අභිග්‍යා ආනන්ද් නමැති තරුණ ජ්‍යොතිර්වේදියකු කොරෝනා නමින් වෛරසයක් ලොව පුරා පැතිර යන බවට අනාවැකියක් පළ කරමින් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඉදිරිපත් කළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වේ. ඔහු එම වීඩියෝව යූ ටියුබ් නාලිකාවට එක් කර තිබුණේ 2019 අගෝස්තු මාසයේදීය. “2019 නොවැම්බර් සිට 2020 අප්‍රේල් දක්වා ලොවට දරුණු අනතුරක්” යන යන මැයෙන් ඔහු එම වීඩියෝව ඉදිරිපත් කර තිබිණි.
මැයි 31 දින වනවිට කොවිඩ් 19 කිසියම් පාලනයකට නතුවිය හැකි වුවද එය එහි අවසානය නොවන බවත් ජූනි 30 වනතෙක් මිනිසුන්ට කිසිදු සතුටුදායක තොරතුරක් අසන්නට නොලැබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.
මිනිස් ප්‍රතිශක්තිය වර්ධනය කළහොත් පමණක් අනාගතයේදී මෙම වසංගත රෝගවලින් මානවයා ආරක්ෂා කරගත හැකි යැයි පවසන අභිග්‍යා ආනන්ද් මිනිසාගේ කර්මය දිගු කරන සත්ත්ව ඝාතන සහ ස්වභාවධර්මයට හානි කිරීම නවතා දැමිය යුතු යැයිද කියා තිබේ. තම වෘත්තිය අතහැර ධාර්මික වෘත්තියක නිරත වන මෙන් ඔහු සියලු මාංශ වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටින අතර ස්වභාව ධර්මයට හානි කිරීම නොනැවතුවහොත් පෘථිවියේ උදහස මිනිසා කරා පැමිණීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද කියා තිබේ.
පසුගිය දිනවල ඔහු තවත් වීඩියෝවක් එළි දක්වමින් 2020 දෙසැම්බර් 20 වැනි දින තවත් ව්‍යසනයක් මිහිතලයට පැමිණෙනු ඇති බවත් එහි බලපෑම 2021 මාර්තු 31 දක්වා පවතින බවත් ප්‍රකාශ කරයි. එම ව්‍යසනය නැවත වරක් ලෝකයම ව්‍යාකූලත්වයට පත් කරන බවද එය මෙවර පැමිණි කොරෝනා වසංගතයට වඩා දරුණු ව්‍යසනයක් වන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
• පෘථිවියට ප්‍රහාර එල්ල කිරීමට සුපිරි රෝග බීජයක්
කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුව ද තවත් වෛරස් පැතිරෙන බව අභිග්‍යා අවධාරණය කරයි.. “අපට කොවිඩ් -19 සඳහා එන්නතක් සොයා ගත හැකියි. එහෙත් තවත් වෛරස පැමිණෙනු ඇත. ඒවා සුපිරි වෛරස ලෙසින් පැමිණෙනු ඇත. එබැවින් වඩාත් වැදගත් වන්නේ කාබනික නිෂ්පාදන වර්ධනය කිරීම හා කාබනික ද්‍රව්‍ය පමණක් පරිභෝජනය කිරීමෙන් අපගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
තමා මෙම අනාවැකි පළකරනුයේ ග්‍රහලෝක අනාවැකි විශ්ලේෂණය කිරීමෙන් බවද පෘථිවියේ ඇතිවන සියලු ක්‍රියාකාරකම් සඳහා ග්‍රහයන්ගේ පිහිටීම සහ චන්ද්‍ර ජ්‍යාමිතිය සෘජුවම බලපාන බවද ඔහු කියා සිටී.
ඇතැම් මාධ්‍ය ආයතන තම අනාවැකි විකෘති කර පළ කරන බවත් කොරෝනා වෛරස බිය 2020 මැයි 29 වන දිනෙන් අවසන් වන බවට වැරදි මතයක් ඉදිරිපත් කරන බවත් පවසා ඇති අභිග්‍යා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වන නමුදු මැයි මාස අවසන් වන විට කොරෝනාව සම්පූර්ණයෙන් තුරන් නොවන බව සඳහන් කරයි.
“ඇතැම් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගේ අනාවැකි පිළිබඳව සඳහන් කරමින් කොරෝනා වෛරසය මැයි 29 වනදායින් අවසන් වන බව සඳහන් කර ඇතත් එය මැයි 29 වනදායින් අවසන් නොවේ. මැයි 29 වන විට එය ක්‍රමයෙන් අවම වීම ආරම්භ විය හැකියි. ජූලි මාසයේ සිට ක්‍රමිකව අවම විය හැකියි.”
අභිග්‍යා ආනන්ද් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ශ්‍රී රංගාපට්න ප්‍රදේශයේ උපන්නෙකි. 2006 වසරේ උපත ලද ඔහුගේ වයස. අවුරුදු 14 කි. ඔහු වාස්තු ශාස්ත්‍රය, ආයුර්වේදය සහ වෛදික ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකි. ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබා ඇති ඔහු ආයුර්වේද ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හිමිකරගෙන ඇති ළාබාලතමයාද වේ... ගැඹුරු වෛදික දැනුමක් හා ප්‍රඥාවක් ඔහු සතුය. බොහෝ විශ්වවිද්‍යාලවල සහ අධ්‍යාපන ආයතනවල දේශන පැවැත්වීමටද ඔහුට ආරාධනා ලැබේ. ඔහුගේ පියා ආනන්ද් රාමසුබ්‍රමනියන්ය. මව අනු ආනන්ද්ය. එක් බාල සොහොයුරියක සිටී. ඇය අභිදේහ්යා ආනන්ද්ය. ශ්‍රීරංගපට්න රජයේ පාසලෙන් අධ්‍යාපනය ලද අභිග්‍යා දිව්‍ය ජෝති ජ්‍යොතිෂ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීය. සැම විටම නිර්මාණාත්මක කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන අභිග්‍යා අසාමාන්‍ය දරුවෙකි. වයස අවුරුදු 14ක දරුවකු වුවද පැළෑටි සම්බන්ධ විවිධ පර්යේෂණවල නිරත වෙයි.
ප්‍රාන්ත ආණ්ඩුකාරකාර සම්මානය, හොඳම ගෝලීය ළමා ආශ්චර්වාදීන් 100 දෙනා වෙනුවෙන් පුදන ලද සම්මානය ඇතුළු විවිධ සම්මාන දහයකින් ඔහු මේ වනවිට පිදුම් ලබා තිබේ. කොවිඩ් 19 පිළිබඳ ඔහුගේ අනාවැකිය සත්‍ය වූ අතර එමගින් අන්තර් ජාලය පුරා ඔහු කීර්තියට පත් විය.. 2020 දී ලෝකය දුකට පත්වනු ඇතැයිද වෙළඳපොළ හා ආර්ථිකය වැටෙනු ඇතැයිද කොරෝනා වෛරසය නිසා ලෝකය පුරා යුද්ධයක් ආරම්භ විය හැකි යැයිද ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා