2020 මැයි 02 වන සෙනසුරාදා

කොවිඩ් පොකුරු තැනූ 206 වැනි ආසාදිතයා!

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 247

කොවිඩ් 19 දැන් පවතින්නෙ භයානක මට්ටමකය. ලෝකයේ අවදානම් රටවල් අතර ඉහළ අවදානම් කලාපයට ලංකාව ළංවෙමින් තිබේ. මේ රෝගයේ ආසාදිතයකුගෙන් ඉවත්වෙන සෙම තේ හැන්දක් තුළ වෛරස ලක්ෂ 350ක් පමණ අඩංගුවන බව කියයි. හිතන්න, ඉතින් අනාරක්ෂිතව මුදාහැරෙන මේ කෙළ තලියකට මොනතරම් නම් හානියක් කළ හැකිද? මේ රෝගය මෙතරම් වේගයෙන් පැතිරීම සිදුවන්නේ මේ නිසාය. කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් 80%කට එක්කෝ කිසිම රෝග ලක්ෂණයක් නැත. නැතහොත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස සුවඳ නොදැනීම වැනි රෝග ලක්ෂණ එක දෙකක් පමණක් ඇත. මෙහි ඇති භයානකකම ඉහළ යන්නේ මේ සැඟවුණ රෝග වාහකයන් හේතුවෙනි. පසුගිය 5 වැනිදා අපේ රටේ භයානකම රෝගියා වාර්තා විය. ඒ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙනි. මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරයෙක් වූ මේ තැනැත්තා විවිධ ස්ථාන ගණනාවක හැසිරී තිබීම නිසා සුදුවැල්ල ගම තවමත් “ලොක් ඩවුන්” වූ ගමන්ය. පොලීසියක් විසබීජහරණයට ලක්විය. පවුල් 12ක් පුද්ගලයන් 108ක් නිරෝධායනයට ලක්කර හමාරය. අපේ රටේ හමුවූ 206 වැනි රෝගියා ලෙස වාර්තාගත මොහු සමාන කළ හැක්කේ දකුණු කොරියාව තුළ වසංගතය පතුරවාලන්නට හේතු වූ 61 හැවිරිදි කාන්තාවටය. ඇය පිටපිටම දේව මෙහෙයන් සඳහා සහභාගී වී රට වටා 3000කට ම රෝගය බෙදා දුන්නාය. දකුණු කොරියාව තුළ 31 වැනි රෝගියා ලෙස ප්‍රසිද්ධ වූ ඇය කළ හදියට නොදෙවෙනි හදියක් අපේ 206 වැනියා සිදුකර තිබුණි.

වැඩිම ආසාදිතයින් !

ඉකුත් බ්‍රහස්පතින්දා වනවිටද ලංකාවේ රෝගීන් වාර්තාවීම ඉහළ යමින් තිබුණි. මෙරටදී ආසාදනය වූ පළමු කොවිඩ් 19 ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වැනිදා සිට ගෙවුණු  සති 7 ක කාලය තුළ වැඩිම ආසාදිතයින් ගණනක් වර්තා වුණේ ගෙවුණු සතිය තුළදීය. ඒ අනුව මෙම සතිය තුළ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට 649ක් ව තිබුණි. පළමු නාවික හමුදා ආසාදිත සෙබළා  හඳුනා ගැණුන ඉකුත් අප්‍රේල් 22 වැනිදාය. එතැන් සිට වාර්තා වූ ආසාදිත නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 235 කි. 

මෙරට ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වර්තා වන්නේ කොළඔ දිස්ත්‍රික්කයෙනි. බ්‍රහස්පතින්දා වනවිට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ ආසාදිතයන් ගණන 155කි. එදිනට අවදානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතරින් ආසාදිතයින් 63ක්ද, ගම්පහෙන් 47ක් සහ පුත්තලමෙන් 41ක් වාර්තා වී තිබුණි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමඟ එහි මුළු ආසාදිතයින් ගණන 20 දක්වා ඉහළ ගොස් ඇත. යාපනය 16කි. මහනුවර 13කි. අනුරපුරයෙන්ද 12ක් වාර්තා විය. රත්නපුර, කෑගල්ල 8 බැගිනි. ඒ හැර මේ වනවිට මොණරාගල 4කි. හම්බන්තොට සහ බදුල්ලේ 3 බැගිනි. මාතර, කල්මුනේ සහ වවුනියාවේ රෝගීන් 2ක බැගිනි. ගාල්ල, මඩකළපුව, මාතලේ, පොලොන්නරුව, ත්‍රි’මලය සහ අම්පාරෙන් ද රෝගියෙකු බැගින් වාර්තා ගත විය.

ලංකාවේ ආසාදිතයන් තහවුරු කරගැනීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ වැඩිම ගණනක් සිදුකළේද පසුගිය සතියේය. එය 1400කි. පී.සී.ආර්. සඳහා ලැබ් 16ක් ක්‍රියාත්මකව තිබුණි. පරීක්ෂණ නියැදි වැඩිවීමත් සමග අලුතෙන් හඳුනාගන්නා ආසාදිතයන් ප්‍රමාණයද ඉහළ නැංගේය.

ඓතිහාසික පර්යේෂණයක්!

මේ අතර ලංකාවේ වෛරස සම්බන්ධ ඓතිහාසික පර් යේෂණයක්ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය තුළ පිහිටි නවීන රසායනාගාරයේදීය. එම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ එහි ප්‍රධානත්වය ඉසිලුවාය. ශ්‍රී ලංකාවේ පැතිර යන COVID-19 රෝගය සාදන නියම වෛරස මාදිලිය ස්ථිරවම සොයා හඳුනාගන එහි ජාන සැකසුම අවබෝධ කර ගැනීම මෙහි අරමුණ විය. එම වෛරසයේ A,B හා C ලෙස හඳුන්වන මූලික ආකාර හෙවත් මාදිලි තුනක් විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ. ඒ අනුව සිදුකළ පර්යේෂණ  මගින් ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේදී වෛරසයක සම්පූර්ණ ජාන සැකැස්ම whole genomic sequencing, හොයාගන්නට මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පිරිස සමත්ව තිබුණි. ඒ අනුව සනාථ වූයේ COVID-19 රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරස මාදිලිය ශ්‍රී ලංකාවේ පැතිර යන බවය.

මෙය ශ්‍රී ලංකාවේ හඳුනාගත් වෛරසයේ A කාණ්ඩයට අයත් ප්‍රභේදය ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාවෙන් වැඩි වශයෙන් වාර්තාවන අතර චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ COVID-19 රෝගය ඇති කරන වෛරසයේ B කාණ්ඩයේ ප්‍රභේදයයි. වෛරසයේ C කාණ්ඩය වැඩි වශයෙන් යුරෝපයෙන් වාර්තා වෙමින් තිබේ.

මෙම පරීක්ෂණය ඉතිහාසගත හැරවුම් ලක්ෂ්‍යයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය තුළ පිහිටි රසායනාගාරයේදී COVID-19 රෝගීන් හඳුනා ගැනීමට අදාළ PCR  සඳහා ලැබුණු  පුද්ගල ජෛව සාම්පලවලින් වෙන්කර ගත් වෛරසයේ RNA (Ribo Nucleic Acid) ජාන දත්ත සැකැස්ම විශ්ලේෂණය කිරීම මගින් ලංකාවට අදාළ මාදිලිය හඳුනාගැනීමට හැකි වී තිබේ. ඒ මගින් ඉදිරියේදී රෝගය සඳහා සුදුසු ඖෂධයක් පවතින ඖෂධ අතරින් සොයාගැනීම හෝ අලුතෙන් නිපදවා භාවිතයට සුදුසුද යන වග පරීක්ෂාවේදී ඉක්මන් සාර්ථක සහ නිශ්චිත ප්‍රථීඵල තහවුරු කරගත හැකිය. එනිසාම මේ පර්යේෂණය රෝගයට එරෙහි සටනේ ප්‍රබල ධනාත්මක පියවරකි. රටේ ජනතාවගේ ජයග්‍රහණයකි. ඉදිරියේදී COVID-19 හානිය අවම කර ගන්නට හෝ මුළුමනින්ම අතුගා දමන්නට මේ සොයාගැනීම ඉදිරියට තැබූ මහඟු පියවරකි.

මේ අතර ලොව රටවල් 213කින් වාර්තා වූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන බ්‍රහස්පතින්දා වනවිට තිස් දෙලක්ෂ විසි දහස (3,220,000) ඉක්මවා ගොස් තිබුණි. ඒ වනවිට වාර්තා ගත කොවිඩ් මරණ සංඛ්‍යාව දෙලක්ෂ විසි අටදහස් දෙසියය (228, 236) ඉක්මවිය.

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් එනම් මිලියනය ඉක්මවූ පිරිසක් වාර්තා ගතවූයේ අමෙරිකාවෙනි. සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂය පසු කළ තුන්වැනි රට බවට බ්‍රහස්පතින්දා වනවිට ඉතාලිය පත්විය. ඉකුත් 30දා උදෑසන වනවිට අමෙරිකාවෙන් ආසාදිතයන් 1,064,950ක්ද, ස්පාඤ්ඤයෙන් 236,899 ක්ද , ඉතාලියෙන් 203,591ක් ද, ප්‍රංශයෙන් 166,420 ක්ද , එක්සත් රාජධානියෙන් 165,221 ක් සහ ජර්මනියෙන් 161,539 ක්ද හඳුනාගෙන තිබුණි. වෛරසයේ තිඹිරි ගෙය වූ චීනයේ 82,866ක් වාර්තා වී තිබේ.

ආර්ථීක වෛරස ප්‍රහාරයක්!

මේ අතර කොවිඩ් වසංගතයත් සමග ළමයින්ට ලබාදෙන සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම මගහැරීම නිසා දකුණු ආසියාතික රටවල් තවත් මහජන සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරැ අඟවා තිබේ. කොවිඩ් 19 වෛරසයේ සංකූලතාවක් බවට සැක කෙරෙන දුර්ලභ රෝගී තත්ත්වයක්ද  අමෙරිකාවේ ළමුන් අතරත් පැතිර යමින් ඇති බව වාර්තා විය.

අන්තර්ජාතික කම්කරු සංවිධානයInternational Labour Organization- ILO, අනතුරු අඟවා තිබුණේ වැඩකරන ලෝක ජනගහනයෙන් බිලියන 1.6කගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවය. එය බිලියන 3.3ක් වන රැකියා කරන්නන් අතරින් අඩකට ආසන්න සංඛ්‍යාවකි. එය ලෝකය මත යෝධ දරිද්‍රතා බලපෑමකට හේතුවනු ඇත. ඉතින් කොවිඩ් 19 වෛරසයෙන් ගැලවුනත් ලොව බොහෝ රටවලට මේ අලුත් ආර්ථීක වෛරසයෙන් සිදුවන ප්‍රහාරයෙන් ගැලවීමට තවත් බොහෝ කලක් ගතවෙනු නිසැකය.

- සුගත් පී. කුලතුංගආරච්චි