2020 මැයි 09 වන සෙනසුරාදා

රජයේ නිවාඩු දිනවල නාමයෝජනා බාරගැනීමේ අවුල

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

කොරෝනා වසංගතය තවමත් මෙරටින්  පහව ගොස් නැති තත්ත්වයක් තුළ පවා, දේශපාලන මාතෘකා කිහිපයක් පිළිබඳ සමාජ කතිකාව උණුසුම් මට්ටමක පවතී. මහ මැතිවරණය පවත්වන දිනය පිළිබඳ කතිකාවක් එක අතෙකින් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරමින් මහ මැතිවරණය තවදුරටත් කල්දැමිය හැකි දැයි කතිකාවක් තව අතෙකින් පවතී. පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු යැයි යෝජනාවක්ද තවත් අතෙකින් පවතී. එකිනෙක දේශපාලන පක්ෂ හා නායකයන් තම ඉදිරි සැලසුම් පාදක කොට ඉහත කතිකාවක ඉදිරියට ගෙන යන බවක්ද පෙනෙන්ට තිබේ.

මේ අතර ඉදිරි මැතිවරණය පිළිබඳ තවත් කථිකාවක් පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවකදී දේශපාලන කරළිය උණුසුම් කළේය. එම හමුවේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ මහ මැතිවරණය සඳහා බාරගත් නාමයෝජනාවල නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳ ගැටලුවක් පැන නැගී ඇති බවය. නාම යෝජනා බාරගත් පසුගිය මාර්තු මාසයේ 17,18,19, යන දිනයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබීම මෙයට හේතුව බවද ඒ මහතා විසින් පෙන්වා දී තිබිණි.

මැතිවරණ කොමිසම මේ සම්බන්ධව නීතීපතිවරයාගෙන්ද උපදෙස් ලබා ගැනීම සිදුකර තිබූ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දන්වා ඇත.

පක්ෂ නියෝජිත හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා පැවසූ මෙම නාමයෝජනා ගැටලුව පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයින් කිහිපදෙනෙකුගෙන් දේශයේ අපි විමසීමක් කළෙමු.

නිවාඩු දිනයක නාමයෝජනා දීම නීතියට අනුකූලයි

පිවිතුරු හෙළ උරැමයේ නායක උදය ගම්මන්පිල

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීම පිළිබඳ මාර්තු 2 දින නිකුත් කළ ප්‍රකාශනයේ නාමයෝජනා භාරදීම සඳහා වෙන් කළේ මාර්තු 12 සිට 19 දක්වා දිනයන්. නිරෝධායන කටයුතු පහසු වීම සඳහා ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන ඇමතිතුමා විසින් 16දා රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙසත් 17 සිට 19 දක්වා දින රජයේ විශේෂ නිවාඩු දින ලෙසත් ප්‍රසිද්ධ කළා. රජයේ නිවාඩු දිනයක් නාමයෝජනා දිනයක් විය නොහැකිය යන පදනමින් නාමයෝජනාවල නීත්‍යානුකූලත්වය ප්‍රශ්න කිරීමට ලක් වී ඇති බව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. ඇත්තෙන්ම මේ පිළිබඳ නීතිය හරිම සරලයි. පැහැදිලියි. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10(1) වගන්තියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ප්‍රකාශනයක සඳහන් කළ යුතු කරුණු දෙකක් සඳහන් වෙනවා. (අ) නාමයෝජනා කාල සීමාව (ආ) ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10(2) වගන්තියේ රෝමානු දෙක අනු වගන්තියේ සඳහන් වෙනවා (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ නියම කරනු ලබන දිනය පසළොස්වක පෝය දිනයක් හෝ 1971 අංක 29 දරණ නිවාඩු දින පනතේ සඳහන් යම් රජයේ නිවාඩු දිනයක් නොවිය යුතුයි කියා. ඒ පනතින් තමයි මැයි දිනය නිදහස් දිනය වැනි දින නිවාඩු දින ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. ඇමතිවරයා මාර්තු 16 සිට 19 දක්වා නිවාඩු දින ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මේ පනත යටතේ තමයි. එහි සඳහන් වෙන්නේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ නියම කරනු ලබන දිනය (අ) වගන්තිය කතා කරන්නේ නාමයෝජනා කාල සීමාව. (ආ) ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය. (ආ) වගන්තියේ සඳහන් දිනය කියන්නේ ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය මිස නාමයෝජනා කාල සීමාව නොවේ. ඒ නිසා නිවාඩු දිනයක නාමයෝජනා භාර දීම හරහා නාමයෝජනා වල නීත්‍යානුකූලත්වයට කිසිම බලපෑමක් නෑ.

මැතිවරණ කොමිසම වැඩකර ඇත්තේ නීතියට අනුවයි

- නීතිඥ යූ ආර් ද සිල්වා 

මැතිවරණ කොමිසම විසින් නිත්‍යානුකූලව නාම යෝජනා බාරගත්ත අවස්ථාවේදී ඒ බාර ගැනීම සිදුකරලා ඒ සදහා නියමිත කාල පරිච්ඡේදයක් දීලා තියනවා මැතිවරණය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් තිබෙනවා නම් දන්වන්න. ඒ නිසා මෙය නීත්‍යානුකූලව කරගෙන ආපු අවස්ථාවක්. ඒ නිසා මේ කරනු ලබන්නේ රට නැවත වරක් යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරුව මැතිවරණය කොමිසමට නීත්‍යානුකූලව ලබාගෙන තිබෙන මේ නාම යෝජනාපත්‍ර අනුව කටයුතු කිරීමට බාධාවක් හැටියට තමයි මේ විරෝධතාවය අරං තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් නීතිපතිතුමා නිවැරදිව කියලා තියන දේ තමයි නීතියට අනුව මැතිවරණය පවත්වන්න කියලා. ඒ කියන්නේ මෙතෙක් කල් කරගෙන ආවේ නීතියට අනුවයි. මැතිවරණ කොමිසමට යම් බාධාවක් ඇති වුණා. ඒ බාධාව යටතේ 24(3) වගන්තිය යටතේ කල් තැබීමක් කරලා තිබෙනවා. ඒ කල් තැබීම මැතිවරණ කොමිසමට තිබෙන බලතල අනුව කරපු දෙයක්. ඒ බලතල අනුව ඉදිරි පියවර සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා මැතිවරණය පැවත්වීමට කිසිදු බාධාවක් නෑ කියන එක තමයි නිතිපතිවරයා මේ කියලා තියෙන්නේ.

යළි නාමයෝජනා කැඳවන්න ආණ්ඩුව බයයි

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ

වර්තමාන ආණ්ඩුවට ඕනවෙලා තියෙන්නේ කූමන ක්‍රමයකින් හෝ මේ මැතිවරණය පවත්වන්න. රටේ ජනතාව ගැන රට ගැන කිසිම වගකීම මේ අයට නැහැ. මොවුන් පෙර තිබූ පාර්ලිමේන්තුව වසර හතරහමාරක කාලයකින් අවසන් කළේ මොවුන්ට ඉක්මනට බලය ලබාගන්න. නමුත් අවාසනාවකට වගේ මේ රටට කොරෝනා වසංගත තත්ත්වය පැමිණියා. මොවුන්ට මේ මැතිවරණට නාමයෝජනා දීම පස්සට දාන්න තිබුණා. නමුත් මොවුන් බලයට තිබෙනෙ කෑදරකමට එය සිදුකළේ නැහැ. පසුගිය පක්ෂ නායක හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා අදහස් දක්වා තිබුණා මේ නිවාඩු දිනවල මේ නාමයෝජනා බාර ගැනීමේ නිත්‍යානුකූල තත්වය පිළිබඳ ගැටලුවක් තිබෙනවා කියලා. නමුත් වර්තමාන රජයේ බොහෝ පිරිසක් එය පිළිගැනීමට මැලි වී තිබෙනවා. ඒ කුමක් නිසාද ඔවුන් දන්නවා නැවත නාම යෝජනා කැඳවා මැතිවරණය සඳහා ගියොත් ඔවුන්ට පරාජය වීමට සිදුවන බව ඒකයි මොවුන් මේ කොමිසම කියන කාරණා ගණන් ගන්නේ නැත්තේ.

මෙතන ගැටලුවක් මතුවෙලා තිබෙනවා

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයියඩ් අලී සහීර් මවුලානා

පසුගියදා පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර තිබූ සාකච්ඡාවේදී මැතිවරණ කොමසාරිස්වරයා කියා තිබුණා නාම යෝජනා බාරගත් දින නිවාඩු දින නිසා එම නාමයෝජනා නීත්‍යානුකූල නොවන බවට ගැටලුවක් ඇති බව. ඇත්තටම මේ රජය එහෙම කළේ මේ මැතිවරණය ඉක්මනින් තියන්න පරණ පාර්ලිමේන්තුව ධුර කාලය අවසන් වෙන්නත් කලින් ඔවුන් මේක තමයි මේ කළේ. මේ පිළිබඳ අපි පක්ෂය නීතිවේදීන් සමග සාකච්ඡා කරලා බලනවා මොකද කරන්නේ කියලා.

විපක්ෂයට ඕනෑ රට අවුල් කරන්න

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්

නාම යෝජනාවල නීත්‍යානුකූල භාවය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගිලා තියෙනවා. එය නීතිපතිගෙන් විමසිය යුතුයි කියල මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තිබුණා. එයට නීතිපති නිසි පිළිතුරු ලබාදී තිබුණා. මේ නාම යෝජනා කල්දාන්න ඕන නාමයෝජනා අවලංගු වෙන්න ඕන මැතිවරණය නිසි දිනයට තිබ්බේ නැත්‍තම් කියන කරුණු විපක්ෂය මුලසිටම ගෙන හැර දැක්වූවා. මොවුන්ට අවශ්‍ය වී තිබුණේ මේ මැතිවරණය කල් දමා නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවා රටේ පෙර තිබූ වාතාවරණයම ඇති කරන්න. ඔවුන්ට තමන්ගේ පක්ෂ බෙදී වෙන් වී ගිය බැවින් නැවත ඒ පක්ෂ එක්කොට මැතිවරණය සඳහා එන්න තිබෙන වුවමනාවෙන් තමයි මේ විදියට වැඩකටයුතු කරමු කියන්නේ නමුත් දැන් එයට නිසි පිළිතුරක් නීතිපතිවරයාගෙන් ලැබිලා තිබෙනවා.

සටහන: හසිත් අංජන