2020 මැයි 02 වන සෙනසුරාදා

නිලධාරීන්ට කොකා ගස්සා කසිප්පු පෙරන පුංචි මින්ත්‍රීලා

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

මැදරට ප්‍රදේශය තුළද මත්ද්‍රව්‍ය සංහාරය කිරීමට පොලීසිය සුරාබදු අංශ දැඩි මෙහෙයුම් ආරම්භ කළද මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නෝ විවිධ ක්‍රමවේද භාවිතා කරමින් එම ජාවාරම කරගෙන ගියහ.

කෝවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ මත්පැන් අලෙවිසල් සියල්ල වසා දැමීමේ තීරණයක්ද ගනු ලැබීමය. එහෙත් මත්පැන් අලෙවි සල් වසා දැමූවද මත්පැන් බොන්නෝ විවිධ ක්‍රමවේද ඔස්සේ මත්පැන් ලබා ගැනීමට කටයුතු යෙදූහ.
කෝවිඩ් වසංගතය ව්‍යාප්තවීම කෙතරම් වැඩිවුවද එම රෝගීන් විවිධ ප්‍රදේශවලින් හමුවීම සිදුවුවද එම තත්ත්වය අභිබවා විෂ මත්පැන් නිෂ්පාදනය, නීති විරෝධී මත්පැන් බෙදාහැරීම සූක්ෂමව සිදුවූයේ පොලිසිය හා සුරාබදු නිලධාරීන්ගේද ඇස් වසාලමිනි.
ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් තම දේශපාලන බලය උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්පැන් ජාවාරම්වල යෙදුණු අතර ඔවුහු ප්‍රසිද්ධියේම ඇතැම් පොලිස් බල ප්‍රදේශයන්හි සිය ජාවාරම ජයටම පවත්වාගෙන ගියහ.

මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාසයකට අයත් මැතිවරණ කොට්ඨාසයක ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඉතා සූක්ෂමව නීති විරෝධී මත්පැන් අලෙවිය සිදුකරගෙන යද්දී එම ස්ථානය වැටලිමට ගිය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ මැර කල්ලිය පහරදී වෙඩි තබන්නටද තැත් කර තුවාල සිදු කරමින් එම නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කළ අතර මැර දේශපාලනඥයාගේ පහරකෑමට ලක්වූ සුරාබදු නිලධාරීන්ට රෝහල්ගත වීමටද සිදුවිය. එම ප්‍රාදේශීය දේශපාලනඥයාට ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ලැබී තිබෙන නිසාම ඔහු ‘චණ්ඩි පාට් දමමින් නීති විරෝධී මත්පැන් ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් හෙළිවිය.
අවසානයේ නීති විරෝධීව අලෙවි කළ මත්පැන් සහ නීති විරෝධී ගිනි අවියක්ද සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත්විය.

එම සිදුවීම ඇතිවී දින කිහිපයක් ගතවන්නට පෙර එම ප්‍රදේශයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක රජයේ අරක්කු නීති විරෝධීව අලෙවි කිරීමේ චෝදනාව මත අරක්කු බෝතල් 40ක් සමඟ ඔහු පදිංචි ප්‍රදේශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රජයේ අරක්කු බෝතලයක් නීති විරෝධීව රුපියල් පන්දහසක මුදලකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අලෙවි කර තිබූ අතර ඔහුටද ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ලැබෙන බවට ආරංචි මාර්ගවලින් හෙළිවිය. 
රට ගිලගත් භයානක වෛරස් රෝග වසංගතය තුට්ටුවකට මායිම් නොකළ ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම  ඒවා අලෙවියටද මුල්තැන දී තිබෙන බව නීති විරෝධී මත්පැන් ජාවාරම් තුළින් අනාවරණය විය.
රජය කෝවිඩ් - 19 වසංගත රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමටත් එම රෝගය මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ලෙසටත් රටපුරා මත්පැන් අලෙවිසල් වසා තිබුණද රටපුරා නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම සිදුවිය. මධ්‍යම පළාතද නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවෙන පළාතක් ලෙස ප්‍රචලිතය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන සමයේ පොලීසිය අප්‍රේල් මස 01 වැනි දින සිට අප්‍රේල් මස 26 වැනි දින තෙක් සිදුකළ වැටලීම්වලින් මාතලේ දිස්ත්‍රික්කයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ හා ළඟ තබාගත්තවුන් 112ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ළඟ තබාගැනීම යන සිද්ධීන් 201ක් මහනුවර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා විය. පුද්ගලයන් 201 දෙනෙකුට නඩු පැවරීමටද කටයුතු යොදා ඇත.
තෙල්දෙණිය පොලිස් කොට්ඨාසයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධීන් සම්බන්ධව පුද්ගලයන් 27කට නඩු පැවරීමට කටයුතු යොදා තිබේ. මහනුවර, මාතලේ, ගම්පොළ හා තෙල්දෙණිය පොලිස් කොට්ඨාසවල ඇඳිරි නීති සමයේ කරන ලද වැටලිම්වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 353 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 66 දෙනෙකු මහනුවරින්ද, මාතලේ කොට්ඨාසයෙන් ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 70ක්ද, තෙල්දෙණිය පොලිස් කොට්ඨාසයෙන් ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 51ක්ද, නීති විරෝධී මත්පැන් ජාවාරම් කිරීම් 299ක්ද මාතලේ පොලිස් වසමෙන් නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටලීම් 518ක්ද, ගම්පළ පොලිස් කොට්ඨාසයෙන් නීති විරෝධී මත්පැන් වැටලීම් 157ක්ද ඒ ඒ පොලිස් කොට්ඨාසවල නිලධාරීන් විසින් සිදුකර සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් කළ හා ළඟ තබාගත් සියලුදෙනාටම පොලිසිය විසින් ඉදිරියේදී අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර මහතා පැවසීය.
උඩදුම්බර පොලිස් වසමේ ස්ථාන රුසකද නීති විරෝධී විෂ මත්පැන් පෙරීම හා බෙදාහැරීම සිදුවී තිබෙන අතර එම පොලිස් වසම තුළ සිදුකළ වැටලීම්වලදී නීති විරෝධී විෂ මත්පැන් (කසිප්පු) හා කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා අත්අඩංගුවට ගෙන තිබේ. කසිප්පු බෝතල් 300කට ආසන්න ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. නීති විරෝධීව නිපදවන විෂ මත්පැන් (කසිප්පු) බෝතලයක මිල රුපියල් 2000 සිට 2500 දක්වා වන බව එම මත්පැන් මිලදී ගත්තවුන් පැවසූහ.

ඇතැම් ප්‍රදේශවල ඉතා සූක්ෂම ලෙස රහසිගතව රජයේ ලියාපදිංචි සුරාසල් විවෘත කර එම සුරාසල්වල තිබෙන රජයේ මත්පැන් (රජය අනුමත අරක්කු) බෝතල් තොග පිටින් වෙනත් ස්ථානවලට බෙදාහැරීමද සිදුවෙයි. ඒ අයුරින් රජයේ අනුමත මත්පැන් හලක් ඇඳිරි නීතිය පැවති අවස්ථාවේ රහසිගතව විවෘත කර මත්පැන් බෝතල් තොගයක් පිට කිරීමට සූදානම් වූ මොහොතක මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් සහ මහනුවර සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් වටලා මත්පැන් බෝතල් තොගයක් සමඟ එම මත්පැන් අලෙවි සලේ කළමනාකරු යැයි පැවසෙන පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව එම සුරාසැලට සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා (සීල් තැබීම) තබන ලදී.

 ජේ.ඒ.එල්. ජයසිංහ