2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

කොරෝනා ගණන් හිලව් ඔළුවෙන් හිටවූ ’’පේෂන්ට්’’ කෙසෙල්වත්ත

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 326

කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතේ කොරෝනා ආසාදිතයන් සිටින බවට සොයාගැනීමත් සමඟ ඒ පිළිබඳ ගණන් හිලව් කණපිට පෙරළිණි. ඒ සමඟ පාලනය වෙමින් තිබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව එකවරම ඉහළ යාම ඇරඹිණි.

ලෝකයේ බලවත් යැයි සැලකෙන බෙහෝ යුරෝපා රටවල් කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ දණින් වැටෙද්දී ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ මැදිහත්වීමෙන් ගනු ලැබූ බොහෝමයක් ක්‍රියාමාර්ග පැවතුණේ සාර්ථක මට්ටමකිනි.

සති ගණනාවක්ම රට තුළ පැවැති ඇඳිරි නීතිය ලිහිල් කරන්නට රජය මඟින් තීරණය කළ බවට ජනතාවට සැලවීමත් සමඟ හැමදෙනාගේ හිතට දැනෙන්නට ඇත්තේ මඳ ඇස්වැසිල්ලෙකි. විශේෂයෙන් අවදානම් කලාපයත් ලෙස නම්කර තිබූ කොළඹ, කළුතර, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් එක දිගටම සති ගණනාවක්ම නොකඩවා ඇඳිරි නීතියට යටත්ව පැවතීම හේතුවෙන් මේ ආරංචිය සැලවීමත් සමඟ ඒ පෙදෙස්වල ජනතාව විශ්වාස කළේ යම් සහනයක් තමන්ට ලැබෙනු ඇති බවය.

නමුත් ඒ සියලු බලාපොරොත්තු සුන්වන්නට ගතවූයේ ඉතාමත් කෙටි කාලයකි. කොළඹ කෙසෙල්වත්ත ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත තුළින් එකවරම ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ ඇඳිරි නීතිය ලිහිල් කරන්නට රජය විසින් ගනු ලැබූ තීරණය වහා වෙනස් කරනු ලැබීය. ඒ අනුව තවත් ඉදිරියට එම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම ඇරඹිණි. කොවිඩ් - 19 ආසාදිතයන් එකම දිනකදී වැඩි පිරිසක් වාර්තා වූ දිනය ලෙසින් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් අප්‍රේල් 15 දායින් පසුව හමුවූ පිරිස හැඳින්විය හැක.

එතැන් සිට දින ගණනාවක්ම කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා ඒ අවට ප්‍රදේශවලින් ආසාදිතයින් දිගටම වාර්තා විය. ඒ බොහෝදෙනා නිරෝධායනයට ලක්කරනු ලැබූ පිරිස අතරින් සොයාගනු ලැබීය.

මේ ප්‍රදේශයෙන් මුල්මවරට සොයාගත් ආසාදිතයා ලෙසින් හඳුන්වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි කාන්තාවකි. ඇය එම ප්‍රදේශයේ ජීවත් වන සුළු වෙළෙඳාමක නිරතව සිටි කාන්තාවක් බව කියති. ඉන්දියාවේ සිට මාර්තු 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගුවන් යානයකින් පැමිණි මෙම කාන්තාව එරටින් රැගෙන එන රෙදිපිළි මෙරට අලෙවි කරන බවද වාර්තා විය. මෙවරද ඇය තමන් විසින් ගෙන ආ රෙදිපිළි දන්නා හඳුනන නිවාස වෙත ගොස් විකුණා ඇති බවත් වාර්තා විය.

මෙම කාන්තාව පවසන පරිදි මෙම වෛරසය ඇයට වැළඳෙන්නට ඇතැයි කියන්නේ ගුවන්යානයේ ආ සුද්දකුගෙනි. ගුවන් යානයේ තමන් අසල අසුන්ගෙන සිටි ඔහුට අධික ලෙසින් කැස්ස පැවතීම හේතුවෙන් තමා අතරමඟදී වෙනත් ආසනයකට මාරු වූ බව ඇය සඳහන් කර තිබිණි. නමුත් ගුවන් යානයකදී තමන්ට අවශ්‍ය පරිදි තමන්ට වෙන්වූ ආසනය හැර වෙනත් ආසනයකට මාරුවිය නොහැක. ඇය මේ පවසන කතාව සත්‍යයක්දැයි හෙළිකර ගැනීම අදාළ අංශවලට බාරය.

පසුකාලීනව මෙම ආසාදිත වූ කාන්තාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ කතාවකි. තමාට හෝ තම පවුලේ කිසිවකුට හෝ රෝග ලක්ෂණ කිසිවක්ම නොපැවැති බවත් තම නිවසට යාබද නිවසේ සාමාජිකයෙකුට උණ පැවැතියද ඔවුන් ඒ සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොගත් බවටද ඇය චෝදනා කරයි. ඇය පවසන්නේ තවත් දින කිහියකට පසුව උදරය පිපුමක් ඇතිවීම නිසා තම පුතණුවන් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දුන් බවත් ඉන් පසුව තමන් රෝහල්ගත කෙරුණු බවත්ය.

ඉන්පසුව ඇය මෙන්ම ඇගේ සැමියාත් දරු දෙදෙනාත් ආසාදිතයින් ලෙසින් වාර්තා වුහ. ඉන්දියාවේ සිට මාර්තු 12 වැනිදා මෙරටට පැමිණි මෙම 59 හැවිරිදි කාන්තාවට මාර්තු 26 වැනිදා වනවිට යම් රෝග ලක්ෂණ පහළ වී තිබූ බවත් ඇදුම රෝගය පවතින බව පවසමින් ඇය එම රෝග ලක්ෂණ ගණන් නොගෙන සමාජය තුළ හැසිරීම එම ප්‍රදේශය පුරා රෝගීන් මතුවීමට හේතුවිය හැකි බවට සැක කෙරේ. එම දිනවලදී ඇයගේ රෝග ලක්ෂණ යටපත් වන්නට ඇතැයි සෞඛ්‍ය අංශය සැක කරති.

රජය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් නිසියාකාරව නොපිළිපැදීමත්, රෝග ලක්ෂණ ඇතිවූ විට ඒ සම්බන්ධ සැබෑ තත්ත්වය වසන් කර තිබීමත් හේතුවෙන් අද වනවිට කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වූ  හැට දෙදෙනෙකු (62) ආසාදිතයින් වශයෙන් ප්‍රතිකාර ලබමින් සිටිති. කෙසෙල්වත්තේ පළමුවරට වාර්තා වූ අදාළ කාන්තාව ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි වහාම තම නිවෙසේ ස්වයං නිරෝධායනය යෙදුණු බවට ඇය කරන ප්‍රකශයේද සත්‍යතාවයක් නැත. ඇය දින කිහිපයක්ම එම ප්‍රදේශය පුරා ඇවිද යමින් නිවාස වෙතට ගොස් තම රෙදිපිළි ව්‍යාපාරය ගෙන ගිය බවටද ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

කෙසෙල්වත්ත යනු කොළඹ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකි. පර්චස් 15 කුඩා වතු කොටසක කුඩා නිවාස හැට ගණනක් පමණ පිහිටා ඇති බවත් එම නිවාසවලින් සාමාජිකයින් දෙසීය ගණනක් ජීවත් වන බවත් කියති. කෙසෙල්වත්ත ප්‍රදේශයට යාබදව අලුත්කඩේද පිටකොටුවේ නැගෙනහිර කෙළවර ප්‍රදේශය පිහිටා ඇත. වර්තමානයේදී ‘කෙසෙල්වත්ත’ ලෙසින් නම් කෙරුවද මුල් කාලයේදී මෙම ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ ශාන්ත සෙබස්තියන් මාවත යනුවෙනි. එකල එහි දිවි ගෙවූ බොහෝ මිනිසුන්ගේ ජීවනෝපාය වූයේ තැබෑරුම්ය. මේ බොහෝ තැබෑරුම් පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන් විසිනි. පසුකාලීනව මැද කොළඹ ආසනයෙහි තුන්වැනි මන්ත්‍රී ලෙසින් රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පත්වීමත් සමඟ මෙම තත්ත්වය මඳින් මඳ අඩු වී ගිය බව සඳහන්ය.

ඉන්දියාවට ගොස් ලංකාවට පැමිණි කෙසෙල්වත්ත ප්‍රදේශයේ මුල්ම වරට හඳුනාගත් කාන්තාවගේ පදිංචිය කෙසෙල්වත්ත 146 වත්තෙනි. මෙම කාන්තාවගේ පුතුන් දෙදෙනාත් ආසාදිතයින් ලෙස වාර්තා වීමත් සමඟ ඇගේ බාල පුතණුවන්ගේ හා ඔවුන් පදිංචිව සිටිනා ගම්මානය නිරෝධායන කටයුතුවලට යොමුකරන ලදී. මීට අමතරව කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ 107, 137 සහ 166 ඇතුළු වතු කිහිපයක්ම වතුවලින්ද රෝගීන් වාර්තාවීමත් සමඟ දහසකට අධික මේ සියලු ජනතාව නිරෝධායන කටයුතුවලට රුගෙන යාමට පියවර ගනු ලැබුවේ ඔවුන්ගේත් රටේත් ආරක්ෂාව සලකාගෙනය.

මේ වනවිට මෙරට තුළ වැඩිම කෝවිඩ් - 19 ආසාදිතයින් පිරිස වාර්තා වන භූමි ප්‍රදේශය කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතයි. අද වනවිට එහි පවුල් දෙසීය හතළිස් දෙකකට අයත් පදිංචිකරුවන් උතුරු ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. එම ප්‍රදේශයට යාබද අනෙකුත් මාවත්වල පදිංචිකරැවන් සඳහාද පී.සී.ආර්. වෛද්‍ය පරීක්ෂණය සිදුකරන අතර මොවුන්ගේ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී පැමිණීමට නියමිතය. නිකුත් කර තිබූ වාර්තා අනුව කිහිපදෙනකුම ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

“මොවුන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනවා. බණ්ඩාරනායක මාවතේ පර්චස් පහළොවක් තුළ දෙසීය ගණනක් ජීවත්ව තියෙනවා. ඒ අතරේ බාබර් සැලුන් එකක්ද තිබිලා තියෙනවා. මේ බාබර්වරයා මේ පහුගිය දිනවල අවට වතුවලට ගොස් කොණ්ඩා කැපීමත් සිදුකරලා තියෙනවා. අද වනවිට එම බාබර්වරයාද කෝවිඩ් 19 ආසාදිතයකු ලෙස වාර්තා වෙනවා. මේ නිසා ඔහු මඟින්ද මෙම රෝගය තවත් පුද්ගලයින්ට ආසාදිත වන්නට ඇතැයි සැකයක් පවතිනවා.”යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

රෝගය පිළිබඳ ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු සැලකිලිමත් නොදැක්වීමේ හේතුවෙන් අද වනවිට බණ්ඩාරනායක මාවත හුදෙකලා ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබේ. ඇඳිරි නීතිය පවතින කාලවලදීත් එය නොතකා අසල ඇති වතුවලට මෙම ආසාදිතයින් වරින්වර ගමන් කිරීම හේතුවෙන් ඉතා ඉක්මණින් දින කිහිපයක් ඇතුළත කෙසෙල්වත්ත කොරෝනා බලපෑමට තදින්ම හසුවූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උත්සාහයන් පවා අපතේ යවමිනි. බණ්ඩාරනායක මාවතෙන් හමුවූ ආසාදිතයින්ගේ කෙනෙකු ඇසුරු කළ කෙසෙල්වත්ත ගෝමස් මාවතේ සිටි තවත් පුද්ගලයන් නව දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කෙරිණි. බණ්ඩාරනායක මාවතේ පදිංචි තවත් පුද්ගලයකු කොටිකාවත්ත ප්‍රදේශයට පැමිණ නැවත තම නිවෙසට ගොස් තිබුණේ මේ අතරය. ඔහුද කොවිඩි -19 ආසාදිතයකු ලෙස වාර්තා වීමත් සමඟ ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළු කරනු ලැබීය. පවුලේ සියලු දෙනාවද නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරිණි. මීට අමතරව ඔහු ඇසුරු කළ පුද්ගලයන්ද නිවෙස්වලම ස්වයං නිරෝධායන කටයුතුවලට යොමුකරලන්නට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ වගබලා ගත්හ.

මේ අතර අධි අවදානම් කලාප ලෙසින් හඳුන්වා දී ඇති කොළඹ ප්‍රදේශයේ ජීවත්වුණු පුද්ගලයින් හත් දෙනෙකු කිසිදු දැනුම්දීමකින් තොරවම යාපනය ප්‍රදේශයට ගොස් ඇති බවටද වාර්තා වී තිබේ. එළවළු රැගෙන කොළඹට එන ලොරි ආපසු යද්දී ඒවායේ නැග කිසිදු අවසරයකින් තොරව මොවුන් කොළඹින් පැනගොස් තිබූ බව වාර්තා වේ. කොළඹ ප්‍රදේශයේ සිට යාපනය, නාවක්කුලි, තෙලිප්පලෙයි, තොල්පුරම්, සංකානෙයි, පාසෙයුර් වැනි ප්‍රදේශවලට මෙම පුද්ගලයන් හත්දෙනා පැමිණ ඇති බවට වාර්තා වී ඇති අතර ඔවුන්ට යාපනය වෙත රැගෙන ආ ලොරි රථයේ රියැදුරු සහ රිය සහායක අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මේ සටහන තබන කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් හැටතුන් දෙනෙකු වාර්තා වී තිබිණි. එම ප්‍රදේශයේ වතු නවයක් හුදෙකලා කොට ඇත. 

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බන්ධනාගාර නියාමකවරයකු නිවාඩු ලබා සිටියදී සෙසු නිලධාරීන් ඇසුරැ කරමින් කැරම් ආදී විවිධ ක්‍රියාවල නියැලීම හේතුවෙන් බන්ධනාගාර තුළද යම් සැකසහිත තත්ත්වයක් පැවතී ඇත.

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේදී ආසාදිතයින් විශාල පිරිසක් මුණගැසීමත් සමඟ එම වතුවල සියලුම දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමුකළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්ද්‍රපාල මහතා පවසයි. 

ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවත්  ත්‍රිවිධ හමුදාවේත් පොලීසියේත් මහජනතාවගේත් සහයෝගය ඇතිව සති ගණනාවක් තිස්සේ සාර්ථකව ගෙන ගිය කොරෝනා මර්දන වැඩපිළිවෙළට කෙසෙල්වත්ත පරාල ඇණයක් බවට පත්වූ කතාව මෙසේ සටහන් කරමු. දැන් සිදුවිය යුත්තේ වරද කාගේදැයි සෙවීම නොව මේ තත්ත්වය දුරදිග යා නොදී නවත්වා ගැනීම බවද සඳහන් කරමු.

  දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03