2020 මැයි 09 වන සෙනසුරාදා

මී මැස්සන්ගෙන් කොරෝවා පාඩමක්!

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

කොවිඩ්-19 වසංගතය ලොව බොහෝ ආයතන පුද්ගලයන් මෙන්ම රට රාජ්ජයන්ද අහසින් පොළොවට බස්සවා හමාරය. ලෝකෙට ලොක්කා කී අමෙරිකාව අද වසංගතය හමුවේ තදින්ම අසරණ වූ රටයි. බටහිර රාජ්‍ය ගණනාවක් කොවිඩ්-19 නිසා දිගුකාලීන ආර්ථික වසංගතයකට මුහුණ දෙන ලකුණු පෙන්වා හමාරය. මේ නිසාම ලංකාවද ප්‍රමුඛ බොහෝමයක් රටවල් වසා දැමූ නිෂ්පාදන ආයතන විවෘත කරමින් ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමේ මූලික පියවර ඇරුඹුවේය. ඒ අතර ලෝ ප්‍රකට නාසා ආයතනයද ඉකුත් සතියේ අහසින් පොළොවට බැස්සේය.

මෙතෙක් කලක් මහ පොළොවෙන් පිටත පිටසක්වල සිහින දේශයන්හි සහ අභ්‍යවකාශ නැවතුම් අතර සවාරි ගසමින් සිටි නාසා ආයතනය පසුගිය සතියේ ලෝක ගෝලය වසා පැතිර යන මහා වෛරස ව්‍යාධියට එරෙහි සටනට උරදුන්හ. ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් ඉංජිනේරුවන් තාක්ෂණික ‘ජිමික්කරුවන්’ සිටින්නේ ‘නාසා' ආයතනයට සම්බන්ධිතවය. මේ මානව සම්පත ලෝක ප්‍රජාවගේ යහපත සඳහා යෙදවීමට ඒ ආයතනය වෙනස්ම ආකාරයකට කටයුතු කළේය. එහි ජෙට් ප්‍රොපල්ෂන් පර්යේණායතනයේ විද්‍යාඥයන් යොදා ගනිමිනි. ඒ අනුව උත්සන්න වූ වෛරස ලෙඩේට දැනට ඇති හොඳම ප්‍රතිකර්මය වන හුස්ම ගැනීම පහසු කරන නවතම මාදිලියේ යන්ත්‍ර රැසක් නිපදවීමට එම ආයතනය සමත්විය. මෙතෙක් පැවැති සම්ප්‍රදායික හුස්ම පිඹින මැෂින්වලින් වෙනස් වූ නව මාදිලියක  අධි පීඩක - ශ්වසන ආධාරක යන්ත්‍ර හෙවත් high-pressure ventilator යන්ත්‍රයක් වූ VITAL (Ventilator Intervention Technology Accessible Locally), නමැති නාසා නිපැයුම පසුගිය අඟහරුවාදා කළඑළි බැස්සේය. නාසා නිපැයුම්කරුවන්ට මේ නව මාදිලිය සැලසුම් කර තනන්නට දින 37ක් ගතවී තිබුණි. ලොව බොහෝ රටවල් මෙන්ම ආයතනද කොරොනා එරෙහි සටනට අවශ්‍ය මෙබඳු අළුත් ප්‍රතිකර්ම සහ යන්ත්‍ර සුත්‍ර සෙවීමේ තදබල තරගයක ඉකුත් සතියේ පැටැලී සිටියහ.

ලංකාවද පුරා මාස 02කට ආසන්න කොවිඩ් ඇඳිරිය නිමාකරමින් පාලනයක් සහිතව සාමාන්‍ය ජනජීවිතය නැවත ඇරුඹිය යුතුය යන තීන්දුවට එළැඹ තිබුණි. ඒ අතරේ මෙතෙක් 07කට සීමා වී තිබූ කොවිඩ්-19 මරණ බිලි සංඛ්‍යාව ඉකුත් සතියේ බදාදා වනවිට 09ක් දක්වා ඉහළ නැංගේය. සිකුරාදා උදෑසන වනවිට ලෝක කොවිඩ් මීටරයට අනුව ලංකාව තුළ ආසාදිත පිරිස 824ක්ව තිබුණි. ඒ අතර වසර 7ක පමණ දරුවෙක්ද වාර්තා විය. මේ වනවිට සුවය ලබා සිටි ගණන 232කි. ලංකාව තුළ ඇඳිරිය ලිහිල් කර ජන ජීවිතය නැවත ඇරුඹීමට යන්නේ මෙවන් තත්ත්වයක් තුළදීය.

අමෙරිකාව මෙන්ම යුරෝපයද වසංගතයේ ප්‍රබල ප්‍රහාරයකට ගොදුරුව හමාරය. ලෝක කොවිඩ් මරණ සංඛ්‍යාව 270,940ක්ව තිබුණි. ආසාදිත පිරිස 3,917,629 හෙවත් ලක්ෂ 40ට කිට්ටු කර හමාරය. ඉකුත් සිකුරාදා උදෑසන වනවිට අමෙරිකාවෙන් ආසාදිතයන් 1,292,623ක්ද මරණ 76,928ක්ද, ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 256,855ක්ද, මරණ 26,070ක්ද, ඉතාලියෙන් ආසාදිතයන් 215,858ක්ද මරණ 29,958ක්ද, එක්සත් රාජධානියෙන් ආසාදිතයන් 206,715ක්ද මරණ 30,615ක්ද, රුසියාවෙන් ආසාදිතයන් 177,160ක්ද මරණ 1,625ක්ද, ප්‍රංශයෙන් ආසාදිතයන් 174,791ක්ද මරණ 25,987ක්, සහ ජර්මනියෙන් ආසාදිතයන් 169,430ක්ද මරණ 7,392ක්ද හඳුනාගෙන තිබුණි. වෛරසයේ තිඹිරි ගෙය වූ චීනයේ ආසාදිතයන් 82,887ක් වාර්තා වී තිබේ. එරට මරණ ගණන 4,633කි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රිකාව තුළ පුද්ගල මරණ එක්ලක්ෂ 90,000 ක් පමණ සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කාර්යාලය පෙන්වා දෙන්නේ මිලියන 29ත් 44ත් අතර ප්‍රමාණයකට වෛරසය වැළඳෙනු ඇති බවට සැක පළවන බවයි. අමෙරිකාව, රුසියාව, එක්සත් රාජධානිය මෙන්ම ඉන්දියාවද එක් දිනක් තුළ වාර්තාගත වූ ඉහළම ආසාදිතයින් සහිත රටවල් බවට පත්වූහ. ඉකුත්  බ්‍රහස්පතින්දා වන විට පැය 24ක් තුළ රුසියාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් 11,000 කට අධික පිරිසක් හඳුනා ගෙන තිබුණි. ඉන්දියාවෙන් පැය 24ක් තුළ ආසාදිතයින් 3561 දෙනෙක් වාර්තා වූහ. අමෙරිකා එක්සත් ජනපදයේ එම සංඛ්‍යාව 29,321ක් ලෙස ඉහළම අගයක් ගත්තේය. එක්සත් රාජධානියේ මරණ 693කි.

ලෝකයේ දැනට කොවිඩ්-19 එරෙහි සටනේ ආදර්ශවත්ම රට ලෙස ප්‍රකට සිය නාමය මුල්තැන රඳවා සිටින වියට්නාමය තුළ මේ වනවිටද කිසිදු මරණයක් වාර්තාගතව නැත. ඒ රට ආසාදිත ගණන 271කි. සුවපත් ගණන 233කි. ඉකුත් සති 2 තුළ අලුත් ආසාදිතයන් කිසිවෙකුත් එරටින් වාර්තා වී නැත.

කිසිදු මරණයක් වාර්තාගතව නැති අනෙක් රටවල් සහ රාජ්‍යයන් අතරට, නේපාලය, ලාඕසය, කාම්බෝජය, වතිකානුව, රියූනියන්, රුවන්ඩා, මැඩගස්කරය, ජීබ්‍රෝල්ටාව, ෆෙරෝස් දුපත්, උගන්ඩාව, මොසැම්බික්, ප්‍රංශ පොලිනිසියාව, කාර් රාජ්‍යය, දකුණු සූඩානය, මැකාඕ, මොන්ගෝලියාව, එරිත්‍රියාව, ටිමෝරය, ග්‍රෑනඩාව, ෆීජී, නව කැලඩොනියා, සෙන්ට් ලුසියා, සෙන්ට් වින්සෙන්ට්, සෙන්ට් කිට්ස්, ඩොමිනිකා, නැමීබියා, ෆොක්ලන්ත දූපත්,සී ෂෙල්ස්,ග්‍රීන්ලන්තය,පැපූවා නිව් ගිනියාව,බූතානය,කැරිබියානු නෙදර්ලන්තය, ශාන්ත බාර්ත්, බටහිර සහරාව, ඇන්ගූලියා සහ සේන්ට් පියරේ ඇතුළු 39ක් එක්ව ඇත. මේ වනවිට MS Zaandam මෙන්ම Diamond Princess යන නෞකාවන් ඇතුළුව ලොව රටවල් සහ රාජ්‍යයන් 212ක් වසංගත ආක්‍රමණයට යටත්ව හමාරය.

දැන් මෙම වසංගතය මර්දනයේ ලෝකයේ අංක 01 ලෙස නමක් දිනා ඇති වියට්නාමය ගැන ඉකුත් සතියේ ලැබුණු නරක ආරංචියකි. එරට වෛරස ආසාදනය ගැන පෙන්වන  වක්‍රය සමතලා කරන්නට නොව සුණුවිසුණු කර දමන්නට සමත්වූ රටකි. නමුත් දැන් එරට ආර්ථිකය අතින් ආගාධයකට ඇදවැටෙන ලකුණු පහළ වී හමාරය. එරට මිලියන 10කගේ රුකියා අහිමිව යන බවට අනතුරු ඇඟවීම් ලැබී තිබේ. වියට්නාමය මතු නොව අමෙරිකාවේද මිලියන 33කගේ රැකියා දැනටමත් අනතුරේය. බ්‍රිතාන්‍යයේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමකට ලක්වනු ඇති බව කියන එංගලන්ත බැංකුව මෙම වසරේ දළ දේශීය නිෂ්පාදනය සියයට 14 කින් පහත වැටීමකට ලක්වනු ඇති අතර විරුකියාව සියයට 8 කින් ඉහළ යනු ඇති බව පෙන්වා දෙයි.
මේ තත්ත්වය යටතේ සමාජ දුරස්ථකරණය ඇතුළු “තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගතයුතු” ආකාරයේ පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන සහිතව සාමාන්‍ය ජන ජීවිතයට නිදහස ලබාදීම දැන් අවධානයට ලක්ව හමාරය. මේ අවස්ථාවේ පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රමයක් ලෙස පුනපුනා ඉදිරිපත් කරන ‘සමාජ දුරස්ථකරණය’ අපේ සමහර ඇත්තන්ට අමුතු අපූරැවක් වුවත් අලුත්ම පරීක්ෂණයක් තහවුරැ කරන්නේ එය සොබාදහමේ විශිෂ්ටතම වෛරස නිවාරණ රීතියක් බවය. ලෝකයේ හොඳම සහ විශාලතම සමාජ ප්‍රජාව වන මීමැස්සන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී මෙය හෙළිව ඇත.

මීමැස්සන් ජීවත් වන්නේ, එකිනෙකට සමීපව දස දහස් ගණනින් එකම තැන එකට එක්වී දිවි ගෙවන විශාල ප්‍රජාවන් වශයෙනි. ඉතින් වෛරස ආසාදනයක් ඇති වුවහොත් එය ලැව්ගින්නක් සේ ගණාවාසය තුළ පැතිරයාම වළක්වනු පිණිස මීමැස්සන් කුමක් කරනු ඇත්දැයි මෙහිදි පර්යේෂකයෝ විමසිලිමත් වූහ. ඊශ්‍රායලයේ උග්‍ර අර්දිත වෛරසය (Israeli acute paralysis virus) යනුවෙන් දැක්වෙන එක්තරා වයිරසයක් මී මැස්සන්ට බලපානා අයුරු සොයා බැලූ මේ අධ්‍යයනය පෙන්නුම් කරන්නේ ආසාදනය සිය ගණාවාසයේ පැතිරීම වැළැක්වීම පිණිස මී මැස්සන් ඇත්තටම එක්තරා ස්වරූපයකට සමාජ දුරස්ථභාවය රකින බවයි. ඉතින්, හෙට අනිද්දා අත්‍යවශ්‍යම කටයුතු සඳහාම පමණක් එළියට බසිද්දී මීමැස්සන්ටත් නැතිවම බැරිවූ මේ ස්වභාවික වෛරස මර්දන පිළිවෙත “සමාජ දුරස්ථකරණය” පවත්වාගෙන යාමට අපිදු අමතක නොකළ යුතුමය.

- සුගත් පී.කුලතුංගආරච්චි