2020 මැයි 09 වන සෙනසුරාදා

කොවිඩ් පොකුරු වළක්වන්න පංචායුධයක්

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

- ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා

 

 

පංචායුධ අරමුණු පෙරමුණට ගන්න

 

වියට්නාම් මොඩලය හොඳ ආදර්ශයක්

 

වැඩිහිටියන් ලෙස හිතන්න අවශ්‍යයි

 

ස්වයං විනය ශික්ෂණය ගොඩ නඟන්න

 

බෝඩර් පනිද්දී පරීක්ෂණ අනිවාර්ය කළ යුතුයි

 

කොරෝනා සමඟ හොඳ පුරුදු එකතු කරගමු

 

සෑම වසර සීයයකට වරක්ම වාගේ ආගන්තුක රෝග වසංගතයක් ලොව කැළඹීමට ලක් කරයි. අප මේ මුහුණ දෙන කොවිඩ් 19 අමුතු වසංගතයද එවැන්නකි. ලංකාව තුළ දැන් දැන් මේ රෝගීන් පොකුරු ලෙස වාර්තාගත වන තත්ත්වයක් උදාවී හමාරය. මේ රෝගය දරුණු ලෙස පැතිර යාම වළක්වාගත හැකි ඉතා සරල එමෙන්ම අතිශය විශ්වාසදායි ක්‍රමවේදයක් අප සතුය. ඒ පංචවිධ ක්‍රියා පිළිවෙතකි. කාටත් භාවිතයට ගතහැකි “පංචායුධයකි”. මේ පංචායුධය භාවිතයෙන්ම පමණක් කොවිඩ් 19 මාරකයෙන් ජීවිත රැසක් රැක ගන්නට අපට හැකියාව ඇතත් අප සිටින්නේ ඒ ගැන නිසි අවධානයක් කැපවීමක් නැතිවය. එදිනෙදා ජීවන රටාවේ හුරුපුරුදු කිහිපයක් වෙනස්කර අලුත් පුරුදු කිහිපයක් හුරුකර ගැනීමෙන් මේ වසංගතයෙන් පමණක් නොව ඉදිරි අනාගතයේ එන්නට නියමිත මෙබඳු වසංගතවලින් කලින්ම බේරී සිටින්නට හැකි පංචායුධයක් තමන් සතු කරගන්නට යැයි කියන්නේ කායික රෝග පිළබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන ද සිල්වා ය.

කොවිඩ් 19 ගොදුරු ගණන අපේ රට තුළ හදිසියේ නොසිතූ මට්ටමකට ඉහළ යන්නට වූයේ ඉතා සුළු අතපසුවීම් සහ නොසැලකිලිමත්කම් කිහිපයක් නිසාය. අපේ රටේ ඉස්සර සිට පැවත එන සම්ප්‍රදායක් හැටියට දරුවන් කුඩා කළ ගෙල පළඳවන  පංචායුධය මගින් සංකේතවත් කරන ආරක්ෂාව පිළිබඳ සංකල්පයම භාවිතයට ගනිමින් කොවිඩ් 19 වෙතින් ආරක්ෂාව සලසන මෙම පංචායුධ ක්‍රමවේදය ඔහු නිර්මාණය කර තිබේ. එය නිතර නොපමාව නොලස්ව භාවිතයට ගැනීමෙන් තමන්ගේ මෙන්ම අන් අයගේත් ජීවිත ආරක්ෂාකර ගත හැකියැයි මහාචාර්ය අර්ජුන පෙන්වා දෙයි. ඔහු මේ විස්තර කරන කොවිඩ් 19 නාශක නව “පංචායුධය”මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති චර්යා රටා වෙනසකි. එය ස්වයංවිනයක් සහ මනා පාලනයක් සහිතව ස්ථීරසාර කැපවීමෙන් යුතුව පවත්වාගෙන යාමෙන් පමණක්ම මේ භයානක රෝගය ග්‍රහණයෙන් මිදීමට හැකිය යන්න ඔහුගේ විශ්වාසයයි.

මහාචාර්ය අර්ජුන විස්තර කරදෙන “පංචායුධය” නැතිනම් පංචවිධ චර්යාත්මක වෙනස්කම් අති සරලය. මේ නිසාම මෙබඳු භයානක රෝගයකින් ජීවිත ගලවාගන්නට හැකි උපක්‍රමය මේ තරම්ම සරලදැයි සැකහිතන බොහෝදෙනා එය උපහාසාත්මකව බැහැර කරන නොතකා හරින අවස්ථාව වැඩිය. නමුත් මේ කියන සරල පිළිවෙත් පුරන්නට අද අදම නොපමාව ක්‍රියාකළහොත් අපේ රට තුළ වසංගතය තවදුරටත් පැතිරයාම පාලනයට ඒ හොඳම පිළිවෙත බව සනාථ වනු ඇත.
කායිකරෝග පිළබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන ද සිල්වා නැවත මතක් කර දෙන ආකල්පමය වෙනසක් ඇති කරගනිමින් අලුතෙන් පුරුදු පුහුණු කරගත යුතු “පංචායුධ” සංකල්පයේ චර්යා රටාව මෙබඳුය.

එහි මුල්ම පියවර ලෙස, මේ වසංගත සමය පහව යනතුරු කිසිම විටෙක “අත්‍යවශ්‍යම කාරණාවකට හැර නිවෙසින් පිටතට නොයා සිටිය යුතුය”. දෙවැනුව එසේ “පිටතට යන්නට සිදුවන්නේම නම් ඒ අය එවිට ප්‍රමිතියට අදාළව නිපදවූ මුව ආවරණයක් පැළඳිය යුතුමය”. තෙවැනුව “මුව ආවරණ පැළඳ සිටිනා විටත් එසේ නොමැති විටත් ඉතා අවධානයෙන් යුතුව සිටිමින් සිය මුහුණ ආශ්‍රිත ප්‍රදේශ අතපත ගෑමෙන් වැළකී සිටිය යුතුය”. හතරවෙනි පියවර වන්නේ “පිටතට යන සෑම අවස්ථාවකම සෑම මොහොතකම අවධානයෙන් යුතුව සිටිමින් පුද්ගලයන් එකිනෙකා අතර අවම වශයෙන් මීටරයකවත් දුර තබා ගැනීමට පරෙස්සම් වීමය”. පංචායුධ ක්‍රියාදාමයේ පස්වැන්න මේ දිනවල නිතර නිතර අසන්නට ලැබෙන නමුත් ඇසූ සැණින් නෑසූ ලෙස අමතක කර දමන “නිතර සබන් යොදා සෝදා අත්පිරිසුදු කිරීම හෝ ඇල්කොහොල් මිශ්‍රිත දියරයකින් පිරිසුදු කරගත යුතුය” යන්නයි. මේ පංචවිධ ක්‍රමවේදය එහි සරල බවට එහා ගිය පූර්ව සෞඛ්‍යාරක්ෂක ජීවිතාරක්ෂක පිළිවෙතක් බවත් මෙතැන් සිට අපේ එදිනෙදා ජීවන රටාවේ වැදගත් සිරිතක් ලෙස එක්කර ගත යුතු අංගයන් බවත් මහාචාර්ය අර්ජුන කියයි. ඔහු පෙන්වා දෙන නිදසුනක් වන්නේ ජපාන ජාතිකයන් කාලයක සිට නිවසින් බැහැ සංචාරයක හෝ සෙනඟ ගැවසෙන ස්ථාන කරා යනවිට මුව ආවරණ පැළදීම සිරිතක් ලෙස පවත්වාගන යන ආකාරයයි. එය ඔවුන්ට තදින්ම හුරුවීමට හොඳින්ම බලපැමක් සිදුකළේ මෙයට පෙර පැතිර ගිය SARS වසංගතයයි. එදා ඇතිකර ගත් යහපුරුද්ද ඔවුන් දැන් ජාතික සිරිතක් බවට පත්කරගෙන හමාරය. මහාචාර්ය අර්ජුන කියන්නෙ දැන් අපේ ඇත්තන්ටද මේ හඳුන්වා දුන් “පංචායුධ” සංකල්පය තමන්ගේම කරගැනීමට කාලය බවයි.

මේ පංචායුධ සංකල්පය ස්වයං විනයකින් යුතුව ක්‍රියාවට නංවන අතරම වගකීමක් ඇති දැනුම් තේරැම් ඇති වැඩිහිටියන් සේ ක්‍රියාකිරීමට හිතට ගත යුතු බව ඔහු පෙන්වා දෙයි. ඔහු එසේ කියන්නට හේතුව නම් පසුගිය කාලයේ තමන්ට රෝගය ඇති බව දැන හෝ නොදැන සමහර පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලිය මඟ හැර ප්‍රතිකාර ගැනීමට ඉදිරිපත් නොවී හැංගිමුත්තන් කෙළීම නිසා සිදුවූ සමාජ හානියයි. යුතුකම් සහ සමාජ වගකීම් බරපතළ ලෙස සලකා මේ මොහොතේ කටයුතු කළ යුතු බව මහාචාර්ය අර්ජුන පෙන්වා දෙයි.

කොවිඩ් 19 පොකුරු වසංගතයෙන් මිදීමට නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කලින් යෝජනා කර තිබූ පරිදි  ආසාදිතයන් සොයා සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකළ යුතුය යන්න මහාචාර්ය අර්ජුනගේද අදහසයි. විශේෂයෙන්ම රෝගය සහ රෝගීන් සමඟ කෙලින්ම ස්පර්ශ වීමේ අවදානම දරන සෞඛ්‍ය අංශ සේවකයන් පොලිසිය හමුදාව ආරක්ෂක අංශවල උදවිය මේ සඳහා පරීක්ෂාවට ලක් කිරීම ඉතාමත් වැදගත් බව ඔහු පෙන්වා දෙයි. පුද්ගල නියැදි පරීක්ෂණ ඉහළ දැමීම මගින් සාර්ථකත්වයට පත්වූ වියට්නාමය මෙහිදී ඔහු උදාහරණයට ගනියි. වියට්නාමය ජන සංඛ්‍යාව ඇතුළු බොහෝ කාරණා මගින් ලංකාවට ආසන්න බවක් දක්වන අතර අද ඒ රට සාර්ථකව වසංගතය මර්දනයට සමත්ව ඇත්තේ පරීක්ෂණ සංඛ්‍යාව බහුල හා සුලබ කිරීම මගිනි. ඒ අපටද වහා ආදර්ශයට ගත යුතු සාර්ථක කොවිඩ් 19 මර්දන පියවරක් බව මහාචාර්ය අර්ජුන කියයි.

පර් යේෂණ සංඛ්‍යාව ඉහළ දැමීමේදී විශේෂයෙන්ම කලාපයකින් කලාපයකට ගමන් ගන්නා පිරිස සඳහා මේ පරීක්ෂාවන් අනිවාර්යය කළයුතු බව ඔහු පෙන්වා දේ. විශේෂයෙන්ම දැඩි අවදානම් කලාපවල සිට අවදානම අඩු හෝ රහිත කලාපවලට ඇඳිරිය ඉවත් කළ පසු ගමන් කරනා පිරිස එසේ පරීක්ෂාකර බැලීම සුදුසුය. රටේ මෙතෙක් රෝගය වාර්තා ගතව නොතිබූ දිස්ත්‍රික්ක කිහිපයක් වෙතද මෑතකදී අවාසනාවන්ත ලෙස රෝග වෛරසය පැතිර ගිය ආකාරය සැලකිල්ලට ගත් විට මේ කාරණයේ වැදගත්කම පැහැදිලි වන බව මහාචාර්ය අර්ජුන පෙන්වා දෙයි. වියට්නාම් රෝග මර්දන මොඩලයේ යහපත් අංග භාවිතයට ගෙන පරීක්ෂාවන් මගින් කලින්ම වෛරසය සහිත, එහෙත්  රෝග ලක්ෂණ නැති, නමුත් තදබල ලෙස රෝග වාහකයන් ලෙස ක්‍රියාකළ හැකි අනතුරුදායක පිරිස තෝරා බේරා ගැනීමෙන් සමාජගතව කොවිඩ් 19 පොකුරු ගැසීම වළක්වා ගත හැකි බව කායික රෝග පිළබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන ද සිල්වා පෙන්වා දෙයි. 

වියට්නාමයේ උදවිය තම රටට ගැළපෙන පරිදි එරටම නිපදවාගත් පර් යේෂණ උපකරණ යොදා ගනිමින් මහමගදී අහඹු ලෙස පවා පරීක්ෂාකර මින් රෝගය සමාජ ගතවීම වළක්වන්නට කටයුතු කරති. අපේ රටේද හාම්පුතාලාගේ ඉල්ලීමට අනුව ව්‍යාපාර ස්ථාන විවෘත කිරීමට මුල්තැන දී ඇඳිරිය ගෙඩිපිටින් ඉවත් කිරීමට පෙර මෙබඳු සූක්ෂම පරීක්ෂාවකට යොමු නොවුණොත් සිදුවන්නේ අපේ කලින් ආදර්ශක මොඩලය බවට පත්ව තිබූ සිංගප්පූරුව මේ වනවිට මුහුණ දී ඇති මාරාන්තික අලකලංචියට දැනදැන අතවැනීමකි. එවිට මෙතෙක් කලක් යුද හමුදාව සෞඛ්‍ය අංශ සේවකයන් ප්‍රමුඛ කොවිඩ්19 මැඬීමේ සටනට එක්වූවන් සිදුකළ කැපවීම කිරි ගංගාවක් ගොම සයුරකට හැරෙව්වාක් බඳු නිස්සාර අඥාන ක්‍රියාවක් වනු ඇත. ඒ නිසාම කායික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන ද සිල්වා පෙන්වා දෙන “පංචායුධය” නිසි ලෙස යොදා ගනිමින් ලෝකයේ සාර්ථක ආදර්ශයන් අනුව යමින් මේ වසංගතයට පොකුරැ ගැසීමට ඉඩ නොදීම කාගේත් කාලීන වගකීමයි.

 සුගත් පී.කුලතුංග ආරච්චි