ තැබීමට අපි අදහස් කළෙමු.

මරදාන ඉමාමුල් අරූස් මාවත ප්‍රදේශය හුදකලා කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් පළමුවනදා සිටය. වෛරසය අසාදනය වී මියගිය පුද්ගලා ඇතුළු ආසාදිතයින් හය දෙනෙක් මෙම ප්‍රදේශයෙන් වාර්තා විය. අටසීය පනහකට අධික පිරිසක් ජීවත් වූ මෙම මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයේ වෛරසය පැතිරයාම වැළැක්වීම සමස්ත රට හමුවේ වූ විශාල අභියෝගයක් ජයගැනීමක් විය.

මෙම ප්‍රදේශයෙන් පිරිසක් නිරෝධනයට මධ්‍යස්ථාන කරා රැගෙනයාම ද ආරම්භයේදී සිදුවූ අතර ඔවුන් නැවත පැමිණ සති දෙකක් ඉක්ම වූ තැන දී ප්‍රදේශය නැවත විවෘත කිරීම සිදුකළේය. මෙම විවෘත කිරීමට එක්ව සිටි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා මධ්‍යයට අදහස් පළකළේය. ඔහු පැවසුවේ මෙම ප්‍රදේශවල තවදුරටත් නිරෝධන ඇදිරි නීතිය බලපැවැත්වෙන බවත් සංචරනය සම්බන්ධව දැඩි උපදෙස් ප්‍රදේශවාසීන්ට ලබා දී ඇති බවත්ය.

මේ අතර මධ්‍යම පළාතේ  කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන්  දින 37 ක්  හුදකලා කර තිබූ අකුරණ ප්‍රදේශය මැයි 03 වනදා සිට යළි විවෘත කළේය. අකුරණ හුදකලා කිරීම සමස්ත රටේම අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් විය. ඒ අනුව අකුරණ ප්‍රාදේශිය  ලේකම්  කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 18 ක් හුදකලා කරනු ලැබූ අතර පුද්ගලයින් 144 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරීම සිදුව  තිබිණ.

 අකුරණින් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව හත් දෙනෙකි. මේ වනවිට ඔවුන්ගෙන හතර දෙනකු සුවය ලබා නැවත පැමිණ සිටිති.

කෙසේ නමුත් නිරෝධායනය වූ පුද්ගලයින් අතර කිසිවෙකුටත් වෛරසය ආසාදනවී නොතිබූ අතර මුල් ආසාදිතයින්ගෙන් පසුව වෙනත් කිසිදු ආසාදිතයෙකුද මෙම ප්‍රදේශයෙන් හමු නොවීය. මෙම විවෘත කිරීම සම්බන්ධව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වා තිබුණි. අවසාන රෝගියා වාර්තාවී දින 28 ක පරීක්ෂණ කාලයක් ගත කිරීමෙන් පසු මෙම විවෘත කිරීම සිදුවූ බව එහිදී අනාවරණය විය.

ආසාදිතයින් හමුවීමත් සමඟ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයත් ග්‍රමසේවා වසම් පහක් ද පසුගිදා යළි විවෘත කෙරුණි. බේරුවල  ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයකු හඳුනාගැනීමත් සමඟ පළමුවැනිදා සිට මෙම ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා පැනවිණි. එහෙත් රජය විසින් එම ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශයක් බවට නිල වශයෙන් නම් කළේ අප්‍රේල් මස 14 වැනි දාය. මෙම ප්‍රදේශ වලින් ආසාදිතයින් දස දෙනෙකු වාර්තා වූ අතර  පුද්ගලයින් 219 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත් කරන යනවන ලදී. පසුව ඔවුන් අතරින් පිරිසකට ද කෝවිඩ් ආසාදනය වී ඇති බවට හෙළි විය.

දින විස්සකට පසුව විවෘත වූ බේරැවල ග්‍රාමසේවා වසම් වනුයේ චීන කොටුව ,  අත්තරමලේ , පන්නිල , කරදගොඩ සහ අත්තරගොඩය. මෙම ප්‍රදේශවල 14800 ක පමණ පිරිසක් ජීවත්වීම සුවිශේෂීය. බේරුවල කෝවිඩ් ආසාදනය සමඟ මෙම ප්‍රදේශ අරභයා බොහෝ පුවත් නිර්මාණය විය. ඊට පන්නිල ප්‍රදේශය වටා සැරිසැරූ රෝගියාගේ සිදුවීම, රෝහල්ගතවූ ගැබිණි මාතාව, හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිදුවූ විරෝධතා සහ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජන ආදී සිදුවීම් රැසක් හේතුවිය. කෙසේ වෙතත් බේරැවල යළි යථාතත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය සහ පළාත්පාන නිලධාරීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූහ.

මෙම ප්‍රධාන ප්‍රදේශවලට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ සිදුවීමත් සමඟ හුදකලා කරන ලද ගම්මාන සහ ප්‍රදේශ කිහිපයක් ද පසුගිය සතිය තුළ විවෘත කරනු ලැබුවේය. ඒ අනුව කොවිඩ් -19 වයිරසය ආසාදිත නාවික හමුදා සෙබළෙකු හමුවීමත් සමඟ හුදකලාකර තිබූ මහකච්චකොඩිය ගම්මානය මැයි 02 දා සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබුණි. මෙම විවෘත කිරීම සිදුව ඇත්තේ වයිරසය ආසාදිත නාවික හමුදා සෙබළාගේ පවුලේ පිරිස හා ඔහු ඇසුරුකළ පිරිස් වවුනියාව, පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරැව සිදුකළ පී.සි.ආර් වාර්තාවෙන් මගින් එම පිරිස ආසාදිතයන් නොවන බව අනාවරණය වීමත් සමඟයි.

මීට සමානම සිදුවීමක් හුදකලා කළ අනුරාධපුර බුලංකුලම, පහලගම සහ මිගස්සෑගම ගම්මාන ද පසුගිය දා යළිත් විවෘත කෙරැණි. කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළෙකු හමුවීමත් සමඟ අප්‍රේල් 26 වැනිදා මීගස්සගම සහ පහලගම යන ගම්මාන හුදකලා කිරීම සිදුවිය. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් මහජන සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් මෙම ගම්මාන විවෘත කළද නිසි සෞඛ්‍ය හා ආරක්ෂක වැඩපිළිවෙල ප්‍රදේශ තුනක අනුගමනය කිරීම අනිවාර්ය කර තිබේ.

සමස්තයක් ලෙස සැලකුවිට රට අභ්‍යන්තරයේ පැතිරගිය කොරෝනා පොකුරැ රුසක් අක්‍රීය කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමත්වීමේ ප්‍රතිඵලයක් ලෙසම මෙම විවෘත කිරීම් සිදුව තිබේ. එසේම අදාළ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව ද ‍මෙම ප්‍රදේශ යථාතත්වයට පත්කර ගැනීම වෙනුවෙන් විශාල සහායක් ලබාදී ඇත. මෙවන් කැප කිරීම් රට පුරා සිදුවේ නම් කෝවිඩ් මර්ධන සඳහා මෙතෙක් ගෙන ඇති පියවර තවත් ඵලදායී වනු ඇත. 

 චමිඳු නිසල් ද සිල්වා