2020 මැයි 02 වන සෙනසුරාදා

ජූනි 20 වැනිදා මැතිසබේට මොකද වෙන්නේ?

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

කොරෝනා වසංගතය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විනාශවීමට ඉඩදිය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා තිබේ. මහ මැතිවරණයට අදාළ මතවාද කිහිපයක් රට තුළ පවතී. එක මතයකට අනුව කොරෝනා භීතිකාව පහව ගොස් විශ්වාසදායක පසුබිමක් තුළ ඡන්දය පැවැත්විය යුතුය. තව මතයකට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුකූලව කොමිසම ක්‍රියාත්මක විය යුතුය. තවත් මතයකට අනුව මහජනතා‍වගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමේ හැකියාවක් ‍මැතිවරණ කොමිසමට හෝ රජයට හෝ නැත.

වසංගතය උත්සන්න තත්ත්වයක් යටතේ වුව මැතිවරණ පැවැත් වූ රටවල් තිබේ. එමෙන්ම මැතිවරණ කල් දැමූ රටවල්ද තිබේ. රට කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මුහුණ දී ඇති අභියෝගයේ තරම ඉදිරියේදී මතුවිය හැකි ගැටලු හා රටේ දැනට පවතින තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මැතිවරණය පැවැත්විය හැකි ක්‍රමවේදය සකස් කර ගත යුතුව තිබේ. මෙහිදී රටේ ජනයාගේ මතය කෙරෙහිද අවධානය යොමු කිරීම බලධාරීන් වෙතින් ඉටුවිය යුතු යුතුකමක් හා වගකීමක් ලෙස සැලකිය හැකිය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ජූනි මස 20 වැනි දිනට කල් දමා ඇත. ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ජූනි 2 වැනි දින හෝ ඊට පෙර පාර්ලිමේන්තුව රැස්විය යුතුය. පැවති පාර්ලිමේන්තුවේ ආයු කාලය සැප්තැම්බර් 01 වැනි දින දක්වා තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හරිනු ලදුව මාස තුනක කාලයක් අභිබවා යා නොහැකි අයුරින් නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ජූනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්වීම තුළ පාර්ලිමේන්තුව විසුරැවා හැර මාස තුනකට වඩා වැඩි කාලයක් රුස් නොකර සිටීමට සිදුවීම සහ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු නොකිරීම තුළ පැවති පාර්ලිමේන්තුව ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු නොකිරීමෙන් ව්‍යවස්ථාමය අර්බුදයක් හටගෙන ඇති බවට සමාජය තුළ මේ වනවිට සංවාදයක් හටගෙන ඇත.

ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වැනිදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව නව පාර්ලිමේන්තුව ජූනි මස 2 වැනිදාට පෙර රුස්විය යුතු වුවද රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නව මැතිවරණ දිනය ලෙස ජූනි මස 20 දා මැතිවරණය පැවැත්වීමට නියමිතය. ජූනි මස 2 වැනිදායින් පසුව මැති සබයේ තත්ත්වය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සහ නීතීවේදීන් කිහිප දෙනෙකුගෙන් දේශයේ අපි විමසීමක් කළෙමු.

ජනාධිපතිවරයාට මැතිවරණය පැවැත්වීමේ නියෝග ලබාදිය හැකියි

- ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත වූ ඡන්දය කොරෝනා තත්ත්වය හේතුවෙන් කල් දමන්නට සිද්ධ වුවද මැතිවරණ කොමිෂන් සභාව අලුත් දිනයක් නියම කර තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) හි සඳහන් විධිවිධානවලට අනුවයි. කලින් බලාපොරොත්තු නොවූ සිද්ධිය යන සඳහනත් එහි තිබෙනවා. 

එය සැලකිල්ලට ගෙන අලුත් දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ කටයුත්ත නීතිය අනුව සිදුකර තිබෙනවා. ඊට අමතරව බාධක ඉවත් කිරීම යටතේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 129 වගන්තිය තුළින්ද හදිසි තත්ත්වයන්ට මුහුණදීම පිළිබඳ විධිවිධාන තිබෙනවා. මැතිවරණ දින කල් දැමීමේදී එම වගන්තිය කෙරෙහිද අවධානය යොමුවී තිබෙනවා.

එම පනතේ 113 වැනි වගන්තිය යටතේ මැතිවරණය පැවැත්වීමේ නියෝග ලබාදීම ජනාධිපතිවරයාට සිදුකළ හැකියි. ඊට අමතරව බාධක ඉවත් කිරීම යටතේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 129 වගන්තිය තුළින්ද හදිසි තත්ත්වයන්ට මුහුණදීම පිළිබඳ විධිවිධාන තිබෙනවා. මැතිවරණ දින කල් දැමීමේදී එම වගන්තිය කෙරෙහිද අවධානය යොමු වී තිබෙනවා. එම පනතේ 113 වැනි වගන්තිය යටතේ මැතිවරණය පැවැත්වීමේ නියෝග ලබාදීම ජනාධිපතිවරයාට සිදුකළ හැකි වෙනවා.

ජූනි 2 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව නැත්නම් තිබුණු පාර්ලිමේන්තුව සක්‍රීය වෙනවා

- නීතිඥ අජිත් පතිරණ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතියයි. අනෙකුත් නීති අර්ථ නිරෑපණය කරනු ලබන්නේ ව්‍යවස්ථාව සැලකිල්ලට ගැනීම තුළින්. ව්‍යවස්ථාවේ මූලික ප්‍රතිපත්තිය වන්නේ ශ්‍රී ලංකාව තුළ මාස තුනකට වැඩි කාලයක් තෝරා පත්කර ගන්නා ලද පාර්ලිමේන්තුවක් නොමැතිව පවත්වාගෙන යා නොහැක. ව්‍යවස්ථාවේ 70 5 (අ) උප වගන්තිය මගින් (i) පාර්ලිමේන්තුව විසුරැවා හැරීම, (ii) මහ මැතිවරණයක් සඳහා දිනයක් හෝ දින නියම කිරීම සහ (iii) පාර්ලිමේන්තුව විසුරැවා හැරීමේ ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගතවීමට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීම ඒ ප්‍රකාශනයෙන් කැඳවිය යුතු බවට බලය ලබාදී තිබෙන බව ප්‍රකාශව තිබෙනවා.

මෙම බලතල ජනාධිපතිට පමණක් ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන අතර එය කිසිවකුට පැවරිය නොහැකි හෝ කිසිවකුට බලහත්කාරයෙන් පැහැර ගැනීමට හෝ කළ නොහැකියි. මෙම බලතල පාවිච්චි කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි.
ඕනෑම හදිසි තත්ත්වයක් හේතු කොටගෙන කිසියම් මැතිවරණ දිස්ත්‍රික්කයක නියම කරගන්නා ලද දිනයේදී මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසම විසින් තීරණය කරනු ලැබුවහොත්, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වගන්තියට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට නව දිනයක් නියම කළ හැකියි. කෙසේ වෙතත් නව පාර්ලිමේන්තුව ජූනි 2 වැනි දිනට ප්‍රථම ක්‍රියාත්මක නොවන්නේ නම්, මගේ මතයට අනුව 2015 සැප්තැම්බර් 2 වැනි දින සිය ධුර කාලය ආරම්භ කළ පාර්ලිමේන්තුව පුනර්ජීවනය වන අතර එය 2020 සැප්තැම්බර් 1 වැනි දින තෙක් බලාත්මක වනු ඇති බවයි.

විපක්ෂය තමන්ගේ අවුල වසාගන්න ව්‍යවස්ථා අවුලක් මවනවා

- ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේතු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා - පොදුජන පෙරමුණ

රට තුළ පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විපක්ෂය කියන ප්‍රධානම කාරණය තමයි මේ තිබුණු පාර්ලිමේන්තුව යළිත් කැඳවිය යුතුයි කියන කාරණය. මොවුන් යළිත් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි, ජූනි දෙවැනිදාට පෙර නව පාර්ලිමේන්තුව රුස්වූයේ නැහැ නම් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිය හැකියි යනුවෙන් පවසන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි මොවුන්ගේ වෙන්වෙලා තියන පක්ෂය එකට එකතු කරන් නැවත බලය ලබාගන්න. දැන් ජනතාව දන්නවා මොවුන් පසුගිය වසර හතරහමාරක කාලය තුළ රටට ජනතාවට වැඩක් කරලා නැහැ කියන්න. ඒකයි මොවුන් මේ ව්‍යවස්ථා අවුලක් පෙන්වා දෙමින් කටයුතු කරන්නේ. 

ආණ්ඩු හදන්නේ ජනතාවගේ අයිතිය නැතිකර දමන්නයි

- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා - සමගි ජන බලවේගය

පැවති පාර්ලිමේන්තුව විසුරැවා හැර නැවත ජූනි මස 2 වැනිදා වෙද්දී අලුත් පාර්ලිමේන්තුව රුස්විය යුතුයි. එසේ නොමැති නම් ව්‍යවස්ථාමය ගැටලුවක් පැන නගිනවා. වර්තමාන ආණ්ඩුව මෙය හොඳාකාරවම දන්නවා. නමුත් මොවුන්ගේ බලය තහවුරැ කර ගැනීමේ පටු අරමුණ තකා මොවුන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් තිබෙනවා. මේ රට තුළ තිබෙන අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සියලු දෙනා දන්නා කරැණක්. නමුත් මොවුන්ට ඕන මේ බලය ලබාගෙන පසුගිය දශකයක පමණ කාලය තුළ සිදුකළ ක්‍රියාවන් නැවත සිදුකරන්න.

මාස තුනකට වඩා මැතිසබය නැතුව රටට පවතින්න බෑ

-අධිනීතිඥ ලාල් විජේනායක

පැවති පාර්ලිමේන්තුවේ ආයු කාලය ඉවර වෙන්නේ සැප්තැම්බර් දෙවැනිදා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (2) වගන්තිය යටතේ අවුරුදු හතරහමාරකට පස්සේ ජනාධිපතිතුමාට ඕනෑනම් පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ඒ කියන්නේ අවුරුදු පහක කාලය සම්පූර්ණවීමට ඉස්සෙල්ලා ඒ අනුව පැවති පාර්ලිමේන්තුවේ අවුරුදු හතර හමාරක කාලය ඉවර වුණේ මාර්තු 1 වැනිදා. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරි 70 (2) වගන්තිය යටතේ බලතල පාවිච්චි කරල. කෙසේ වෙතත්, ඊළඟ පාර්ලිමේන්තුව ඒ විසුරුවා හැරිය දිනයට මාස තුනක් ඇතුළත ඊළඟ පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. 

ඒ කියන්නේ මාස තුනකට වඩා කාලයකට පාර්ලිමේන්තුවක් නැතුව තියෙන්න බැහැ. පාර්ලිමේන්තුව අවශ්‍යයි. ජනාධිපතිතුමාට බලය පාවිච්චි කරන්න බැහැ. මැතිවරණ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ කොමිසමට පුළුවන් මැතිවරණ පැවැත්වෙන යම් දිස්ත්‍රික්කයක මැතිවරණයක් පවත්වන්න යම්කිසි හේතුවක් කිසිදු අපහසුතාවක් තියෙනවා නම් මැතිවරණය කල් දාන්න පුළුවන්. ඒ අනුව මැතිවරණය කල් දැම්මා ජූනි 20 වැනිදාට. එවිට ප්‍රශ්නය තියෙන්නේ ජූනි 2 තමයි අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වන මාස තුන ඉවරවෙන අවසාන දවස. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය දුන්න 70(1) වගන්තිය පාර්ලිමේන්තුවේ මුළු කාලය ඉවර වෙන්නට පෙර අවුරුදු හතර හමාරකින් විසුරුවා හරින්න බලය දුන්නේ එක් කොන්දේසියක් මතයි. ඒ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුව මාස තුනකින් කැඳවනවා කියලා. මාස තුනකින් කැඳවන්න බැරි නම් මාර්තු දෙවැනි දින ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය බල ශූන්‍යයි. හේතුව අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ නොවීමයි. 

දැන් රට තුළ හදිසි තත්ත්වයක් පැන නැගී තිබෙන නිසා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒ කැඳවන පාර්ලිමේන්තුව හදිසි තත්ත්වය අවසන් වනතුරු හෝ ඊළඟ මැතිවරණය දක්වා ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා එම වගන්තියේ තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුව එනකම් තිබුණ පාර්ලිමේන්තුව කැඳෙව්ව නම් ඉවරයි. තිබුණු පාර්ලිමේන්තුව රැස්විය යුතුයි ජූනි 2 වැනි දින. එදාට රැස්වුණේ නැතිනම් උසාවියට යන්න වෙනවා. ඊට හේතුව ගැසට් නිවේදනයෙන් පෙන්වා දුන් කරුණු සම්පූර්ණ නොවීම නිසයි.

 සටහන හසිත් අංජන