2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ලාබයි... ලාබයි... තෙල් බැරල් පිටින් ගත්තොත් අතට ඩොලර්

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවැති දරුණුම ආර්ථික අර්බුදය වර්තමානයේ පවතින බව විශේෂඥ අදහස වී තිබේ. නැවත යථා තත්ත්වයට පත්වන දිනයක් ගැන අනුමාන කිරීම පවා අපොහොසත්ය. කොවිඩ්-19   වෛරසයේ ‍ වසංගත තත්ත්වය සිය අණසක පතුරවන බව දිනපතා ලැබෙන තොරතුරු අනාවරණය කරයි. චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් පැන නැගුණ වෛරසයේ ‍ රටවල් දෙසීයක් ඉක්මවා සීමා මායිම් රහිතව පැතිරී යමින් තිබේ. වයිරසයේ බලපෑමෙන් චීනයට ගැලවිය නොහැකි බව මුලින් කියා සිටි රටවල් දැන් චීනයට චෝදනා එල්ල කරමින් සිටියි. ඇමරිකාව එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී. ජර්මනිය තමන්ට වූ හානියට වන්දි ගෙවන ලෙස චීනයට ඇස්තමේන්තුවක් යවා තිබේ. බි‍්‍රතාන්‍ය හා යුරෝපා රටවල් සමාජ හා ආර්ථික ප‍්‍රශ්නවලින් හෙම්බත් වී සිටින බව දැක්වෙයි. විශේෂයෙන් සෞඛ්‍ය අංශ බලවත් අර්බුදයකය. ඉක්මනින් ගැටලුව නිරාකරණය කරගැනීමට සියලු රටවල් කැපවීමෙන් ක‍්‍රියාකරමින් සිටියි. ලෝක නායකයෝ හා සංවිධාන ඉදිරියට පැමිණ සිටිති. කොවිඩ්-19 තුරන් කිරීමෙන් පසු උදාවන අලුත් ලෝක ව්‍යුහය ගැන අවධානය යොමුකර ඇති බව පෙනේ.

• බොර තෙල් මිල බිංදුවට වැටීම

පසුගිය සඳුදා ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ බොර තෙල් මිල නොසිතු සේ පහත වැටිණ. නිෂ්පාදනය පාලනය කර ගත නොහැකි වූ අතර ඉල්ලුම ඉතාම දුර්වල තැනක විය. එදින තෙල් බැරලයක මිල ඉතිහාසයේ පළමු වතාවට ඍණ අගයක් සනිටහන් කළේය. බොරතෙල් බැරලයක් ඍණ 37.63 ක් වූ අතර එම තෙල් බැරල් දාහක් මිලදී ගත් අයෙකුට තෙල් සමඟ ඇමරිකානු ඩොලර් 3763.00 ක මුදලක්ද ආපසු ලැබුණි. එයට හේතුව නිපදවන තෙල් ගබඩා කරන්නට තැනක් නොමැතිවීම බව සඳහන්ය. තෙල් පාවිච්චිය අවම වී ඇති අතර නිපදවන තෙල් මුදලක් ගෙවා කාට හෝ දෙන්නට තීරණය කිරීම විවිධ විචාරකයන් අතර හාස්‍යෝත්පාදක කතාන්දරවලටද පදනමක් වී තිබුණි.

කෙසේ වෙතත් නැවත වතාවක් ලෝකයේ පැවැත්ම ආපසු හැරීම සමඟ තෙල්වලට ඉල්ලුමක් ලැබෙනු ඇතැයි ප‍්‍රකාශ වී තිබේ. ජූනි මාසයේ ඇනවුම් වලට ගෙවිය යුතු මිල ඇ.ඩො. 22 ක් වන අතර එය පවා වසර මුල තිබුණ මිලට සාපේක්ෂව තුනෙන් එකකි.

භාණ්ඩ ප‍්‍රවාහනය හැර සියලු මගී ගුවන් යානා සහ නැව් තොටුපොළවල ගාල්කර තිබේ. ඒවාට අවශ්‍ය ඉන්ධන ඇනවුම් නොකෙරේ. කම්හල් සෑහෙන ප‍්‍රමාණයක් වැසී ඇත. අවන්හල්, ක්‍රීඩා අංගන පාළුවට ගොස් තිබේ. එක රටක නොව මුළු ලෝකයේම තත්ත්වය එබඳුය. මංමාවත් ජනයාගෙන් හිස් වී ඇත. වාහන ගමනාගමනය අවම වී තිබේ. විදුලිය නිපදවීමට පමණක් යහමින් තෙල් භාවිත කරන බව වාර්තා වෙයි. විශාල වශයෙන් රුකියා අහිමි වී ඇති අතර ඇමෙරිකාවේ රක්ෂණ සමාගම් වලට රුකියා අහිමිවීම නිසා වන්දි ගෙවන සේ ලැබී ඇති ඉල්ලුම් පත් ප‍්‍රමාණය මිලියන විසි දෙකක් බව අනාවරණය වෙයි. මෙම තත්ත්වය නැවත ආපසු හරවා ගන්නේ කෙසේද? ලෝක බලධාරීන්ගේ අවධානය එයට යොමු වී ඇත. 

• අර්බුදය හමුවේ අලුත් අවකාශ එළියට

වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය හෙයින් තුෂ්නිම්භූත වී සිටින ලෝක ප‍්‍රජාව අලුතින් හැදෙන ලෝක රාමුවට අනුගත වෙමින් තිබේ. එය තවත් වටයකින් තාක්ෂණය භාවිතයට ගැනීමක් වී ඇත. සියලු නිෂ්පාදන හා අලෙවි අංශ තාක්ෂණයට යොමු වී ඇත. මිනිස් සම්බන්ධතා අඩුවෙන්ම යෙදවෙන අතර රොබෝ තාක්ෂණයෙන් කම්හල් පණ ගැන්වෙන හා නිපදවන දේ කෙළින්ම පාරිභෝගිකයන්ට බෙදාහරින වැඩ පිළිවෙළ සැකසෙමින් තිබේ. එය පිරිවැය කළමනාකරණය කරන ක‍්‍රමයක්ද වනු ඇති අතර ඉදිරියේදී ආර්ථික දියුණුවකට හේතුවනු ඇතැයි විශ්වාස කෙරේ.

ජනයා කාර්යාලවලට නොගොස් නිවසේ සිට වැඩ කරන්නට නැඹුරු වෙමින් සිටිති. එය මුළු ලෝකයේම ස්වභාවයකි. ශ‍්‍රී ලංකාවේ පවා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෑහෙන පිරිසකට නිවසේ සිට සේවය කරන්නට නියෝග නිකුත් වී ඇත. වෛරසයේ බලපෑම තුරන් කිරීමෙන් පසු පවා මෙම නිවසේ සිට වැඩකරන ස්වභාවය තවත් භාවිත කරනු නිසැකය. එය අනෙක් වටයකින් වාසි අවාසි මතුකරන බව පෙනේ. ප‍්‍රවාහන අවශ්‍යතා සීමා වන අතර පස්වැනි පරම්පරාවේ සන්නිවේදන අවශ්‍යතා ඉහළ නගින බව දැක්වෙයි. එය සෑහෙන ආයෝජනයක් කළ යුතු පියවරකි. පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය තුළින් රොබෝ තාක්ෂණයට ඉඩලැබෙන අතර රියැදුරන් රහිත වාහන භාවිතයටද අවස්ථාව ලැබේ. නමුත් එම ආයෝජනය සඳහා ධනය ඇති රටවල් ගණන සීමිතය.

අනෙක් අතට නිවෙසේ සිට වැඩ කරන විට ස්මාට් ඇඟළුම් අනවශ්‍යය. කැෂුවල් නැත්නම් සරල ඇඳුම් වෙනුවෙන් ලෝකයේ ඉල්ලුම ඉහළ යමින් තිබේ. මෝස්තර නිර්මාණය හා ඉහළම සළුපිළිවලින් කරන ඇඳුම් නිෂ්පාදනවලට ඇති ඉල්ලුම වේගයෙන් අඩුවිය හැකිය. එය දැනට පවතින ඇඟළුම් කර්මාන්තයේ ප‍්‍රතිපත්ති වෙනස්කළ යුතු අවස්ථාවකි.

මෙවැනි අංශ ගැන පුළුල් අවධානයක් යොමුකිරීම අවශ්‍යය. නවීන ලෝක අවශ්‍යතා අනුව ඉක්මනින් හැඩ ගැසෙන්නට නොහැකි රටවල් තවත් වටයකින් අන්තර්ජාතිකව මුළු ගැන්විය හැකි අතර එම රටවල ජනී ජනයා අතර දුප්පත්කම වැඩිවිය හැකි බව සඳහන් කරන්නට අවශ්‍යය. දියුණු වෙමින් පැවැති රටවල් ලෝකයේ අනෙක් රටවලට ගොස් කරන රැකියා වෙනුවෙන් ඇති ඉල්ලුම අවම වනු ඇති අතර සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාර අංශයට පමණක් ඉල්ලුමක් තිබෙන්නට බැරි නැත.

• බැංකු හා මූල්‍ය අංශයෙහි දැවැන්ත පෙරළියක්

සමාජ දුරස්ථකරණය සමඟ බැංකු හා මුල්‍ය ක‍්‍රමය තුළ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් තිබේ. නොයෙක් රටවල් සිය ප‍්‍රතිපත්ති පොලී අනුපාත බිංදුවට බස්සා තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තැන්පත් හා ණය පොලිය සෑහෙන පරිවර්තනයකට මුහුණපානු ඇත. අලුත් අංශවලට ධනය ආයෝජනය කළ හැකි අලුත් ධනවත් පැලැන්තියක් බිහිවනු ඇත. ඔවුන් අවධානය පහවූ පසු අලුත් ආයෝජනය අරමුණු කරගෙන ලෝකය පුරා සොයා බලනු සැකයක් නැත.

බැංකු ගනුදෙනු ඩිජිටල්කරණය වීම සෑහෙන විප්ලවයකි. ලෝකය පුරා බැංකු ටෙලර් යන්ත‍්‍රවල ගනුදෙනු සියයට පනහකින් පමණ අඩුවී ඇත. අන්තර් ජාල ගනුදෙනු ඉහළටම නැග තිබේ. ලෝක ආර්ථික සංසදය නිකුත්කළ පර්යේෂණ පත‍්‍රිකාවකට අනුව රටවල් තිස් එකක් අලුතින් ඩිජිටල් බැංකු සේවාවලට පසුගිය මාසය දෙක තුළ අනුමැතිය  දී තිබේ. මුදල් පරිහරණයක් නැති සමාජය වේගයෙන් වර්ධනය වනු ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ආරම්භයේදී 2020 ඩිජිටල් ගනුදෙනු වසර සේ නම් කළ අතර ජනතාව එයට නැඹුරු කරනු සඳහා තවත් දිරිගැන්වීම් හඳුන්වාදීම මෙම අවස්ථාවේදී කළ හැකිය. තවමත් මෙරට බැංකු මෙම අර්බුදකාරී අවස්ථාවේ බැංකු විවෘත නොවන පසුබිමක පවා අලුත් ඩිජිටල් අවසරය ගැනීමට ගිණුම ඇති ශාඛාවට එන සේ දන්වන අතර අඩුම තරමින් ගනුදෙනුකරු හඳුනාගෙන තාවකාලික සීමාවලට යටත්ව හෝ දුරස්ථ අනුමැතිය නිකුත් කිරීම ගැන අවධානය යොමු කිරීම සුදුසුය. 

• ජාත්‍යන්තර සංවිධාන වලින් සහන

ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අන්තර් ජාතික මූල්‍ය අංශ ආර්ථික අර්බුදයකින් ලෝකය ගලවා ගැනීමට දැවැන්ත යෝජනා ඉදිරිපත් කර ඇත. සියලු බලවත් රටවල් කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් ප‍්‍රතිමූල්‍ය පහසුකම් සපයන්නට පියවර ගෙන තිබේ. දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු රටවැසියන්ට හදිසි ආධාර මුදල් බෙදාදෙන පියවර ගෙන ඇති බව දැක්වෙයි. කෙසේ කොයි ආකාරයට කරන නමුත් මෙම ධනය අලුතින් පරිහරණයට එන බව පෙන්වා දිය යුතුය. මිල දී ගැනීමේ ශක්තිය ඇති කරයි. දැනට පවතින තත්ත්වය අනුව වෙළඳ පොළ අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් පමණක් අවධානය යොමු කර තිබේ. නිතිපතා මිලදී ගන්නා අත්‍යවශ්‍ය නොවන එහෙත් ජන ජීවිතයට ගැලපෙන දේ අලෙවිය නතර වී ඇත. එහෙත් තත්ත්වය සමනය වූ පසු තමන්ගේ වියදම් නොවූ සියලු මුදල් අලුත් දේ මිල දී ගැනීමට වැය කරන්නට පාරිභෝගිකයන් නැඹුරුවනු ඇත. එය වෙළෙඳාම ගැන අලුත් අවකාශයකි.

තාක්ෂණය, බලශක්තිය, ප‍්‍රවාහනය, නිෂ්පාදන අංශ, පරිභෝජනය, බැංකු හා මුල්‍ය ඇතුළු සියලු අංශවල සිදුවිය හැකි වෙනස්කම් ගැන අවධානය ඉතාම වැදගත්ය. ජන සමාජයේ සියලු දෙනා රෝගය ගැන අනාරක්ෂිත අදහසක සිටිති. භීතිය පැතිරවීම පමණක් සුදුසු නැත. අලුත් අවස්ථා සමග පිබිදෙන නව සමාජ ව්‍යුහය ගැන හිතන්නට ඉඩක් සැපයීම ද වැදගත්ය. 

 ගාමිණී සරත් ගොඩකන්ද