රටම වෙළාගත් කොරෝනා වසංගතය නිසා අපේ රටේ ජනතාවට ඇති වූ පීඩනය සුළුපටු නොවේ. ජනතාවට ආහාර පාන සපයා ගැනීම පවා දුෂ්කර වූ අතර ඇඳිරි නීතිය පැනවීම නිසා ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුවිණි. රටම ඇඳිරියෙන් වැසීයද්දී ජනතාව පත් වූ අසීරුතාව වළක්වා ගැනීම පිණිස රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. දේශපාලන විවේචන ස්වල්පයක් පැවැතියද ඇතැම් වැඩසටහන්වල අඩුපාඩුවක් දකින්නට ලැබුණද මේ වසංගතයට එරෙහිව කළයුතු සියල්ල හරියට ඉටු කරන්නට වර්තමාන රජය වග බලාගෙන ඇතැයි යන්න ශ්‍රී ලංකාවේ බහුතරයකගේ පිළිගැනීම වෙයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගතහොත් විවිධ ආණ්ඩු සමාජ අර්බුදවලට මුහුණ දී ඇත්තේ දේශපාලනයන්ගේ සැලසුම්වලට හා මතවාදවලට අනුවය. විශේෂඥයන්ගේ උපදේශන ලබාගැනීමේ සිරිතක් අපේ රාජ්‍ය නායකයන් තුළ තහවුරු වී තිබුණේ නැත. වර්තමාන රජය ඒ ක්‍රමය මුළුමනින්ම වෙනස් කර තිබේ. කොරෝනාව පිළිබඳ සිද්ධි දාමයේදී ජනමාධ්‍යයට කරුණු දැක්වීමට ඉදිරිපත් වන්නේ එකිනෙක ක්ෂේත්‍රවල විශේෂඥයන් මිස දේශපාලකයන් නොවේ. විපක්ෂයේ දේශපාලකයන් විවේචන ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ බවක් පෙනෙන්ට තිබිණි. එම විවේචන මහජනයාගේ සැලකිල්ලට ලක් වූ බවක් පෙනෙන්නට නැත. විනිවිදභාවයකින් යුතුව කොරෝනා මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බැවිනි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ රට තුළ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ තම ජීවනෝපාය අහිමිවූවන්ට රජය විසින් රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කටයුතු කෙරුණේ පසුගියදා සිටය. සැබැවින්ම එය අගය කළ යුතු කරුණක් බව බොහෝ දෙනා පෙන්වා දෙති. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එය මහජනතාව වෙත ලබාදීමට කටයුතු කර ඇති නමුත් පසුගියදා රෑපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ එය පවුලකට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.
“මේ කොරෝනා වසංගතය නිසා රටට ලැබුණු විශාල ප්‍රමාණයක් තිබෙනවා .අපේ රටේ ආසන්න වශයෙන් ගත්තොත් පවුල් ලක්ෂ 60ක් පමණ ඉන්නවා එතනින් පවුල් ලක්ෂ 20ක් විතර අපිට පැත්තකින් තියන්න පුළුවන් නමුත් මේ අරමුදලට හම්බ වුණු මුදල් එක්ක බැලුවම මේ රුපියල් 5000 දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.”
අනුර කුමාර දිසානායක මහතා කළ මෙම ප්‍රකාශය පිළිබඳව දේශයේ අප මෙරට දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළෙමු.
රජයේ වැඩපිළිවෙළ සාර්ථකයි
පොදුජන පෙරමුණෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ
ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට, සමගි ජන බලවේගයට ඕනෑම කතාවක් කියන්න පුළුවන් හැබැයි ක්‍රියාත්මක කරන්න බැහැ. ජනතාවට ඕන සහන සලසන්න මේ ආණ්ඩුව සමත්වෙලා ඉන්නවා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපකෂ මහතා මේ ආණ්ඩුව මේ වසංගතය සාර්ථකව සෞඛ්‍ය අංශ සමඟ එක්වෙලා පාලනය කරමින් යනවා. ජනතාවට සහන දෙනවා. රටේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යනවා. ඒවා බලාගෙන ඉන්න බැරුව රටේ ජනතාව මේ ආණ්ඩුව ගැන කලකිරීමක් ඇති කරන්න තමයි මොවුන් මේ උත්සහ කරන්නේ.
මේ කතා ඒ අයගේ බොරු උපක්‍රම
ජාතික නිදහස් පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර
ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට දේශපාලන වශයෙන් ඉතා අසරණ වෙලා ඉන්නේ රටේ ජනතාවට ඔවුන් ගැන පැහැදිමක් නැහැ. ඒක පසුගිය ජනාධිපතිවරණය තුළින්ම අපි දැක්කා. දැන් ඔවුන් කරන්නේ මේ ජනතාව අතරට එන්න උපක්‍රමයන් භාවිත කරන එක ඒක නිසා තමයි ඔවුන් මෙවැනි ප්‍රකාශයන් භාවිත කරන්නේ. වත්මන් රජය මේ දීමනාව මේවනවිට සියලු දෙනාට ලබාදී තිබෙනවා. ජනතාව මේ මොහොතේ මේ ආණ්ඩුව අසරණ කරේ නැහැ. ජනතාවත් සමඟ සිටියා. ජනතාව මේ ආණ්ඩුව එක්ක ඉන්න නිසා තමයි විවිධ දේශපාලකයි මෙවනි කතා කියන්නේ.
හිතවතුන්ට පමණක් ලබාදෙන දීමනාවක්
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉඳුනිල් තුෂාර
වර්තමාන රජය විසින් අඩු ආදයම් පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවට කිව්වා. නමුත් එය ලබාදෙන්නේ ඔවුන්ගේ හිතවතුන්ට පමණයි. මොකද ඉදිරි මැතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් තමයි ඔවුන් මේ සල්ලි ලබා දෙන්නේ පක්ෂයේ සිටිනා අසරණ ජනතාවට ඔවුන් මේ මුදල ලබාදෙන්නේ නැහැ මෙය සම්පූර්ණයෙන්ම දේශපාලණීකරණය වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සමගි ජන බලවේගය ලෙසට අපි මැතිවරණ කොමිසම දැනුම්වත් කරලා තියනවා.
සටහන: හසිත් අංජන