2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ඇඳිරිය ඕනෑද නැද්ද?

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

කොවිඩ් 19 වසංගතය දැන් රට තුළ ඇති කර තිබෙන නවතම ආන්දෝලනය වන්නේ රටේ ඇඳිරිනීතිය ඉවත් කළ යුතුද නැද්ද යන්නයි. කොරහෙත් කිඹුලන් දකින්නා වූ සමහරු ඇඳිරියට පක්ෂව කරුණු කියද්දී, තවත් අය ඇඳිරියට විපක්ෂව එය වහා ඉවත් කළ යුතු බව කියති. නමුත් වඩාත් ප්‍රායෝගිකව සිතා බලන පිරිසක් ක්‍රමානුකූලව ඇඳිරියෙන් ඉවත්ව රට ආලෝකය කරා ගෙන යා යුතුයැයි කියති.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අප හා කීවේ දැනට කොරොනා වසංගත අවදානම සහමුලින්ම පහව ගොස් නැතත් ඇඳිරි නීතිය යටතේ රට දීර්ඝකාලීනව වසා තැබීමෙන් ඒ හා සමානව ආර්ථිකය බිඳවැටීමේ අවධානමක්ද මතුවන නිසා මේ මොහොතේ පූර්ව සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ක්‍රමානුකූලව රට නැවත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට  පියවර ගැනීම  අවශ්‍ය බවය.

‘දැන් බස්නාහිර අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රදේශ විවෘත කිරිම තවම අවදානම්. එය හදිසියේ කරන්නට බැහැ. නමුත් මේ වනවිට අපේ සෞඛ්‍ය අංශ මගින් රෝගය යම් තරමකට පාලනයකට යටත් කරලා තියෙනවා. එලෙස ඒ පවතින තත්ත්වය දිගටම පාලනයක් ඇතිව පවත්වාගන යා යුතුයි. ඒ අතර අපි රටේ සාමාන්‍ය ජනජීවිතයට නැවත පිවිසීමට අවශ්‍ය වටපිටාවත් සැකසිය යුතුයි. නැතිනම් ඊළඟට ලොකු ආර්ථික ගැටලු මතුවේවි. දැනට අප සතුව පවතින රෝගය හඳුනා ගැනීම සඳහා වූ පීසීආර් පරීක්ෂණ හැකියාව යහපත් මට්ටමක තියෙනවා. දවසකට දැන් 700ට ආසන්න ප්‍රමාණයක් සිදුකරනවා. ශ්වසන ආධාරක පහසුකම දැනට තවත් වර්ධනය කරගනිමින් ඉන්නවා. ඉතින් අපි කළ යුත්තේ රෝගය සමඟ ගැටෙමින් කටයුතු කරන අතර ඒ ඒ අවස්ථානුකූලව පීසීආර් පරීක්ෂණ හැකියාව වැඩිකර ගනිමින්, ශ්වසන ආධාරක ප්‍රමාණය වැඩිකර ගනිමින්, රෝගීන්ට ප්‍රතිකාර කරන අතරම සාමාන්‍ය ජන ජීවිතය ආක්ෂාකාරීව පවත්වාගන යාමට අවශ්‍ය වටපිටාව සැකසීමයි.’

‘අපිට මාස 03ක් විතර දිගටම රට වහගෙන කටයුතු කරන්න බැහැනේ. ඒක ප්‍රායෝගික නැහැනේ. එහෙම කළොත් ආර්ථිකයට මොකද වෙන්නේ. මාස 03ක් රට වහලා “ඔන්න දැන්  අන්තිම කොවිඩ් ලෙඩාත් සුවයි. ඔක්කොම ‘සීරෝ’,” කියලා ඊට පස්සේ ආර්ථිකය දිහා බලන්න ගියොත් හරියට ලෙඩා මළත් බඩ සුද්දයි වගේ වේවි. මොකද අපි ආර්ථිකව ශක්තිමත් නෑ. නිෂ්පාදනය නැතිවුණොත් කොහොමද රට පවත්වාගන යන්නෙ. රැකියා නොකර කන්නේ බොන්නේ කොහොමද? ඉතින් අපට සිද්ධවෙනවා මේ අවදානම ක්‍රමානුකූලව පාලනය කරගන්නා අතරම ආර්ථික කටයුතු සහ එදිනෙදා ජනජීවිතය පවත්වාගන යන්නට අවශ්‍ය පියවර ක්‍රමානුකූලව අරගන්න. ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් රට විවෘත කළ යුතුයි. මැතිවරණ හෝ වෙනත් අත්‍යවශ සමාජ ක්‍රියාවලීන් සඳහා පූර්ව  සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ක්‍රියාකාරි සැලසුම් සැකසිය යුතුයි. ඉතිහාසයේ පළමු වතාවට අපට හැකිවුණා හමුදාවේ ක්‍රියාකාරී සහාය මනාව යොදා ගෙන වසංගතයකට මුහුණ දෙන්න. මේ අවස්ථාවේ අපි ඔවුන්ට කෘතඥ විය යුතුයි ඒ ක්‍රියාන්විතය ගැන. ඒ ආධාර උපකාර නොවන්න අපේ තත්ත්වය ඉතා අසීරැවන්නට තිබුණා.’

‘අපේ සෞඛ්‍ය සේවය මෙවැනි වසංගත සමග ගනුදෙනු කර හොඳ පුරුද්දක් තිබෙන පරිණත සේවාවක්. ඒනිසා මේ වසංගතය සමඟ පාලනයක් සහිතව දිවි ගෙවන්නත් අපට පුරුදුවන්නට හැකිවේවි. දැන බලන්න ඩෙංගු රෝගය සමඟ අපි ගනුදෙනු කරන ආකාරය. ඩෙංගු රෝගීන් දහස් ගණන් වාර්තා වෙද්දී, රෝහල් පහසුකම් සීමා වෙද්දී, අපි ජනතාව සමග එකතුවෙලා ගෙදරදීම ඩෙංගු රෝගීන් බලා කියාගන සාත්තු සප්පායම් කරලා අවදානමෙන් මිදෙන හැටි ප්‍රායෝගිකව අත්දුටුවා.

මේ වසංගතය පාලනය කර ගන්නටත් හැකියාව ඇත්තේ ජනතාවටයි. නිවැරැදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම. නිසි සෞඛ්‍යමය සදාචාරයක් පවත්වා ගැනීම තමා මෙහිදී වැදගත් වෙන්නේ. අඩි 6 දූරස්ථභාවය, අත්සෝදා පිරිසුදුවීම, කල්ලි ගැසී කරන වැඩවලින් ඈත්ව රෝග ලක්ෂණ ගැන විමසිලිමත්ව ක්‍රියාත්මක වීම. රෝගය නොසඟවා නිරෝධායනයට සහාය වීම. අන්න ඒ වගේ සදාචාරයක්, විනයක් ඇතිව ජනතාව කටයුතු කළොත් මේ වසංගතයේ හානිය අවම කර ගනිමින් රෝගයට ගොදුරු නොවෙමින්, රෝගයත් සමඟ ජීවත් වීමට හැකිවේවි’

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලහිලහියේ ඇඳිරි නීතිය ඉවත් කිරිම කිසිසේත්ම අනුමත නොකරයි. විද්‍යානූකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඇඳිරි නීතිය ඉවත් කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන් මේවන විටද රජයට පූර්ණ සැලසුමක් ඉදිරිපත් කර තිබේ. මේ සැලසුම හා සර්ව සම සැලසුමක් මේ වනවිට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරු පිරිසක්ද ඉදිරිපත් කර ඇති අතර එය දැන් ලෝක අවධානයට ලක්වී හමාරය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අපට ඔවුන්ගේ ස්ථාවරය මෙසේ පහදා දුන්නේය.

“හැමදාම ඇඳිරිය තියන්න බෑ. ඒ වගේම, දවසින් දෙකෙන් ඉවත් කරන්නත් බෑ. ඒ මොකද, අපිට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ අවිනිශ්චිතතාව අධික රෝගයක් එක්කයි. මේ අවිනිශ්චිතතාව වැඩිවෙන්න හේතුව තමා මෙය වැළඳුන රෝගීන්ගේ සියයකට 80ක් විතර රෝග ලක්ෂණ පිටතට නොපෙන්වීම. නැතිනම් සුළු රෝග ලක්ෂණ ගණනක් පෙන්වීම. මේ නිසා ඒ අය තමන් වාහකයන් බව නොදැන නිදැල්ලේ යනවා. රෝගය නොදැනුවත්වම පතුරවනවා. අනෙක් හේතුව මේ රෝගය ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරයාම. මේ කාරණා නිසා අපි නැවත ඇඳිරිනීතිය ඉවත් කරලා රට විවෘත කළ යුත්තේ ඉතා සූක්ෂමව කටයුතු කරමිනුයි. අපේ රට මේ රෝගය ව්‍යාප්තවන ආකාරය ගැන WHO දක්වන ආකාරයට ඇත්තේ 3 වැනි අදියරේ. ඒ කියන්නෙ රෝගී පොකුරු මතුවන අවස්ථාවේ. මේ තත්ත්වය භයානකයි. මේ පොකුරැ සංඛ්‍යාව වැඩිවුණොත් හරියට සිංගප්පූරුව කළා වගේ ඒ ගැන නොසලකා ක්‍රියාත්මක වුනොත් අපේ අතින් දැන් මේ රෝගය සඳහා අපි පවත්වාගන යන පාලනය ගිලිහේවි. ඒ නිසා අපි කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක වෙමින් ඇඳිරිය ඉවත් කළ යුතු බවයි.

මාර්තු  23, අපි මේ සම්බන්ධව මූලික සැලැස්ම රජයට දුන්නා. අප්‍රේල් 4 එය ලිඛිතව දුන්නා. ඊට පෙර අපි මාර්තු 31 ඉල්ලීමක් කළා පරීක්ෂණ පහසුකම් වැඩිකරන්න කියලා. දිනකට කළ හැකි 1500 නම් එය කරන්න, රෝගීන් හඳුනාගන්න කියලා අපි කිව්වා. විශේෂයෙන්ම රෝගීන් වාර්තාවීම අනුව කලාප වෙන් කර හඳුනා ගන්නත් ඒ සඳහා කොළ, කහ, රතු වර්ණ අවදානම් මට්ටම අනුව හඳුන්වා දීමටත් කටයුතු කරන්න අපි කිව්වා. එවිට අවදානම්  මට්ටම හඳුනාගන්න  ලෙහෙසියි. ඒ අනුව පරීක්ෂණ ඉහළ දමලා අවදානම් රහිත බව ස්ථීරව හඳුනාගත් කලාපයන් එකිනෙක විවෘත කරන්න පුළුවනි. හැබැයි මේ කලාප තුළ සංචරණයට නිදහස දුන්නාට ඒවායින් පිටත අවදානම් කලාප වෙත යන්න දෙන්න බෑ.එය ඉතා සීරුමාරුවෙන් කළ යුතු වැඩක්. මේ විදියට අවදානම් රහිත කලාප පරීක්ෂණ මගින් හඳුනාගන ක්‍රමානුකුලව රට ඇඳිරිනීතිය  විද්‍යාත්මකව ඉවත් කිරීම ගැන අපි උපදෙස් දුන්නෙ මාර්තු මාසේදී. දැන් අප්‍රේල් 19 ඔක්ස්ෆර්ඩ්වල මහාචාර්යවරැත් මේ සැලසුම නිර්දේශ කර හමාරයි. රෝගය කළමනාකරණයට අපිට තවදුරටත් හැකියාව ලැබෙන්නේ මේ වගේ ක්‍රමානුකූල වැඩපිළිවෙළකින් තමයි.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබාදුන් සමහර උපදෙස් ක්‍රියාත්මක කිරිමට මේ වනවිට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි. ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ රැවුලත් කැඳත් දෙකම බේරාගන්නා සූක්ෂම සැලසුමකි. එය සියුම් ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් බඳුය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03