2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

අලුතින් ඇසෙන පාස්කු ප්‍රහාරයේ දෙවැනි පිම්ම

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

අප්‍රේල් 21 වැනිදාට පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් ගතවී ඇත. මේ පාස්කු ප්‍රහාරය නිසා මියගිය අය තුන්සීයකට ආසන්න‍ය. පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ජීවත් වී සිටිති. බොහෝ පවුල්වලට අම්මලා, තාත්තලා, දරුවන්, සහෝදරයන් අහිමිව ගොස් ඇත. තවත් අයට මුළු පවුලම නැති වී ඇත. ඔවුන් තවමත් සිදුවූ දේ ගැන වසරක් ඉක්මව ඇතත් ඉන්නේ විමතියෙන්ය. ඔවුන් තමන්ගේ හිතවතාගේ, සමීපයාගේ, සහෘදයාගේ මරණයට තවමත් සාධාරණයක් පතා පාරට එන්නේ නැත. මාධ්‍ය හමු තබා යුක්තිය ඉල්ලන්නේ නැත. ඔවුහු තවමත් දෙලොවක් අතර අතරමංව සිටිති.

මේ සියල්ල මැද පසුගිය 21 වැනිදා ඔවුන් වෙනුවෙන් පහනක් දැල්වීමටත්, ආගමික ස්ථානවල ඝාන්ඨාර, සීනු නාද කරන ලෙසත්, විනාඩි දෙකක නිහඬතාවක් පවත්වන ලෙසත් දන්වා තිබිණි. ඒ මරණයට පත්වූ අය සිහිකිරීම සඳහාය. එලෙස මරණයට පත්වූ අය සිහි කිරීම අවශ්‍යය. එහෙත් ඒ මරණවලට යුක්තිය සාධාරණය ඉෂ්ඨ වනතෙක් එකී මරණවල ආත්මයන්ට සුවයක් ලැබෙයිද යන්න ගැටලුවකි. ඒ නිසා ඇත්තම දෙය නම් ජීවත් වී සිටින අප ඒ මැරුණු මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වැදීමය. එය එම මැරුණු ආත්මවලට ලබාදිය හැකි හොඳම ගෞරවය ලෙස සටහන් කරමින් මේ පාස්කු ප්‍රහාරයේ අලුත් විමර්ශන ගැන මෙසේ අනාවරණය කරමු.

මෙකී පාස්කු ප්‍රහාරය එල්ල වූ සැණින් ඇඟිල්ල දික්වුණු කිහිප දෙනෙක් සිටියහ. ඒ අතර උඩින්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ය, දෙකට හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාය, තුනට අසාද් සාලිය, අද වනවිට රෆුෆ් හකීම් මහතාට ද එකී චෝදනා එල්ල වී ඇත.

එහිදී රිෂාඩ් බදුයුදීන් හට චෝදනා එල්ලවුණේ බෝම්බකරුවන් දෙදෙනකු සමඟ සබඳතා පැවැත්වූ බවට සඳහන් කරමිනි. එහි සත්‍ය අසත්‍යතාවයන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට විමර්ශන පැවැත්වෙයි. එහෙත් ඔහුට අයත් අමාත්‍යංශය හරහා ටෙන්ඩර් මගින් උණ්ඩ කොපු මිලදී ගැනීම් ඇතුළු චෝදනා රැසක් එල්ල විය. එකී චෝදනා එල්ලවුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් පසුගිය කාලයේ සිදුවූයේ නැත. විමර්ශන සිදුවුවත් ඒවා ඕනෑ එපාවටය. රිෂාඩ් බදුයුදීන්ගේ සහෝදරයා ඇතුළු පිරිස් රැගෙනවිත් ප්‍රශ්න කළ අවස්ථාද තිබිණි. එහෙත් පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් ලෙස හිරබත් කෑවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පමණි.

කෙසේ වෙතත් පසුගියදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමඟ සබඳතා පැවැත්වු චෝදනා මතය. ඒ දැනට කරන ලද විමර්ශන වල ප්‍රතිඵලයකි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමඟ ව්‍යාපාර සිදුකළ බවටද ඔහුට චෝදනා එල්ලවී තිබිණි. 

එහෙත් මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවත්, තමන්ට කිසිදු සබඳතාවයක් ත්‍රස්තවාදීන් සමඟ නොතිබුණ බවත්ය. එසේම ඒ ප්‍රහාරයට සම්බන්ධ අය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් නිසා ඔවුන් සමඟ තමාගේ පමණක් නොව දේශපාලකයන් රැසකගේ සම්බධකම් තිබුණු බව ද ඔහු කියයි. කෙසේ වෙතත් තමාගේ සහෝදරයා වැරැද්දක් කර ඇත්නම් දඬුවම් දෙන ලෙසත් එහෙත් දේශපාලන පළිගැනීම් සිදුකිරීම අනුමත නොකරන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ අතර රිෂාඩ්ගේ සහෝදරයා මීට පෙරද යුද හමුදා බුද්ධි අංශය මගින් 2019 දී අත්අඩංගුවට ගෙන පොලීසියට බාරදී තිබිණි. එහෙත් විමර්ශන අතර මග නැවතුණ අතර එතැන් පටන් ඒ සම්බන්ධයෙන් සිදුවු කිසිදු දෙයක් නැත. මේ අතර පසුගියදා නීතීඥවරයකු වූ හිජාස් හිස්බුල්ලාද රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගනුලැබීය. ඒ ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල කරමින්ය. ඒ චෝදනා සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුවෙයි. මේ චෝදනා සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය බව පොලීසියේ විමර්ශන මත තීන්දු කෙරෙනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් රහස් පොලීසියට චෝදනා කරන්නේ මේ අත් අඩංගුවට ගැනීම දුරකථන සංවාදයක් හේතුවෙන් සිදුවී ඇති බවටය. එහෙත් එය රහස් පොලීසිය ප්‍රතික්ෂේප කර ඇති අතර මේ සඳහා තොරතුරු රැසක් අනාවරණය වීම මෙම අත් අඩංගුවට ගැනීම බව ඔවුන් සඳහන් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමඟ විවිධ සංවිධාන පිහිටුවා අන්තවාදය වැපිරීමට ක්‍රියාකළ බවට අනාවරණය වීම නිසා බවය.

කෙසේ වෙතත් මේ විමර්ශනයේදී තවත් සිද්ධියක් අනාවරණය වී ඇත. එනම් මේ ප්‍රහාරයෙන් පසුව තවත් ප්‍රහරයක් එල්ල කිරීම සඳහා තිබූ සූදානමක් සම්බන්ධයෙනි. ඒ සඳහා පිරිස සූදානම් කර තිබූ බවත් පුහුණුවීම් ලබාදී තිබූ බවත් මේ වනවිට අනාවරණය වී ඇත.‍ මේ පාස්කු ප්‍රහාරයත් සමඟ එකී දෙවැනි ප්‍රහාරය සුදානම් කර තිබුණද සහරාන් මියයාමත් සමඟ ඊට සම්බන්ධ සාමාජිකයන් එය අත් හැර දමා ඇත. ඒ ප්‍රහාරය සඳහා සැඟව සිටින සහ ඊට අනුබල දුන් බොහොමයක් හඳුනාගෙන ඇති බවද සඳහන්ය.
ඒ සමඟම ප්‍රකශ වන්නේ මේ ප්‍රහාරයේ පිරිස තවත් දැවැන්ත ප්‍රහාරයක් සූදානම් කර තිබූ බවය. ඒ දකුණු ආසියාවේ රටකට මෙවැනිම ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය. එම ප්‍රහාරය සිදුකරන පිරිස මෙරටට රුගෙනවිත් ආරක්ෂා කිරීමටත් ඊට අවශ්‍ය ආරක්ෂිත ස්ථාන ලබාදීමටත් සුදානම් වී සිට ඇත. එහෙත් ප්‍රහාරයත් සමඟ රහස් පොලීසියේ විමර්ශනවලට අනුව සියලු දෙනා කොටුවීමත් සමඟ සියල්ල ව්‍යවර්ථ වී ඇත. ඒ අනුව සිදුවන්නට ගිය ප්‍රහාර රුසක් කඩිනම් පරීක්ෂණ නිසා අවසන් කර ගැනීමට හැකිවී තිබේ.
මේ සියල්ල මෙලෙස අනාවරණය වුවත් ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත්තත් මේ ප්‍රහාරය දැන දැන එහෙත් නොදන්නා සේ හිටි අයට විරැද්ධව සිදු කරන්නේ කුමක්ද යන්න තවමත් අබිරහසකි. පාස්කු ප්‍රහාරය සිදුවන බවට මාසයක සිටත්, සතියක සිටත් දිනක සිටත් පැය දෙකකට පෙරත් දැන සිටියදිත් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර නොගත් අයට විරැද්ධව කුමක් සිදුවෙයිද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයකි. එහෙත් ඔක්කොම කුණු බේරේ වැවට සේ සිදුවූ සියලු දෙනාට හිටපු පොලිස්පතිත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් පමණක් අත් අඩංගුවට ගනු ලැබූහ. එහෙත් මේ සියල්ලට වගකිව යුත්තේ ඔවුන් දෙදෙනා පමණක්මද? මෙය දැනගෙන සිට වෙන අය නැතිද? ඒ අයගේ අත්වල ලේ තැවරී නැද්ද? ඒ සියල්ලට ජනතා අධිකරණයෙන් ලැබෙනු ඇත.

 ගයාන් ගාල්ලගේ