
සුදුවැල්ල, ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, වේල්ලවීදිය, මරදාන, ගුණසිංහපුර ආදී ප්‍රදේශ කිහිපයක් පිළිබඳව පසුගිය දිනවලදී ජනමාධ්‍යවලින් නොනවත්වාම වාර්තා කෙරිණි. ඒ කොරෝනා වයිරසය ආසාදිතයන් වැඩි වශයෙන් එකී ප්‍රදේශවලින් වාර්තාවීමත් සමගය. මේ අතර කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතටත් වඩා වැඩි අවධානයක් යොමුව තිබුණේ ජාඇල සුදුවැල්ල දෙසටය. ඒ මෙකී ගම්මානයේ මත්ලෝලීන් පිරිසක් කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්තියට බලපෑ පළමු හා ප්‍රධානතම හේතුව වූ නිසාය.
ලංකාව තුළ කොවිඩ් 19 පැතිර යාමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබියදී සුදුවැල්ල නම් ග්‍රාමයක් කරළියට පැමිණියේ කොරෝනා වසංගතය මැද ජනමාධ්‍යවලත් මහජනතාවගේත් වඩාත් අවධානයක් ඒ වෙත යොමුකරමිනි. කොරෝනා වසංගතය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ නගරයට නුදුරින් පිහිටි සුදුවැල්ල පෙරට පැමිණියේ එම ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගැනීමත් ඔහු හා සමීපතමයන් ගණනාවක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට හඳුනා ගැනීමත් සමඟය.
කොරෝනා වසංගතය මුල්කොටගෙන කාගේත් වැඩි අවධානයට යොමුවූ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරැවකු ඇඳිරිනීතිය මැද එම ප්‍රදේශයට නුදුරින් පිහිටි පමුණුගම පොලිස් බලප්‍රදේශයේ දෑලතුර ගමේ ඉඩමක හොර පොල් කැඩීමක් සිදුකර තිබිණ. හොර පොල් කැඩීම ඉඩම් හිමියාට අසුවීමත් සමග හිතවත් ගම්මුන් කිහිපදෙනෙක් එක්වී සැකකරැ කුදලාගෙන තිබුණේ පහරපිට පහර කිහිපයක්ද එල්ලකරමිනි. එතෙකින් නොනැවතුණ පිරිස සැකකරැ පමුණුගම පොලීසියට බාරදීමට පියවරගෙන තිබිණ. පොලීසියේ මූලික පරීක්ෂාවේදී හෙළිව තිබුණේ ඔහු කුඩු උරන්නකු බවටය. ගම්මුන්ගෙන් පහර කෑ ඔහු පසුව නිරෝධායන නීතිය අනුව රාගම රෝහලට ඇතුළත් කොට තිබිණ. එහිදී අනාවරණය වී තිබුණේ ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවය. ඒ සමග රෝහල් කාර්ය මණ්ඩලය සැකකළේ රෝගියා ආශ්‍රය කළ සමීපතමයන්ට වයිරසය ආසාදනය වී තිබෙන්නට හැකි බවය.
ඒ අනුව මොහු සමීපව ඇසුරැ කළ පිරිස් කණ්ඩායම් වශයෙන් නිරෝධායනයට ලක්කරනු ලැබිණ. පිරිස අතරින්ද කොරෝනා ආසාදිතයන් හමුවී තිබේ. ඒ අතර මාස හතක් වයසැති බිළිඳකු සමග ඔහුගේ බිරිඳද විය. මේ ආකාරයට ප්‍රදේශයේ කොරෝනා ආසාදනයට ලක් වූ සහ නිරෝධායනය කෙරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් සිදුකෙරුණු විමර්ශන මගින් වැඩිදුරටත් තහවුරැ වී ඇත්තේ ඔවුන්ගෙන් වැඩිදෙනකු මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් සුළු පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවත්ය.
මෙසේ කොරෝනා වසංගතය ආසාදනය වූවන් හා සමීප සම්බන්ධතා පැවැත්වූ බවට තහවුරු වූ කොළඹ, තොටළඟ නාගලගම් වීදියේ යම් පිරිසක් කෙරෙහිද බුද්ධි අංශ අවධානය යොමු කෙරිණ. ඔවුන් අතුරින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා ජාඇල, සුදුවැල්ල දුරාචාර සහිත කුඩු හෙරෝයින් ගංජා ඇතුළු මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් බහුල ප්‍රදේශයක් බවට ප්‍රකට වෙමින් තිබේ. මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ සුදුවැල්ල ප්‍රදේශයේ ඇතැමුන් මත්ද්‍රව්‍ය සොයාගෙන සුදුවැල්ල සිට තොටළඟ, ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, වේල්ලවීදිය, මරදාන, ගුණසිංහපුර ආදී ප්‍රදේශ රැසක කරක් ගසා ඇති බවට හඳුනා ගැණින. සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ අනතුරැ ඇඟවීමත් සමඟ මේ වීදි හා ගම් ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පියවර ගැණින.
මුතුරාජවෙල තෙත් බිමේ කඩොලාන පද්ධතියකින් යුතු සුදුවැල්ල මෑතකදී ජනාකීර්ණ වූ ප්‍රදේශයකි. එබැවින් සුදුවැල්ල යනුවෙන් ගම්මානයක් හෝ ග්‍රාම නිලධාරී වසමක් නැතැයි කියති. එය අයත් වන්නේ ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 192 දරන බටහිර තුඩැල්ල ග්‍රාම නිලධාරී වසමටය. අතීතයේ සිට වැලිපර වලින් යුතු මුඩු බිම්කඩක් වූ ප්‍රදේශයේ කෙළවර වැලි තුඩුවක් ලෙස පැවැතීම නිසා එය “තුඩුවැල්ල” ලෙස හඳුන්වා අද වනවිට තුඩැල්ල ලෙස ව්‍යවහාරයේ පවතින බව පැවසේ. එසේම සුදුවැල්ල මෙම අක්කර ගණනාවක් පුරා පැතිරුණු ස්වභාවික වැලි පරයේ මැද පිහිටි ස්ථානයකි.
ප්‍රදේශයේ අවදානමට එරෙහිව සෞඛ්‍ය අංශ පියවර ගත්තද මතට ඇබ්බැහිවූවන් පරීක්‍ෂාවට හෝ නිරෝධායනයට ලක්කිරීම ගැටලුවක් විය. පොලීසිය නාවික හමුදාව යුද හමුදාව හා විශේෂ කාර්ය බළකාය දායකත්වය දුන්නේ ඉන්පසුවය. අවාසනාවකට වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට වෛරසය ආසාදනය වී තිබුණේ මේ මෙහෙයුම අතරය. එම සිදුවීම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වෛරසය පැතිරීමේ මූලාරම්භයක් විය. එසේම වැලිසර ලය රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ කිහිප දෙනෙකුටද වයිරසය ආසාධනය වීමත් තොටළඟ, ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, වේල්ලවීදිය, මරදාන, ගුණසිංහපුර ආදී ප්‍රදේශවල වෛරසය පැතිරීමේ තෝතැන්නක් විය. එමෙන්ම කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත පදිංචිකරුවකු පැනගොස් කොළඹ ටොරිංටන් 60 වත්තේ සැඟවී සිටීමත් එවැනිම අවදානමකි.ආගම දහමට පමණක් නොව රටේ නීතියටත් එපිටින් නොමනා හැසිරීම්වල නිරත රටට ලෝකෙට පිළිලයක් වූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ක්‍රියාකලාපය ගම් නගර වසාගෙන රටපුරාම පොකුරු පිටින් කොරෝනා වෛරසය පැතිරවීමට හේතුවක් වී අවසන්.
සමන්ත ප්‍රදීප් විල්තෙර