ඒ 2020 අප්‍රේල් 26 වැනි ඉරිදා දිනයයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1193 දරන මෙම ගුවන් යානය උදෑසන 9.05 ට කටුනායකින් ගුවන් ගතවිය. මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් කලාපය තුළ කිසිදු ගුවන් යානයක් නොවීය. ඔවුන් ඇතුළුවූයේ ඉන්දියානු ගුවන් කලාපයටයි. එම ගුවන් කලාපයේද එම මොහොතේ කිසිදු පියාසැරියක් සිදු නොවූ අතර හුදකළා බවක් ඉසිලුවේය. එම මේ ගමනේ විශේෂත්වය මෙන්ම බරපතළ බවද හඟවන්නක් වූයේය. ඉන්දු ශ්‍රී ලංකා ගුවන් කලාපයේ පියාසර කළ එකම ගුවන් යානය වූ මෙහි ප්‍රධාන නියමුවා වූයේ කැප්ටන් ප්‍රියන්ත අධිකාරම්ය.
පළවෙනි කාරණාව විදිහට සිහිපත් කළ යුතුයි අපේ රටට ජාතික ගුවන් සේවයක් තිබීම මෙහිදී අතිශය වැදගත් වුණා. පවතින වාතාවරණය මත රටේ අවශ්‍යතාවයකට උදවීමට ලැබීම පෞද්ගලික අපිටත් ලොකු සතුටක්. කොහොම වුණත් අපිටත් අවදානමක් තිබුණා. අපේ ගුවන් නියමුවෙක් වගේම කාර්යමණ්ඩලයේ අයෙක් පහුගිය කාලේ ආසාදිතයින් බවට පත්වෙලා තිබුණේ. නමුත් මේ අපේ රටේ අවශ්‍යතාවයක් ඒ නිසා අපි කවුරුත් බෑ නොකියා මේ කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් වුණා. අපේ ගුවන් සමාගම අපිට අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සපයලා තිබුණේ. ඒ වගේම අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදීලා තිබුණා. අපේ කාර්ය මණ්ඩලය හත් දෙනෙක්. මේ ගුවන් ගමන සිද්ධ වුණේ විශේෂ අවසරයක් මත. ඒ නිසා ගමනේ යෑම් ඊම් සඳහා අවශ්‍ය සියලු ඉන්ධන මෙරටදීම සපයා ගැනීම සිද්ධවුණා.
මේ ගමනේ ගමනාන්තය වූයේ ඉන්දියාවේ කොයිම්බතූර් ගුවන්තොටයි. මේ ගමනේ අරමුණ මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරසක් මෙරටට රැගෙන ඒමයි. මේ ගතවෙමින් ඇත්තේ උපන් බිම ස්වර්ග රාජ්‍යයක් බව මෙරටින් එතෙර ගිය බොහෝ දෙනෙකුට දැනෙන යුගයකි. ඒ මොහොතේ කොයිම්බතූර්හී සිටින ශ්‍රී ලංකිකයන්ද උපන් බිම පිළිබඳ සිහින දකිමින් සිටියේය. අද වනවිට ඔවුන් මව් පොළොවේ පහස ලැබීමට වාසනාව බලා තිබේ.
ශ්‍රී ලාංකිකයෝ හැටදහසක් පමණ මේ මොහොතේ මව් බිමට පා තැබීමේ සිහිනය දකිමින් සිටිති. එම සිහිනය සැබෑ කිරීමට ලක් රජයත් ශ්‍රී ලංකන් ගුවන් සේවයත් දරමින් සිටින උත්සාහය සුළුපටු නොවේ. පසුගිය සතිය පුරා දකුණු ආසියානු කලාපයේ රුඳී සිටි පිරිස් මෙරට ගෙන්වා ගැනීමේ සිදුවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අප ඔබට කියමින් සිටින්නේද ඉන් එක් ගුවන් ගමනක තොරතුරුයි.
මේ ගමනේ කැබින් මැනේජර් ලෙස කටයුතු කරනු ලැබුවේ දිනේෂ් ගුණසේකර මහතාය. අනෙකුත් කාර්ය මණ්ඩලය සමඟ මගීන් හැසිරවීම සහ පහසුකම් සැපයීම කලමනාකරණය කිරීම ඔහුගේ කාර්යභාරය විය.
අපි කොළඹ ඉඳන් කොයිම්බතූර්වලට තමා ගියේ. ඒක සාමාන්‍ය වැඩිදුර ගමනක් නෙවෙයි. ගුවන් කාලය තිබුණෙ විනාඩි පනහක් පනස් පහක් වගේ. අපි යනකොට මගීන් කවුරැත් අරගෙන ගියේ නෑ. ගමනට කලින් අපිට තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න ආකාරය පිළිබඳව දැනුම්වත් කරලා තිබුණා. යම් රෝගී තත්ත්වයක් ආසාදිත තත්ත්වයක් තියෙන කෙනෙක්ව හිටියොත් හඳුනාගන්නා ආකාරය වගේ දේවල් රැසක් අපට දුන්න උපදෙස් මාලාවේ අන්තර්ගත වෙලා තිබුණා. මේ ගමනේදී සමාන්‍යයෙන් අපි භාවිතා නොකරන උපකරණ රුසක් භාවිත කළා අරක්ෂාව වෙනුවෙන්.
දිනේෂ් ගුණ්සේකර මහතාද පවසන්නේ තමා ඇතුළු සියලුදෙනා මෙම කර්තව්‍යය සඳහා සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ බවයි. මේ මොහොතේ තම දරුවන් වෙනත් රටක තනිවී සිටින විට දෙමාපියන්ට ඇතිවූ හැඟීම පියෙකු ලෙස තමන්ට තේරුම්ගත හැකි බව ඔහු පවසයි. මිනිත්තු පහස් පහක පමණ ගමනකින් පසු ඉන්දියාවේ කොයිම්බතූර්වලට යානය ගොඩබසින විට කාර්ය මණ්ඩලය ආරක්ෂිත ඇඳුම්වලින් සැරසී සිටියේය. සියලු මගීන් යානය තුළට නංවා ගැනීම සිදුවූයේ විශේෂිත ක්‍රමවේදයක් යටතේය.
අපිට වඩා අපේ කාර්ය මණ්ඩලය ආරක්ෂිත ඇඳුම් වලින් සැරසිලා තමයි කටයුතු කරේ. යානයට මගීන් රුගෙන එන කාර්ය මණ්ඩලයත් ඒ වගේ ඇඳුම්වලින් සැරසිලා හිටියේ. මගීන් ඇතුළට ගත්තේ විෂබීජහරණය කරලා. ඒ අයව වාඩි කෙරෙව්වේ විශේෂිත විදිහකට. ඒ වගේම අත්‍යවශ්‍ය අය විතරයි යානයට ගොඩවුණේ. යානය පිටත්වෙන්න කලින් පරීක්ෂා කරන ඉන්ජිනේරුවරයා විතරයි මේ ගමනේදී යානයට ගොඩවුණේ. නියමුවන්වත් මගීන් සමඟ මුහුවුණේ නෑ. අපේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය උපයෝගී කරගෙන තමා කතාබහ කළේ. සියලු මගීන් ගොඩවුණාම මම කතා කරලා කිව්වා බොහොම සංතෝසයි උදව් කිරීමට ලැබීම ගැන. නැවත අපි ඔය සියලු දෙනාවම ශ්‍රී ලංකාවට රැගෙන යනවා කියලා.
කොයිම්බතූර් ගුවන්තොටුෙපාළේ අප යානයට පැයකුත් මිනිත්තු පහළොවක් පමණ රැඳී සිටීමට සිදුවූ බව කැප්ටන් ප්‍රියන්ත අධිකාරම් මහතා අප සමඟ පවසයි. සාමාන්‍යයෙන් ගුවන් මගීන් හැසිරවීමේදී මේ තරම් කාලයක් ගතවන්නේ නැහැ. එහෙත් මෙහි සියලු කටයුතු සිදුවූයේ විශේෂිත සැලසුමකට අනුවයි. ගුවන් යානයට ගොඩවූ මොහොතේ සිටද සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් ගුවන් මගීන් සමඟ මනා සම්බන්ධවතාවයක් පවත්වා ගැනීමට ගුවන් කාර්ය මණ්ඩලය උත්සුක වූහ.
කොළඹ අයට වඩා ගොඩක් හිටියේ පිට පළාත්වල අය. මම කතා කළා ගොඩක් දෙනෙක් එක්ක. අනුරාධපුරයේ තරුණයෙක් එක්ක කතා කළා. ඒ වගේම හැටන්වල අය හිටියා. තව කුඩා දරුවන් කිහිප දෙනෙකුත් හිටියා. ඒ හැමෝම නැවත පැමිණීම ගැන සතුටින් හිටියේ. කොළඹට ගොඩ බැස්සම පස්සේත් අපි විශේෂිත සැලැසුමක් අනුගමනය කළා. සමාන්‍ය ගුවන් ගමනකදී ගුවන් මගීන් බස්සන්නේ ඉස්සරහින්. ඒත් මෙතැනදී ක්‍රමාණුකූලව පිටුපසින් තමයි ගුවන් මගීන්ව බැස්සුවේ. සමාජ දුරස්ථභාවය ආදී දේවල් ගැන එතැනදී සැලකිලිමත් වුණා.
මේ අනුව ඉන්දියාවේ කොයිම්බතූර්හි සිට ශ‍්‍රී ලාංකිකයන් 113 දෙනෙකු අප්‍රියෙල් 26 දා දහවල් 12.05 ට පමණ කටුනායක ගුවන් තොටුපළන් මව් පොළොවට පා තැබීය. මෙම පිරිස පැමිණි ගුවන් යානයත්, එහි කාර්යය මණ්ඩලයත් විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව කොයිම්බතූර්හී සිට පැමිණි පිරිස ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රුගෙන යනු ලැබීය.
මේ අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික සිසුන් නැවත මෙරටට ගෙන ඒමේදී එම සිසුන්ගෙන් අධික මුදලක් අය කරන බවට පළවන වාර්තාව පලවන්නට විය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මාධ්‍ය නිවේදනයක් ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වා තිබුණි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කලමනාකරු දීපාල් පෙරේරා මහතා සම්බන්ධ කරගතිමු.
සිරවෙලා ඉන්න ශ්‍රී ලාංකික සිසුන්ව ගෙන්වා ගැනීම සම්බන්ධව සැලසුම් මුලසිටම සැකසුනේ ඊට අදාළ පිරිවැය ප්‍රතිපූර්ණ කරගනිමින් සිදුකිරීමට. අපි මුලින්ම ගියේ පකිස්ථානයට. ඔක්කොම අපි ගමනාන්තය හයක සහ රටවල් පහකට ගියා. අපි අය කරපු විදිහ තමා මෙතැනදී ප්‍රශ්නය වෙලා තියෙන්නේ. සාමාන්‍ය ගුවන් තොටුපළවල් දෙකක් අතර පියාසර කරන විට අදාළ ගමනාන්තයට යාමට සහ එයින් නැවත පැමිණීමට මගීන් සිටිනවා. ගුවන් යනා සමාගම් සිදුකරන්නේ එම මගීන්ගේ ටිකට් වලින්වලින් අදාළ වියදම් පියවා ගැනීම. නමුත් ගුවන් තොටුපළවල් වසා ඇති මේ වගේ මොහොතක විශේෂ අවසරයක් සහිතව කෙරෙන ගුවන් ගමනකදී අපේ පිරිවැය ඉතා අධිකයි. උදාහරණයක් විදිහට මේ වගේ ගමනකදී මෙරටදීම යාමට සහ ඒමට ඉන්ධන සපයා ගැනීමට සිදුවෙනවා. මේ අවස්ථාවේ යම් කාර්මික දෝෂයක් වුණොත් හදාගන්න විදිහක් නෑ. ඒ නිසා තව තාක්ෂණික නිලධාරීන් වගේම උපාංග අරගෙන යන්න වෙනවා. තව ලෑන්ඩ් කෝස් එකක් එනවා. මීට කලින් නොගිය ගමනාන්තයකට යනකොට ඉතා අධික අයකිරීම් කරනවා. ගමනකට පස්සේ යානය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමේ සිද්ධවෙනවා.
මේ වගේ ගෙවීම් රුසක් එකතු වෙනවා. එතොකොට මේ වියදම් මගීන් සංඛ්‍යාවකින් බෙදෙන්න වෙනවා. අපිට රැගෙන එන මගීන් විතරයි ඉන්නේ. ඔවුනුත් විශාල සංඛ්‍යාවක් නෙවෙයි. ඊට අමතර ඩොලරයේ අගයත් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. කොහොම වුණත් මෙතැනදී අපි පිරිවැය සම්පූර්ණ කිරීමක් විතරයි සිද්ධ වුණේ. තව පැත්තකින් කාර්ය මණ්ඩලය විශාල අවදානමක් අරගෙන තමා මේ ගමන යන්නේ. ගොඩඩක් දෙමාපියෝ අපිට ස්තූතිකළා වැඩපිළිවෙළට.
රටවල ගුවන් තොටුපොළ හා ගුවන් මෙහෙයුම් වසාදමා ඇති අවස්ථාවක සිදුකරන මෙම ගුවන් ගමන් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව සත්‍යයකි. ආසියා කරයේ මේ මොහොතේ මෙවන් මෙහෙයුම් කරනා රටවල් නොමැති තරම්ය. මෙරට ජාතික ගුවන් සේවයක් නොවුණා නම් කිසිදු ගුවන් සේවයක් මේ මොහොතේ අප වෙනුවෙන් ඉදිරිපත් නොවන්නටද තිබුණි. ඒ නිසාම මෙහොතේ සිදුවිය යුත්තේ ඔවුන් විවේචන නොව දිරිගැන්වීම බව අප අවසානයේ සිහිකරමු.
චමිඳු නිසල් ද සිල්වා