හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ආණ්ඩුව මේ වෙනකොට ප්‍රශ්න ගොඩකට මුහුණදීලා ඉන්නේ. එක පැත්තකින් ආණ්ඩුවක් නෑ. තව පැත්තකින් ආර්ථිකමය වශයෙන් කඩා වැටිලා. කොහොමද මේ වර්තමානයට මුහුණ දෙන්නේ?
අපිට විතරක් වුණු අර්බුදයක් නෙමෙයි මේක. ලෝකයේ රටවල් 200ට අධික ප්‍රමාණයක් මේ අර්බුදයට මුහුණ දීලා ඉන්නේ. හැබැයි අපි ගත්ත පියවර අනුව දැනට මේ ප්‍රශ්නයට අපට මුහුණදීමේ හැකියාව තිබෙනවා.
මොනවද දැනට අරන් තියෙන පියවර?
දැනට අපි පිටරටවලින් ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන හැම ද්‍රව්‍යයක්ම ආනයනය නවත්වලා තියෙන්නේ. ආනයනයට අපිට විශාල මුදලක් වැයවුණා. ඒ මුදල දැන් අපිට ඉතිරියි. ඒ වගේම මේ කොරෝනා
වෛරසයත් එක්ක අපේ එදිනෙදා ආහාර ද්‍රව්‍ය වගා කිරීමේ සංග්‍රාමයත් ආරම්භ කරලා තියෙන්නේ. ඒක පහුගිය ටිකේ මම ඇවිදින කොට ඇස් දෙකෙන්ම දැක්කා පුරන් වෙච්ච කුඹුරු ගෙවතු ඉඩම් මේ වෙනකොට වගා කරලා තියෙන්නේ. ඒ නිසා තව මාස තුනක් යනකොට අපේ එළවළු වගාව හොඳ තැනක තිබෙනවා. එතකොට ඒවට වැයවන මුදලත් අපිට ඉතිරියි. ඒ වගේම ආයෝජන කලාප වල නිෂ්පාදන කටයුතුත් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. කුඩා නිෂ්පාදන ආයතනවලටත් අපි ඒ ඉඩ ලබාදීලා තියෙන්නේ. මේ නිසා විශාල වශයෙන් අනවශ්‍ය ලෙස වැයවුණු මුදල් ඉතිරි වෙලා තිබෙනවා. ඒ නිසා අනෙකුත් රටවල්වලට වඩා කොරෝනා මර්දනය කර ගැනීමටත් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් අපිට හැකියාව තිබෙනවා.
හැබැයි විපක්ෂය කියන්නේ ආණ්ඩුව ගෙන අරගෙන තිබෙන වැඩපිළිවෙළ එතරම්ම සාර්ථකත්වයක් නැහැ කියලයි?
ඕකට දෙන්න තිබෙන හොඳම උත්තරය තමයි හැමදෙනාම කියනවා ඉස්සෙල්ලා ආණ්ඩුව තිබුණා නම් කොරෝනා මර්දනය කරගැනීමට බැරිවෙලා 50%ක මරණ සංඛ්‍යාවක් ඇතිවෙන්න ඉඩකඩ තිබුණා කියලා. ඒ වගේම අනෙක් පැත්තෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වීම තුළ තමයි මේ තරමින්වත් රට පාලනය කරගන්න ලැබුණේ කියලා. මේ වෙනකොට බුද්ධි අංශ ක්‍රියාත්මක වෙනවා. ඒ ඔස්සේ ලෙඩ්ඩු සොයනවා. අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙනවා. මිනිසුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපයනවා. ඒ සියල්ල බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් මෙහෙයවනවා. ඔබ හිතන්න පෙර ආණ්ඩුව තිබුණා නම් මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා.
හැබැයි ඔවුන් කියන්නේ ඔවුන් හිටියා නම් මීට වඩා දේවල් පාලනය කරගන්න තිබුණා කියලා?
එහෙම කියන්නේ කොහොමද එයාලා. එයාලාගේ ආණ්ඩු කාලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සෞඛ්‍ය ඇමැතිතුමත් හැමතිස්සේම රණ්ඩු වුණා. ආණ්ඩුව දෙකට මැද්දෙන් බිඳිලා තිබුණේ. එහෙම තත්ත්වයක මොන සාර්ථකත්ව වැඩපිළිවෙළක්ද? අපිට ඒ අයගේ සහතික අවශ්‍ය නැහැ. අපි කරපු දේ ජනතාව මේ වෙනකොට පිළිඅරගෙන ඉවරයි.
විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව කොරෝනා වලින් දේශපාලනය කරනවා කියලා?
ඒක අමූලික බොරුවක්නේ. අන්තිමට ආපු චක්‍රලේඛනයේ තිබෙනවා පක්ෂ විපක්ෂ ඕනෑම මන්ත්‍රී කෙනෙකුට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා. අඩුපාඩු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. දැන් මේ වෙනකොට අලුත් චක්‍රලේඛනයක් ඇවිත් තිබෙනවා විදේශ රටක ඉඳලා වැටුප එවන්න බැරි අයටත් රුපියල් 5000/- මුදල ලබාදෙන්න කියලා. පවුලක් ඇතුළේ තව පවුලක් ඉන්නවා නම් ඒ අනු පවුලටත් සලකලා බලලා රු.5000/- ලබාදෙන්න කියලා නියෝග කරලා තිබෙනවා. මෙතැන විශේෂත්වය තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා හැම ප්‍රශ්නයකටම ඊට පහුවැනිදාම පිළිතුරක් දෙනවා. ඒක අපි ලබපු ලොකුම ජයග්‍රහණයක්.
ඒ අයම කියනවා මේ වෛරසය මේ තරම් හරි දුරදිග ගියේ ආණ්ඩුව මන්දගාමී ලෙස ඊට මුහුණ දුන් නිසා කියලා?
අපි ලෝකයේ 9 වැනි තැනට ඇවිල්ලා තිබෙනවා මේ කොරෝනා මර්දනයට නිසි ලෙස මුහුණ දුන්න රට ලෙස. ජී.ආර්.ටී. කියන ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් තමයි මේ අපක්ෂපාතී තීන්දුව දීලා තිබෙන්නේ. ඒකට කාරණා දෙකක් මූලික කරගෙන තිබෙනවා. එකක් දේශපාලන නායකත්වය. අනෙක සෞඛ්‍ය අංශ ඊට මුහුණ දුන් ආකාරය. ලෝකයේ දැවැන්ත රටවල් පවා විශාල අර්බුදවලට මුහුණපා සිටිනවා. අපි වගේ පුංචි රටක් මේ වගේ සාර්ථකත්වයට මුහුණ දුන් එක ගැන ආඩම්බර වෙන්න ඕන.
ඔය ඕස්ට්‍රේලියානු සමාගම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙනවා. නාලක ගොඩහේවා එහි නියෝජිතයකු බවත් ඔහු ආණ්ඩු හිතවාදී ලේඛනයක් හදලා තිබෙන බවත් කියලා?
මේ අය ලෝකයේ හැම රටක්ම අරගෙන තියෙන්නේ. එතකොට මේ වගේ ජාත්‍යන්තර සමාගමක් තමන්ගේ ප්‍රතිරූපය අපේ වගේ පුංචි දේකට හානිකර ගනීවි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔය කියන අයමයි මේ සෞඛ්‍ය අංශ ලබාදෙන තොරතුරු වැරදියි කියලා කියන්නේ. එහෙම විපක්ෂයක් ඉන්න රටක ඒ ගැන හිත හිත කටයුතු කළොත් අපිට කවදාවත් වැඩකර ගන්න හම්බ වෙන්නේ නැහැ.
මෙච්චර ප්‍රශ්න තිබෙන වෙලාවක ඇයි මේ ආණ්ඩුව ඡන්දෙකට යන්නේ. මේක හැමෝම අහන ප්‍රශ්නයක්?
දේශපාලනඥයෝ ඕන කෙනෙකුට බුද්ධියක් තිබෙනවා. මේ ඡන්දෙ තියන්නේ අපි නෙමෙයි මැතිවරණ කොමිෂන් සභාව. මැතිවරණ කොමිසමේ සභාපතිට නියම වෙලා තිබෙනවා ව්‍යවස්ථාව අනුව ඡන්දය තියන්න. ජූනි පැන්නයින් පස්සේ එන අර්බුදයට ව්‍යවස්ථාවෙන් පිළිතුරක් නැහැ. එහෙනම් මැතිවරණ අනිවාර්යයෙන්ම තියන්න ඕන. එහෙම නැතිව කොමිසම ඡන්දය තියන්නේ නැතිනම් ව්‍යවස්ථාමය අර්බුදය විසඳනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මැතිවරණ තිබ්බේ නැහැ කියලා රට අකර්මණ්‍ය වෙන්නේ නැහැනේ. පැහැදිලි නායකත්වයක් යටතේ රට පාලනය වෙනවා. ඔය අහන අයට කියන්නේ අපෙන් අහන්න එපා ඒක මැතිවරණ කොමිසමෙන් අහන්න කියලා.
හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියන්නේ මැතිවරණ එපා ඒ මුදලුත් කොරෝනා මර්දනයට යොදවලා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න මුදල් සම්මත කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන්නම් කියලා?
පාර්ලිමේන්තුව මේ අවස්ථාවේ කැඳවන්න බැහැ. එහෙම කැඳවනවා නම් කැඳවන්න හැකිවන්නේ මුදල් සම්මත කර ගැනීමට නෙමෙයි හදිසි නීතිය සම්මත කර ගැනීමට. වෙන කිසිම කාරණයකට මුදල් පනතක් සම්මත කර ගැනීමට මේ වෙලාවේ බැහැ. මම හිතන්නේ හිටපු විපක්ෂනායකතුමා ව්‍යවස්ථාව දන්නේ නැතිව ඇති. ඒකයි එහෙම ප්‍රකාශ කරන්නේ. ඕක රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා. ඒකයි එතුමා වචනයක් කතා කරන්නේ නැත්තේ. ඒ නිසා ප්‍රේමදාස මහත්මයාත් නොදන්න දෙයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් අහගන්න එක හොඳයි.
මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. එක පැත්තකින් පීඩනය. අනෙක් පැත්තෙන් හිරවෙලා. එහෙම මොහොතක අත පය දිගහැරලා ඡන්දයක් කරන්න පුළුවන්ද?
මෙහෙමයි. ජූනි මාසෙ 20 ඡන්දෙ තියන්නේ. මැයි මාසේ මුල වෙනකොට මේක තරමක් දුරට පාලනය කරගන්න පුළුවන් වෙයි. අපි අපේක්ෂකයෝ හැටියට මැතිවරණ ප්‍රචාරණය වෙනස් කරන්න ඕන. වෙනදා වගේ විශාල රැස්වීම් තියන්න බෑ. සංගීත සංදර්ශන තියන්න බෑ. ඡන්ද දායකයෝ දැනුවත් කිරීමේ වැඩසටහන් මාධ්‍ය සහ වෙනත් ක්‍රම මගින් සිදු කරන්න ඕන. ඒ නිසා අද ඕන දෙයක් කරන්න මේ රටේ තාක්ෂණය දියුණුයි. දැන් කොරියාවේ පවා මැතිවරණය තිබ්බේ ක්‍රම වෙනස් කරලා. කොමිසම තීන්දු ගනියි මේ මැතිවරණය කොහොමද කරන්නේ කියලා.
රජයෙන් මේ අපහසුතා මොහොතේ ජනතාවට ලබාදෙන සහන ඔබලා දේශපාලන වාසි සහ ඉදිරි මැතිවරණය අරමුණු කරගෙන සිදුකරනවා කියලා විපක්ෂය චෝදනා කරනවා?
ඒ අයට පිස්සු. ඔය කියන හැටියට සමෘද්ධිය වෙන දීමනා කිසි දෙයක් දෙන්න බැහැනේ. අඩුම ගණනේ වතුර ටිකක්වත් දෙන්න බැරිවේවි. මිනිස්සු ජීවත් කරන එක ආණ්ඩුවේ වගකීමක්. ඒක නොකර කොහොමද ඉන්නේ. මිනිස්සුන්ට සහන දෙනකොට ඒ අය කියනවා ඒක දේශපාලන වාසියක් කියලා. එයාලාගේ ආණ්ඩුව කාලේවත් ජනතාව වෙනුවෙන් කිසිම සහනයක් දෙන්න බැරුව ගියා. ඒ කඩාවැටීම තමයි ඒ අයට ගෙදර යන්න වුණේ. එහෙම අය අද අපිට උපදෙස් දෙනවා.
රට දැන් ආරක්ෂිතයි. ප්‍රශ්නයක් නෑ කියලා පෙන්නලා ඔබලා ඡන්දෙ තියන්න යනවා කියලා විපක්ෂයෙන් තවත් චෝදනාවක් එල්ල වෙනවා.
ඔබ මාධ්‍යවේදියෙක් හැටියට විශ්වාස කරනවාද සෞඛ්‍ය අංශ බොරු කියනවා කියලා. අපි බොරුවක් කිව්වොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් හෙද සංගම් ශබ්ද නොකර ඉඳියි කියලා හිතනවාද? ඔය දෙන තොරතුරු කිසිම සෞඛ්‍ය අංශයක් විසින් අභියෝග කරලා තියෙනවාද? ඒ නිසා විපක්ෂයේ ඉන්නේ දොස්තරවරු නෙමෙයි. සෞඛ්‍ය අංශ කියන දේ පිළිගන්න. අපි නෙමෙයි මේ කියන්නේ. අඩුම ගණනේ ගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවත් මේ වචනයක්වත් කතා කළේ නැහැ.
දැන් මේ දේවල් මැද ඡන්දයකට වියදම් කරන්න මුදල් තිබෙනවාද?
මැතිවරණය කියන එක කොච්චර කල් ගියත් තියන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවක් තියෙන්න ඕන. එහෙම ඕන නැත්නම් මේක ඒකාධිපති වෙන්න ඕන. එහෙම වෙනකොට අපි ලබාගත්ත ණය වාරික අඩු කරලා තියෙන්නේ. ඉදිරියේදීත් පොලී අඩුකරයි. ලෝක බැංකුවෙන් අපිට මුදල් ලැබිලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මුදල් ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච මුදල් වලින් ඒ ඒ දේවල්වලට නිසි ලෙස මුදල් යොදවලයි ඡන්දෙ තියන්නේ. ඒ නිසා ඡන්දය නොතියා වැඩ කරන්න හැකියාවක් නැහැ. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටක තීන්දු තීරණ ගැනීම ජනතාවගෙන් පත්වූ ආණ්ඩුවක් සතුයි.
ඔබ විශ්වාස කරනවාද මේ ප්‍රශ්න මැද්දේ ආණ්ඩුවට 2/3ක බහුතරයක් ගන්න පුළුවන් වෙයි කියලා?
ඔබ හිතනවාද ජනතාව අපේ ආණ්ඩුව ශක්තිමත් නොකර ඉඳියි කියලා. මිනිස්සුන්ගේ මතය දැන් මේ ආණ්ඩුව නැත්නම් මැරෙයි කියලා. මේ පාර මිනිස්සු බලාගෙන ඉන්නේ අපිට බලය ලබාදෙන්න. මට විශ්වාසයි පහුගිය මැතිවරණයට වඩා විශාල බලයක් ජනතාව අපිට ලබාදෙයි කියලා.
ඔබලා එජාපය දෙකට කැඩීමේ වාසිය ගන්න නේද හදන්නේ?
අපිට එහෙම කිසිම කාලකන්නි සතුටක් නැහැ. පොහොට්ටුවේ තිබෙන ඡන්ද ප්‍රමාණයත් එක්ක අනෙක් පක්ෂයකට ළඟට එන්නවත් විදිහක් නැහැ.
මොන දේ වුණත් රජයක් හැටියට ඔබලා විපක්ෂයේ හඬට කන්දෙන්නේ නැහැ නේද?
විපක්ෂයේ හඬට අපි කන් දෙනවා. හැබැයි විපක්ෂයට අයිතියක් නැහැ නොදන්න බෙහෙත් ජනතාවට ලබාදෙන්න කියලා තීන්දු කරන්න. බෙහෙත් නිර්දේශ කරන්නේ වෛද්‍යවරු.
දැන් ඡන්දෙටත් දින තීන්දුයි. ලෙඩ්ඩුත් 300 පන්නලා. මේ දේ කළමනාකරණය කරගන්නේ කොහොමද?
අපි ඉතාම හොඳින් කළමනාකරණය කරලා තිබෙනවා. හැම රෝගියෙක්ම හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුකරන වැඩපිළිවෙළ අපි හදලා තියෙන්නේ. හිතන්න ලෙඩ්ඩුන්ගෙන් 98%ක් 99%ක් හම්බ වුණේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. අපි මේ වෙනකොට මේ රෝගයේ පළමු වළල්ල සහ දෙවන වළල්ල හඳුනාගෙන ඊට අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ තුන්වැනි වළල්ල හඳුනාගෙන එයට ප්‍රතිචාර දැක්වීම. ඒක සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් යනවා.
I ගයාන් ගාල්ලගේ
සේයාරුව සුමුදු හේවාපතිරණ