වැලිසර නාවික හමුදා කඳවුර මෙරට කොරෝනා වසංගතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වී තිබේ. නාවික හමුදා රණවිරුවෝ රැසක් එම කඳවුරු තුළ කොරෝනා සතුරා සමඟ සංග්‍රාමයකට අවතීර්ණව සිටිති. එම නිසාම රටපුරා ඇසෙන කොරෝනා කතා අතර වැලිසර කොරෝනා කතාව සුවිශේෂීය. එම නිසාම අප මෙහි අක්මුල් පිළිබඳ මෙන්ම වර්තමානය පිළිබඳ සොයා බැලීමට තීරණය කළෙමු.
අප්‍රේල් මස පස් වැනිදා වාර්තා වූ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ලෝලී කෝවිඩ් 19 ආසාදිතයා මෙරට කොරෝ කතාව කණපිට පෙරළුවේය. මනා පාලනයකින් යුතුව ඉදිරියට යමින් තිබූ කෝවිඩ් 19 මර්දනය සම්බන්ධ මෙහෙයුම මෙරටින් වාර්තා වූ 206 වන ආසාදිතයා සමඟ තරමක් පසුගාමී විය. මේ සමඟම මත්ලෝලීන් හරහා මතුවූ දැවැන්ත අවදානම කළමනාකරණයට පහසු නොවීය. වැලිසර නාවික කඳවුරේ සෙබළුන් විසින් සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය සඳහා අකමැත්ත පළකළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් මැඩපවත්වා ඔවුන් නිරෝධායනය සඳහා ගෙන යාමට කටයුතු කරනු ලැබුවේ මේ අවස්ථාවේදීය.
ඒ පසුගිය අප්‍රේල් 19 වැනිදාය. එකවර අසනීප වුණු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබළෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරැණි. ඒ සැකකටයුතු රෝග ලක්ෂණ සහිතවය. පසුව අප්‍රේල් 22 දා එම නාවික හමුදා සෙබළාට වෛරසය ආසාදනය වී ඇති බව පළමුවරට සොයාගත්තේය. පසුගියදාක මෙම සිදුවීම සම්බන්ධව රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මෙසේ අදහස් දක්වා තිබුණි.
“මේ වැලිසර කඳවුරේ එකිනෙකාට වෙන් වෙන් කුටි පිහිටලා නෑ. එක කණ්ඩායමක් ඉන්නවා 40ක් හරි 50ක් හරි. ඉතින් ඒ නිසා මේ වගේ තැනකදී ඒ වගේ ආසාදනයක් සිදු වුණාම එය ආසාදනය වෙන්න ඉඩ ප්‍රස්ථාව තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම මේ සිද්ධිය වුණේ. නමුත් දැන් අපි ඒ නාවික හමුදාවේ සිද්ධියත් සම්පූර්ණයෙන්ම අපේ පාලනයට නතු කරගෙන ඉවරයි. ඉදිරි දින කිහිපයේදී වාර්තා වෙන ආසාදිතයන් ප්‍රමාණයෙන් ඒක දැනගන්න පුළුවන්.”
ඔහුට අනුව සුදුවැල්ලේ මෙහෙයුමට සම්බන්ධව වූ නාවික හමුදා සෙබළෙක් වැලිසර නාවික හමුදා කඳවුරේම විදුලි කාර්මික අංශයේ සෙබළෙකු සමඟ සම්බන්ධ වීමත් සමඟ කඳවුරු තුළ මෙම රෝගය ව්‍යාප්තවීම ආරම්භ වී තිබේ. එසේම ඒ වනවිට කඳවුරේම නිවාඩු ලබා පිටව ගොස් සිටි ගණන 800ක් බවත් එයින් මෙම සුදුවැල්ල සිද්ධියෙන් පසුව නිවාඩු ගොස් සිටි පිරිස 254ක් බවත් හඳුනාගෙන තිබේ. නිවාඩු ගිය සෙබළුන් නැවත කැඳවීම ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගුවීම සිදුවන්නේ මේ අනුවය. නිවාඩු ගිය සෙබළුන්ගේ තොරතුරු කඩිනමින් සොයාබලා නිවාස 800ක් සොයාගත් ආරක්ෂක අංශ ඔවුන්ගේ සමීපතමයන් බොහෝ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරනු ලැබූවේය. තවත් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළේය.
මේ සියල්ල ඉතා කෙටි කලකින් ත්‍රිවිධ හමුදාවේ සහයෝගයෙන් සිදුවීම වැලිසර පොකුරේ අවදානම පාලනයට හේතුවිය.
කෙසේ වෙතත් වැලිසර නාවික හමුදා සිදුවීම සම්බන්ධව චෝදනාත්මක ප්‍රකාශයන්ද රාශියක් රටපුරා පැතිර ගියේය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී.එම්.එම්. බාලසූරිය මහතා ප්‍රසිද්ධ මාධ්‍යයක දක්වා තිබූ මෙම අදහස ඊට පැහැදිලි උදාහරණයකි.
“සුදුවැල්ල ප්‍රදේශයේ සහ කෙසෙල්වත්ත ගුණසිංහපුර ආදී ප්‍රදේශවල කොවිඩ් 19 රෝගීන්ගේ ආශ්‍රිතයන් පවා බැලීමේ කටයුතුවලට ඒ අය යෙදවූවා. සෙබළුන් ඒ රාජකාරිවල යොදවද්දී ඒවායේ ගොඩක් අඩුපාඩුකම් අපි දැක්කා. පුද්ගලික ආරක්ෂණ උපක්‍රම ඒ අය භාවිත කළා අඩුයි. සමහරවිට මානුෂීය මෙහෙයුම්වලදී සිද්ධවෙන ආකාරයට ඒ අය බොහෝවිට සමහර රෝගී ආශ්‍රිතයන් බස්වලට නංවනවා, ඔවුන්ගේ බෑග් බස්වලට ගෙනිහින් දානවා, ඔසවා තියනවා. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ සමහර තරුණයන් අකමැත්තෙන් හැංගෙන්න උත්සහ කරද්දී පවා මේ අය ඔවුන් අල්ලාගෙන රැගෙන ගියා. මේ සටන් කරන්නේ ඇහැට නොපෙනෙන සතුරෙක් එක්කයි. හැංගිලා ගරිල්ලා ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදියෙක් නම් වෙඩි තියලා විනාශ කරන්න පුළුවන්. මේක එහෙම නෙමෙයි. කොතන තියනවාද, කාගේ ස්පර්ශවෙලා තියනවාද කියලා හොයන්න බෑ. මම හිතන්නේ ඒ අයට මේක සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම හා අත්දැකීම් නැහැ. ඒක තමයි ගැටලුව වුණේ.”
මෙම සිදුවීම සම්බන්ධව නාවික හමුදාවේ පැහැදිලි කිරීම මීට වෙනස් විය. මෙහෙයුමට සහභාගී වූ නාවික හමුදා නිලධාරීන් කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා නිවාඩු නිකේතනයක අප්‍රේල් 9 වැනිදා සිට දින 14 ක් නිරෝධායනයට යොමුකිරීමට ඔවුන් කටයුතු කළ බව පවසා තිබේ. එහෙත් එම නිරෝධනයට ලක්වූ පිරිස අතරින් කිසිවෙක් ආසාදිතයෙක් වී නැත. නාවික හමුදාවට අනුව ඔවුන් මෙහෙයුමට සභාගී වූ නාවික සෙබළුන් කොටස් තුනකට බෙදා ඇත. ඒ වැඩි අවදානම් පිරිස, මැදි අවදානම් පිරිස සහ අඩු අවදානම් පිරිස වශයෙනි. ආසාදිතයින් හමුවී ඇත්තේ මැදි අවදානම් කලාපයේ මෙහෙයුම් සිදුකළ පිරිස අතරිනි.
“මේකෙදි වුණේ තමන්ගේ සේවා මුරය අවසන් වුණාම එක පිටම ඔවුන්ට නිවාඩු ලබා දුන්නා. අප්‍රේල් 10 සිට 24 දක්වාම මේ අය ගම්වලට ආවා. අනෙක අවුරුදු සමයත් එක්ක ඇඳිරි නීතිය තිබුණත් අවුරුදු මානසිකත්වය තිබෙනවා. දන්නා හඳුනන මත්පැන් අලෙවිසැල්වලට මේ අය ගිහිල්ලා ඒවා විවෘත කරවාගෙන මත්පැන් ලබාගත් අවස්ථා තිබුණා. පස්සේ අවිවාහක බොහෝ පිරිසක් තමන්ගේ යාළු හිතමිත්‍රයන්ගේ ගෙවල්වලට ගිහින් පොඩි පොඩි සාද පවත්වා තිබුණා.”
මෙසේ පැහැදිලි කර තිබුණේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බාලසූරිය මහතාය. වැලිසර සිදුවීම යම්තාක් දුරට දේශපාලනීකරණයක් වීමද සිදුවිය. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධියේ මීට ජනාධිපතිවරයා වගකිව යුතු බව පවසා තිබුණි. මේ අතර නාවික හමුදාව කෙරෙහි ඇතිවූ සමාජ ආකල්පය පාලනය කර ගැනීමටද රජයට සිදුවිය. ඇතැම් සෙබළුන්ගේ පවුල් සිය ගම්මාන තුළ විවිධ අපසුතාවයන්ට පත්විය. එසේ නමුත් මෙම සෙබළුන් සිදුකරණු ලැබුවේ අප ජීවිතය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය අවදානමේ හෙලීම බව ඇතැමුන්ට අමතක වීම කණගාටුදායකය.
චමිඳු නිසල් ද සිල්වා