2020 මැයි 02 වන සෙනසුරාදා

රට පුරා ඇවිද ගිය වැලිසර වෛරසය

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

මේ ලිපිය ලියන මොහොත වනවිට මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් 650කට ආසන්නය. ගම්දොර, නගර, පාරවල් විවෘත කරන්න සැලසුම් හැදුවත් මේ වනවිට නැවතත් සියල්ල වසා දමා රටම පොලිස් ඇඳිරි නීතියට යටකර ඇත. ඒ මේ වනවිට එම වෛරස් ආසාදිතයන් පොකුරු ගණනින් හමුවන නිසාය.

 

මෙරට සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඉතාමත් සීරුවෙන් මෙම වෛරසය පාලනය කරගෙන පැමිණි බව අමුතුවෙන් කිවයුතු නැත. නොහික්මුණු මිනිසුන් කිහිප දෙනකු පාලනය කර ගැනීමට රටපුරා ආරක්ෂක අංශ වැඩකටයුතු රාශියක් කළත් අවසානයේ එක් අතපසුවීමකින් අද නාවික හමුදාව දැඩි අවදානමකට ලක්ව ඇත. ඒ වැඩිම වෛරස් ආසාදිතයින් පිරිසක් නාවික හමුදාවෙන් මේ වනවිට හමුවන නිසාය. මේ හේතුවෙන් අද වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කර ඇත්තේය.

කෙසේ වෙතත් ඉහත කී පරිදි ජාඇළ සුදුවැල්ලේ නොහික්මුණු කිහිපදෙනෙකු හඹායාමේ මෙහෙයුමක් හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වූ අතර ඒ මෙරටින් වාර්තා වුණු 206 වැනි ආසාදිතයා විය. මේ අවදානම්කාරී තත්ත්වය උදාවූයේ එම රෝගියා ත්‍රීරෝද රථ රියදුරකු මෙන්ම අධික ලෙඩ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බැවිනි. ඔහු පමුණුගම දෑලතුර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී සොරකමේ යන්නට ගොස් ප්‍රදේශවාසීන් ඔහුව අල්ලා පොලීසියට බාර දෙන්නේ අප්‍රේල් 05 දා රාත්‍රියේය. ඔහු ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ අයෙක් විය. කෙසේ වෙතත් අත්අඩංගුවට ගන්නා සැකකරු සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්වීම නිසා රාගම රෝහලේදී PCR පරීක්ෂාවක් සිදුකරන අතර එහිදී ඔහුට වෛරසය ආසාදිත බවත් හඳුනාගෙන ඇත. මේ නිසාම දෑලතුර ප්‍රදේශයේ පවුල් 12ක් නිරෝධායනයට යොමු කෙරුණි.

ඉන් අනතුරුව ඔහුත් සමඟ සමීපව කටයුතු කළ සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 28 දෙනකු සිටිනා බව නාවික හමුදා බුද්ධි මෙහෙයුමක් හරහා වාර්තා වී තිබිණි. ඔවුන් අතරද බහුතරයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන අතර අවසානයේ එම පිරිස සොයා නාවික හමුදා නිලධාරීන් මෙහෙයුමක් දියත් කළ අතර ඇතැම් අය පැනයාමට තැත් කිරීම හේතුවෙන් ඔවුන් සමඟ පොරබැදීමට පවා නාවික සෙබළුන්ට සිදුව තිබිණි. ඒ අනුව ඒ සැකසහිත 28 දෙනාම සොයා ගැනීමට හැකි වුවත් අවසානයේ ඔවුන් නිරෝධායනය සඳහා යාමට අකමැති වූහ. පසුව කතෝලික දේවස්ථානය පූජකවරයකුගේ මැදිහත්වීම මත ඔවුන් නිරෝධායනය වෙත යොමුකරනු ලැබීය.

කෙසේ වෙතත් එසේ නිරෝධායනය කළ 28 දෙනාගෙන් 06 දෙනකුට කොරෝනා ආසාදිත බව හඳුනාගන්නට හැකිවිය. එසේම මෙම මෙහෙයුමට සහභාගී වූ නාවික හමුදා නිලධාරීහුද කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා නිවාඩු නිකේතනයකට යොමුකරනු ලැබූහ. ඒ අප්‍රේල් 9 වැනිදාය. ඔවුන්ද දින 14ක් නිරෝධායනය වෙමින් සිටියත් කිසිවකු හට කොරෝනා ආසාදිත යැයි තහවුරු වන්නේ නැත.

කෙසේ වෙතත් තත්ත්වය වෙනස් වන්නේ පසුගිය අප්‍රේල් 19 වැනිදාය. එකවර අසනීප වුණු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබළෙක් පොළොන්නරුව රෝහල වෙත පැමිණෙන්නේ සැකකටයුතු රෝග ලක්ෂණද සහිතවය. ඒ අනුව ඔහුව පරීක්ෂා කිරීමේදී වෛරසය වැළඳී ඇති බවට තහවුරැ වන අතර එම සෙබළා සුදුවැල්ල ප්‍රදේශයේ මෙහෙයුමේ සිටි සෙබළකු බව තහවුරු විය. ඒ අනුව වහාම වැලිසර කඳවුරේ සිටින සියලු දෙනාව නිරෝධායනය කරනු ලබන අතර නිවාඩු ගොස් සිටින අයද හැකි ඉක්මනින් කැඳවීමට පියවර ගත්තේ තත්වය බරපතළ වීම නිසාය. අවසානයේ සමස්ත ත්‍රිවිධ හමුදාවේම නිවාඩු අවලංගු කරනු ලැබීය.

සුදුවැල්ල මෙහෙයුමට එක්වූ නාවික සෙබළු නිසා කඳවුර තුළ රෝගය පැතිර  ගිය වැලිසර නාවික හමුදා තූර්යවාදන කණ්ඩායමේ සාමාජිකයින් කීපදෙනෙක්ද රෝගයට ගොදුරු වී සිටියහ. මේ නිසා එම තූර්යවාදන කණ්ඩායම් පැමිණ ජනතාව සතුටු කිරීම් සඳහා සංගීත සංදර්ශන පැවැත්වූ නිවාස සංකීර්ණ පවා හුදකලා කොට නිරෝධායනයට යොමුකරනු ලැබීය. එසේම මෙම නාවික හමුදා තූර්යවාදන කණ්ඩායම සමඟ රෑපවාහිනී වැඩසටහනකට සහභාගී වූ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අයකුටද රෝගය වැළඳී තිබුණි.

කෙසේ වෙතත් අවසානයේ දිවයිනේ රෝහල් වෙත නිවාඩු ගොස් සිටින හමුදා සෙබළුන් පිරිසක්ද රෝගයට ගොදුරු වී සිටි බව හෙළිවිය. මේ නිසා කඳවුරෙන් පිට නිවාඩු ගොස් සිටින අය සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී බුද්ධි අංශ විසින් 8000කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඔවුන්ද නිරෝධායනය සඳහා යොමුකරනු ලැබීය.

එපමණක් නොව වැලිසර කඳවුරෙන් ගොස් සාගරයේ ආරක්ෂක මෙහෙයුම් වල නිරතව සිටි යාත්‍රාවල සිටි අය පවා මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත. කෙසේ වෙතත් මේ වනවිට නාවික හමුදාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් තිබේ. රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් වීම විශේෂත්වයකි. ඒ නිසා අවදානම සුළුපටු නැත. මේ ලිපිය මොහොත වනවිටත් එම සංඛ්‍යාව 350 ඉක්මවමින් තිබුණි.

කෙසේ වෙතත් මෙතන ගැටලුවක් ඇත. එනම් මේ මෙහෙයුම් සඳහා සහභාගී වන ආරක්ෂක අංශයේ අයට සෞඛ්‍යාරක්ෂිත පහසුකම් නොලැබුණේද යන්නය. එසේ ලැබුණා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නට තිබුණු බව අමුතුවෙන් කිවයුතු නැත.
කෙසේ වෙතත් නාවික හමුදාව පවසන්නේ මේ මෙහෙයුමේදී නාවික සෙබළුන් කොටස් තුනකට බෙදූ බවය. එනම් වැඩි අවදානම් පිරිස, මැදි අවදානම් පිරිස සහ අඩු අවදානම් පිරිස වශයෙනි. එලෙස බෙදුවේ ඔවුන් සිදුකරන මෙහෙයුම් අනුව බව සඳහන් වේ. කෙසේ වෙතත් මෙම වෛරසය බෝවී තිබුණේ මැදි අවදානම් කලාපයේ මෙහෙයුම් සිදුකළ අයට බවද සඳහන් කරයි. එය කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයක් බවත් විශේෂයෙන් මෙවැනි තත්වයක් ඇති වීමට හේතුව බහුතරයකට රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම බවද සඳහන් වෙයි. ඒ නිසා රෝගය සීඝ්‍රයෙන් ව්‍යප්ත වූ බව ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට නාවික හමුදා සෙබළුන් සියලු දෙනා සිටින්නේ කඳවුරුවලය. 4000 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය වෙමින් සිටින අතර ඔවුන් සමඟ ඇසුරු කළ 8000ක් දෙනාද නිරෝධායනය වෙමින් සිටී. ඒ නිසා රෝගය තවදුරටත් පැතිරයාම නවතාලීමට හැකිවූ බව සඳහන් නාවික හමුදාව පවසයි. එය එක් පැත්තකින් සතුටු විය හැකි දෙයකි. එහෙත් මේ තත්ත්වය අනුව එක් රෝගියකු හරහා මෙතරම් විශාල තර්ජනයක් සමාජයට එල්ලවූවා නම් වෛරසයෙන් සමාජයට එල්ල වී ඇති තර්ජනය සුළුපටු දැයි ප්‍රශ්නයක් ඇත .ඒ නිසා තමන් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍යයම කටයුත්තය. එය නොකරනතාක් සියලුදෙනා ඉන්නේ අවදානමකය.

 ගයාන් ගාල්ලගේ