2020 මැයි 02 වන සෙනසුරාදා

තවමත් දොර වැසුණු බේරුවල අද තත්ත්වය

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

කෝවිඩ් 19 වසංගතය පැතිර යාමත් සමඟ වසාදැමුණු ප්‍රදේශය අතර බේරැවල ප්‍රදේශ කිහිපයක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය. මීට හේතු පාදක වූ සිදුවීම් කිහිපයකි. පන්නිල ප්‍රදේශය වටා සැරිසැරූ රෝගියාගේ සිදුවීම, රෝහල්ගතවූ ගැබිණි මාතාව, හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිදුවූ විරෝධතාතා සහ සෞඛ්‍ය පරීක්ෂකවරුගේ වර්ජනද මීට බලපෑවේය.

කෙසේ වෙතත් බේරුවල පන්නිල ප්‍රදේශයේ තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතියි. එහෙත් තවමත් බේරුවල හුදෙකලා කෙරුණු ග්‍රාමසේවා වසම් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන නොමැත. සමස්තයක් ලෙස රටපුරා ප්‍රදේශ හයකින් පොකුරැ වශයෙන් ආ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා සඳහන් කළේය. ඒ අනුව බේරැවලද ඇතුළුව අටලුගම, අකුරණ, යාපනය, මීගමුව හා රත්නපුර යන ප්‍රදේශ තුළ වෛරසය පාලයන කිරීමට හැකියාව ලැබී තිබේ.

මේ තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල හුදෙකලාව මුදවා නැවත යථා තත්ත්වයට පත් කිරීමටද රජය කටයුතු කළේය. බේරැවල මෙම ප්‍රදේශද නොදුරේදීම යථා තත්ත්වයට පත්වෙතැයි එම ප්‍රදේශවල ජනයා බලාපොරොත්තුවෙන් සිටිති. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැනට සම්පූර්ණයෙන්ම වසාදමා ඇති බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශවල ජනතාව යම් යම් අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

බේරුවල මෙම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයකු හඳුනාගැනීමත් සමඟ බේරැවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අප්‍රේල් මස පළමුවැනිදා සිට මෙම ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීමට පියවර ගනු ලැබීය. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඒ තීන්දුව ගනු ලැබුවද එය ඉතා කාලෝචිතය තීරණයක් විය. තත්ත්වය එන්න එන්නටම දරුණු අතර හැරුණෙන් අප්‍රේල් මස 14 වැනි දින සිට රජය විසින් එම ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශයක් බවට නිල වශයෙන් නම් කරන ලදී.
ඒ අනුව අද දිනය වනවිට දින තිහකට අධික කාලයක් බේරුවල ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශය මුළුමනින්ම හුදෙකලා කර ඇත. එම ප්‍රදේශවලට කිසිදු පුද්ගලයකුට ඇතුළුවීමට හෝ පිටවීමට මේ දක්වාත් තහනම් කර තිබේ. එසේම මේ ප්‍රදේශවලින් පුද්ගලයින් 219 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානට රැගෙන යනු ලැබූහ. ඔවුන් අතරින් පිරිසකට කෝවිඩ් ආසාදනය වූ බවද වාර්තාවිය. ඇතැම් බලධාරීන් මෙම නිරෝධනයට රැගෙන යාමට මුලදී දැක්වූ විරෝධය මේ හරහා පුස්සක් බවට පත්විය.
කෙසේවෙතත් බේරුවලින් රැගෙන ගොස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින කිහිප දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත්තද අදාළ ගම් ප්‍රදේශය තුළින් මේ දක්වාත් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු පමණි. මේ අතර පන්නිල සහ චීන කොටුව ප්‍රදේශවලින් කිසිදු ආසාදිතයකු වාර්තා නොවන බවටද හඳුනාගත් බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට තහවුරු කර තිබේ.

මෙම තත්ත්වය තුළ තවදුරටත් එම ප්‍රදේශ හුදෙකලා කර තැබීම සම්බන්ධව ඇතැම් පිරිස් ප්‍රශ්නය කරමින් සිටී. මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් ඇතැම් මාධ්‍ය ආයතන වෙත පවසා තිබේ. මේ අනුව ඉදිරි දින කිහිපයේ දී බේරුවලට යම් සහනයක් ලැබීම සම්බන්ධව බලාපොරොත්තු තබා ගත හැකිය. එහෙත් රාමසාන් උපවාසය සමය ආරම්භ වී ඇති බැවින් අදළ ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂා තහවුරු කිරීමේ අවශ්‍යතාවයද බේරැවල ඇතැම් පිරිස් පෙන්වා දෙති.

I චමිඳු නිසල් ද සිල්වා