2020 මැයි 09 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ගාණට හාල් විකුණන්න බෑ : අද හෙටම හිඟයක් එනවා

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

මේ වනවිට විවෘත වෙළෙඳපොළේ සම්බා සහ නාඩු සහල් කිලෝව රුපියල් 100 ක් ව ඇති අතර කැකුළු සහල් කිලෝව රුපියල් 90 ට වැඩියෙන් විකිණේ. මයිසූර් පරිප්පු (කුඩා ඇට) කිලෝව රුපියල් 190 දක්වා වැඩිවී ඇති අතර සැමන් ටින් එකක මිල රුපියල් 250 පමණ වී ඇත.

රජය මගින් සහල්වලට උපරිම මිලක් පනවා ඇති අතර ඒ අනුව සුදු - රතු සම්බා කිලෝව රුපියල් 90 බැගින්ද නාඩු කිලෝව රැපියල් 90 බැගින්ද අලෙවි කළ යුතුය. සුදු - රතු කැකුළු කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85 කි. පරිප්පු කිලෝවක හා සැමන් ටින් එකකට පනවා තිබූ පාලන මිල පසුගිය සතියේ ආණ්ඩුව විසින් ඉවත් කරන ලදී.

මෙම වාතාවරණය තුළ සහල් සහ සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු මිල සීමාවක් නොසලකා වැඩි මිල පවා සලකුණු කර නොබියව විවෘත වෙළෙඳ පොළේ අලෙවිකරන බව පෙනෙන්නට තිබේ. රජය කුමන නීති දැම්මත් තීරණ ගත්තත් කූට වෙළෙන්දෝ ඒවා තඹ සතයකට මායිම් නොකර පාරිභෝගිකයන් ගසා කති.

භාණ්ඩ මිල පාලනය කරන හා වෙළෙඳ පොළ පාලනය කරන පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට පැමිණෙන අයගේ අඩුවක් දක්නට ඇත්තේ අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් ප්‍රමුඛත්වය දීම හේතුවෙන්ය. එසේම එම ආයතනවල වාහන සහ යටිතල පහසුකම්වලද හිඟයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. මෙම පසුබිම තුළ වෙළෙඳ වැටලීම් හා නඩු පැවරීම ආදි රාජකාරි කටයුතු අඩාලව ඇති බව පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය ජාවාරම්කාරයන්ට තම කටයුතු නිරන්තරයෙන් කරගෙන ඒම සඳහා විශාල ආශිර්වාදයක්ද වී ඇත. මේ පිළිබඳ සමාලෝචනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වේ.

සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ අද පවතින තත්ත්වය වෙනස් නොවුණහොත් ලබන මාසය මැද පමණ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

සහල්වලින් රට ස්වයංපෝෂිත යැයි වගකිවයුත්තන් පැවසුවද ආණ්ඩුව නියම කර ඇති මිලට සහල් විකිණිය නොහැකි බව ඔහු කියයි. වී කිලෝවකට රුපියල් 50 ක ගැනුම් මිලක් නියමකර තිබියදී රජය නියම කර ඇති උපරිම මිල නොඉක්මවා සහල් අලෙවි කළ නොහැකි බව ඔහුගේ අදහසය. ඉස්සර වීවලින් සියයට 64 ක සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිව තිබූ නමුත් අද වන විට එය සියයට 54 දක්වා පහළ වැටී ඇති බව ඔහු පෙන්වා දෙයි. අද අමු ගොයම් ගස් ඇඹරීම නිසා හා බොල් රොඩු ආදිය එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි ඔහු කියා සිටී. මෙලෙස නිෂ්පාදනය කරන සහල් ප්‍රමිතියෙන් බාල අතර කල්තබා ගත නොහැකි බවද බත නීරස බවද කියයි. මෙලෙස බාල සහල් ඇතිවන්නේ ආණ්ඩුව නියමකර ඇති මිලට වී මිලට ගෙන පාලන මිලට සහල් විකිණීමට නොහැකි වීම නිසාය.

“ගොවියාගෙන් වී කිලෝව රුපියල් 50ට මිලට ගන්නවා නම් නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 105 වත් විය යුතුයි. එහෙම නැතුව රජය කියන රුපියල් 85ට 90ට දීමට නොහැකිය. දෙපැත්තකින්ම පාලනය කිරීම නිසා සහල් වල ප්‍රමිතිය බාල වී ඇති අතර නිෂ්පාදනයද අඩුවෙලා තියෙනවා. ආණ්ඩුව කියන මිලට සහල් දීමට බැරි නිසා මෝල් හිමියන් වී කෙටීම අඩු කරලයි තියන්නේ. මැෂින් අඩුවෙන් දුවවලා එහෙම නැතිනම් අලුත්වැඩියාවලට යොමු කරලා නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට පෙළඹෙනවා. එසේම කොටන සහල් ප්‍රමිතියෙන් බාල නිසා වැඩිකල් සහල් තබා ගන්න බැහැ. බත නරක් වෙනවා. රසය අඩුවෙනවා. ඒ නිසා පාරිභෝගිකයන් මෙම සහල් මිලට ගැනීමෙන් වැළකී සිටිනවා.”
දිනකට අපේ රටට සහල් කිලෝ ලක්ෂ 50 ක් පමණ පාරිභෝජනයට අවශ්‍යයි. මේ වනවිට හෝටල් වසා ඇති නිසා ලක්ෂ 45 පමණ දෛනිකව අවශ්‍යයි. පිටරටින් ගෙනෙන සහල්ද මෙයට ඇතුළත් වෙනවා.

වී ගන්නා මිල සහ ප්‍රමිතිය ඉහළ මට්ටමකින් රඳවා ගෙන හොඳ සහල් නිෂ්පාදනය කරනවා නම් කැකුළු කිලෝව රුපියල් 100 ක් පමණ වියයුතු අතර නාඩු කිලෝව රුපියල් 105, සම්බා කිලෝව 110 පමණ මිල විය යුතුයි. කීරි සම්බා නම් ආණ්ඩුව නියම කරන කිලෝව රුපියල් 125 මිලට දීමට පුළුවන්. එසේ නොකර අඩුවට දෙනවා යැයි කියනවා නම් එතැන සහල් පිළිබඳ යම් ගැටලුවක් තිබිය යුතු වෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජි.එල්.ඉලෙයිමෙයිනාදන් පවසන්නේ උපරිම සිල්ලර මිල පනවා ඇති පරිප්පු, සැමන් සහ ලූනු හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ එම මිලට අලෙවි කළ නොහැකි බවය. ඒ නිසා තම වෙළෙඳුන් උපරිම මිල ගැන නොසලකා එම භාණ්ඩ විවෘතව අලෙවිකරන බව ඔහු කියයි.

ඔහු තව දුරටත් පවසන්නේ අද භාණ්ඩ පිළිබඳ සැලකිය යුත්තේ මිල නොව කුමන මිලට හෝ ඒවා හිඟයකින් තොරව සැපයීමේ අවශ්‍යතාවය බවය. තම වෙළෙඳ සංගමය මැදිහත්වී ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට සැපයීම කටයුතු කරන බව ඔහු කියයි. ඇඳිරි නීතිය නොපවතින කාලවලටත් වඩා අද වනවිට වෙළෙඳ පොළේ භාණ්ඩ සුලබව ඇති බව ඔහු කියයි.

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු හා තොරතුරු) අසේල බණ්ඩාර පවසන්නේ ඉදිරියේදි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවේයැයි යන කතාව ව්‍යාජ ලෙස මවා පෑමක් වන අතර අද පවතින තත්ත්වය අනුව නුදුරේදී එවැනි අනතුරක් ඇති නොවන බවයි. මෙය කූට වෙළෙඳුන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන සලකා ගෙන ගොඩනගා ඇති කුමණ්ත්‍රණයක් බවට සැක පල කරයි.

“දේශීය නිෂ්පාදන අවශ්‍ය තරමින් තිබෙනවා. සහල් පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. බී ලූණූ ආදිය දැනට ඉන්දියාවෙන් අවශ්‍ය තරම් ගෙන්වන නිසා කිසිදු හිඟයක් නැහැ. පරිප්පු සැමන් ආදියේද මුලින් ප්‍රකාශ කළ සහන මිල අවලංගු කර ඇති නමුත් සාමාන්‍ය මිලට ඕනෑ තරම් ලබා ගත හැකි වෙනවා. මාස දෙකකට අවශ්‍ය සීනි තොග තිබෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් කිසිදු ආහාරයක් හිඟ වන්නේ හෝ මිල ඉහළ යන්නේ නැති බව ස්ථීරවම පැවසිය හැකියි. පාරිභෝගිකයා ඉදිරියේදි භාණ්ඩ හිඟයක් ඇතිවේයැයි බියවී අනවශ්‍ය තොග රැස්කර ගැනීමට අවශ්‍ය නැහැ.”

පාරිභෝගික සේවා අධිකාරිය මේ දිනවල වැටලීම් සිදුකිරීමේ යම් අඩුවක් ඇතිද යන්න පිළිබඳව විමසුවිට ඔහු ප්‍රකාශ කළේ වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව පෙර කාලයේ මෙන් එවැනි රාජකාරිවල නිලධාරින් යෙදවීම ගැටලුවක්ව ඇති බවයි. පාරිභෝගික සේවා අධිකාරියේ පමණක් නොව සෑම රජ්‍ය ආයතනයකම දැනට අත්‍යවශ්‍ය නිලධාරින් පමණක් යොදවා කටයුතු කරන බැවින් අවශ්‍යම දේවලට පමණක් වැටලීම් කරන අතර නිලධාරින් මෙන්ම වාහන ආදී සම්පත්වලද හිඟයක් ඇති බව ඔහු කියයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න
“ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූයේ ගොවියාගෙන් සම්බා වී කිලෝව රුපියල් 57 ට සහ නාඩු ඒ කිලෝව රැපියල් 52 ට මිලදි ගන්නා බවයි. එහෙත් දැන් වී කිලෝව රුපියල් 50 ට තමා ගැනුම් මිල නියම කර ඇත්තේ. රජය වී අලෙවි මණ්ඩලය හා හමුදාව මැදිහත්වී තෙත වී කිලෝව රැපියල් 44 ට සහ වියළි වී කිලෝව රුපියල් 50 ට ගැනීමට කටයුතු කර තිබෙනවා. රටේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 33ක් වන නමුත් රජය මිලට ගන්නේ මෙට්‍රික් ටොන් 50,000 වැනි සුළු කොටසක්. ඒ රටේ සහල් මිලට ආණ්ඩුව ගන්නා කොටස බලපාන්නේ ඉතාම අඩුවෙන්. වී නිෂ්පාදනයෙන් ඉතාම සුළු කොටසක් ගොවියා ළඟ ඇති අතර ඉතිරි සියල්ලම ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන් ළඟයි. ඔවුන් වී මිලදි ගන්නේ ආණ්ඩුවේ මිලට නොව කිලෝ 34-35 වැනි ඉතාම අඩු මිලකටයි. එලෙස අඩුවට ගත්තත් ආණ්ඩුවේ වී සහතික මිල පාවිච්චි කරලා සහල් මිල නියම කිරීමෙන් විශාල ලාභයක් ලබනවා.”

නිෂ්පාදන වියදම ගොවියාට වී කිලෝවකට රුපියල් 45 ක් පමණ වන නිසා රුපියල් 50 ට අඩුවෙන් දෙන්න බැරි බව සත්‍යයක්. මහා පරිමාණ මෝල් හිමියන් වැඩිපුර ලාභ ලබන්නේ කීරි සම්බාවලින්. එයට හේතුව කිලෝව රුපියල් 110 ට පමණ දිය හැකි කීරි සම්බා වලට රජය රුපියල් 125 ක උපරිම මිලක් නියම කර තිබිමයි. තොග වෙළෙදුන් තමන් සිල්ලර වෙළෙඳසල්වලට සහල් දමන විට සියයට 50 ක් පමණ කීරි සම්බා බලහත්කාරයෙන් සිල්ලර වෙළෙඳසල්වලට දමන්නේ එයින් වැඩිපුර ලාභ ගන්න පුළුවන් නිසායි.

 යසවර්ධන රුද්රිගු