- ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර
කොරෝනා විපත ආර්ථික දේශපාලන හා සංකීර්ණ සමාජ අර්බුදයකට මඟ පාදා තිබේ. මෙම අර්බුදයෙන් ගොඩ යා හැක්කේ කෙසේද යන්න ගැන අපි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අදහස් විමසීමු. මේ සටහන තුළ ඔහුගේ ප්‍රතිචාරය සඳහන්ය.
ප්‍රශ්නය:- කොරෝනා වසංගතය විපතක් මෙන්ම ව්‍යසනයක් බවට පත්ව තිබෙනවා. මෙය ජාතික අර්බුදයක් නේද?
පිළිතුර:- ජාතික පමණක් නොවේ, ගෝලීය අර්බුදයක්. ලෝකයේ මහා බලවත් රටවල් පවා අඩාලවෙලා. ආර්ථිකයන් බිඳ වැටිල. අපේ රටටත් වඩා සමහර ප්‍රබල රටවල් අර්බුදයකයි ඉන්නෙ.
ප්‍රශ්නය:- කොරෝනාව නිසා ජන ජීවිතය අවුල් වී තිබෙනවා. වෘත්තීයමය ආර්ථිකමය වශයෙන් ගත්කල අඩාල වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනව මොනවාද?
පිළිතුර:- ඔව්. ඇඟලුම් කර්මාන්තය ගන්න, පසුගිය කාලේ ඒකෙන් ගෙනාපු අමුද්‍රව්‍ය ටිකක් තිබෙනවා මාසෙකට දෙකකට. ඒ හැර අමුද්‍රව්‍ය නැහැ. යුරෝපයට නිපදවූ ඇඟලුම් විකුණගන්න බැරිව ගොඩගැහිලා. විකුණපු ඇඟලුම්වලත් මුදල් ගෙන්වාගන්න බැරිව හිරවෙලා තිබෙනවා. ඇඟලුම් කියන්නේ අපේ ප්‍රධානම අපනයන ආදායම් මාර්ගයක්. ඒකයි තිබෙන අර්බුදය.
ප්‍රශ්නය:- ඇඟලුම් වගේම මෙරට සංචාරක ක්ෂේත්‍රයත් අඩාලයි?
පිළිතුර:- අප රටට වසරකට ඇමෙරිකා ඩොලර් බිලියන 4.2ක ආදායමක් ගේන අංශයක් ඒක. ඒ අංශයත් අඩාලයි. මේ අවුරුද්ද අවසන් වනතුරු මේ තත්ත්වය පවතීවි කියලා හිතෙනවා.
ප්‍රශ්නය:- අපනයන ආදායම් අහිමි වෙනවා. සංචාරක ක්ෂේත්‍රය අඩාල වෙනවා. ඊළඟට විදේශ රැකියා අංශයත් විශාල අර්බුදයක නේද?
පිළිතුර:- අප රටෙන් පිටවී ගොස් විදේශ රටවල රක්ෂා කරන අය ලක්ෂ 15ක් ඉන්නව. ඒ අය මාසෙකට ඇමෙරිකන් ඩොලර් මිලියන 450ත් 500ත් විතර රටට එවනව. ඒ සියල්ලටත් ලොකු ප්‍රශ්නයක් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ප්‍රශ්නය:- අප රටේ තත්ත්වය ගත්තම කොරෝනා ව්‍යාප්තිය නිසා ප්‍රධාන ආර්ථික මර්මස්ථානය වන බස්නාහිර පළාතම වසා දමලා. මේක ආර්ථික අර්බුදය උග්‍ර කරවන තත්ත්වයක් බව පෙනෙනවා?
පිළිතුර:- ඔව්. රටේ ජාතික ආදායමින් 50%ක් තිබෙන්නේ බස්නාහිර පළාතෙ කොළඹ ගම්පහ වගේ දිස්ත්‍රික්කවල 20% ජනතාව අතේ. ඉතින් මේ පළාත් අක්‍රිය වුණාම ජාතික ආර්ථිකයේ හදගැස්මට ඒක තදින් බලපානවා.
ප්‍රශ්නය:- දැන්ම මේ නගර විවෘත කරන්න බැරිද?
පිළිතුර:- ඒක සිද්ධවෙන්නෙ වෛද්‍ය උපදෙස් මතයි. ඒ හැර විකල්පයක් නැහැ.
ප්‍රශ්නය:- හොඳයි මේ තිබෙන ප්‍රශ්නවලට අපට තිබෙන විසඳුම කුමක්ද?
පිළිතුර:- දේශීය නිෂ්පාදන අංශ වඩාත් සක්‍රිය කිරීමයි කළ යුත්තේ. ඒකයි රජය ජනතාවට කිව්වෙ පුළුවන් තරම් වගා කරන්න කියලා. අපට රට තුළ ආහාර ද්‍රව්‍ය නිපදවා ගන්න පුළුවන් බිමක් තිබෙනව. පසුගිය මහ කන්නෙ ඉතාම සාර්ථකයි. වැස්ස වැටුණොත් ආර්ථික වර්ධනයක් පවා අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා අපි ලෝකය දිහා බලන් ඉන්නෙ නැතුව රට තුළ හැකිතාක් අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න බලන්න ඕනෑ. ඉදිරියේදී මුළු ලෝකයෙන්ම ආහාර සඳහා විශාල ඉල්ලුමක් එනව. ඒකට දැන්ම අපිත් සූදානම් වෙන්න ඕනෑ. දැන් තියෙන හැටියට චීනය වගේ බලවත් රටවල ආර්ථික වර්ධනය 2%ක් වෙන්නත් පුළුවන් කියල කියනවා.
ප්‍රශ්නය:- ලංකාවෙ ආර්ථික වර්ධනය ඍණ මට්ටමට ඒවි කියලා මහ බැංකුවෙන් ඊයෙ පෙරේදා ප්‍රකාශ වුණා. ඒක වේවිද?
පිළිතුර:- මට පෙනෙන විදියට මේ වසරේ ආර්ථිකය ඍණ වෙන්නෙ නැහැ. හොඳින් වැසි වැටුණොත් කෘෂි අංශයෙන්ම සෑහෙන වර්ධනයක් එනව. ඉන්ධන වියදම අඩුවෙලා තිබෙනව 1/3කින්. ජල විදුලි නිෂ්පාදනයත් ඉහළ යාවි. අපි අනවශ්‍ය ආනයන කාලෙකට නැවැත්තුව. රුපියලත් පාලනය කරමින් ඉන්නව. ඒ නිසා ආර්ථිකය ඍණ වෙන්නෙ නැහැ. ඒ වගේම අපේ කෘෂි ව්‍යාපාරත් සෙසු දේශීය ව්‍යාපාරත් කාර්යක්ෂමව වැඩ කළොත් අපිට කොරෝනා විපත මැද්දෙත් ආර්ථික වර්ධනයත් ලැබෙනවා.
ප්‍රශ්නය:- අපට ආදායම ගෙනදුන් අපනයන ආර්ථිකය කඩාවැටිලා තිබෙද්දී ඒ ආදායම් වර්ධනයට පාරක් තිබෙනවද?
පිළිතුර:- දැන් බලන්න ඇඟලුම් ඉල්ලුම කඩා වැටිලා. ඒත් යුරෝපයේ අපට සෞඛ්‍ය සනීපාරක්ෂක උපකරණ ඇඟළුම්වලට ඇනවුම් ලැබෙනව. (මාස්ක්) වලට විශාල ඇණවුම් ලැබිල තියෙනව. ඒ අතරෙ ආනයන සීමාව නිසා වාහන ආදිය ගෙන ඒම නැවතිලා. මම දන්න විදියට තවත් අවුරුදු 2 ½කට සෑහෙන්න වාහන ගෙනාපුව රටේ ගොඩගැහිල තිබෙනව. ඒ විදියට ආනයනය පාලනය වුණාම විදේශ විනිමයත් ආරක්ෂා වෙනවා.
ප්‍රශ්නය:- ඕව පාලනය කළාට අපට විශාල විදේශ ණය තොගයක් ගෙවන්න තිබෙනවා?
පිළිතුර:- ඒක ඇත්ත. රාජ්‍ය මට්ටමින් ජාත්‍යන්තර ආයතන මට්ටමින් ගන්න ණය තිබෙනව. පෞද්ගලික ආයෝජනයන්ගේ ණය මුදල් තිබෙනව. මේ අවුරුද්දට ඔය පෞද්ගලික ණය කියන්නෙ භාණ්ඩාගාර බැඳුම්කර හා ස්වෛරීත්ව බැඳුම්කරවලට ගෙවන්න තිබෙනව ඇමෙරිකන් ඩොලර් මිලියන 1700ක්. ඒ වගේම තවත් ඩොලර් මිලියන 1500ක් විතර ගෙවන්න තිබෙනව රාජ්‍ය හා ආයතන මට්ටමින් ගත්ත ණය. මේ දෙක එකතුවුණාම ඩොලර් මිලියන 3200 විතර ගෙවිය යුතුයි. ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් අපි සමහර ණය ගෙවීම් කල් දමන්න අවසර ඉල්ලල තිබෙනවා. සහන කාලයන් ඉල්ලල තිබෙනවා.
ප්‍රශ්නය:- ලෝක බැංකුව වගේ ප්‍රධාන මූල්‍ය ආයතන අපට උදව්වක් කළේ නැත්ද?
පිළිතුර:- ඒ අය උදව් කළා. දැනට තිබෙන ව්‍යාපෘතිවලින් ලෝක බැංකුව අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් දැනටමත් වෙන්කරල තිබෙනව. දැන් අපි ආසියානු සංවර්ධන බැංකුව සමගත් කතා කරමින් සිටිනව. එතනිනුත් ඒ වගේම මුදල් ප්‍රමාණයක් ලැබෙනව.
ප්‍රශ්නය:- මේ අර්බුදයෙන් ගොඩ එන්න රජය විදේශීය ණය ආධාර හා පහසුකම් කොපමණ අපේක්ෂා කරනවද?
පිළිතුර:- විදේශ ආධාරම නෙවෙයි. ණය ගෙවීමට සහන කාලයක් ලබාදීම. රාජ්‍ය මට්ටමින් ගත් ණය ගෙවීමට ඒ ණයට සාපේක්ෂව තවත් අධාරයක් ලබාගැනීම වගේ දේවල් කෙරුණොත් හොඳයි. එසේ වුණොත් අපිට ආර්ථිකය සෑහෙන පමණ ගොඩගන්න පුළුවනි. මූල්‍යමය වශයෙන් ඩොලර් මිලියන 200ක්වත් ඕන කරනවා.
ප්‍රශ්නය:- දැන් මේ ආර්ථික ප්‍රශ්නවලින් ඔබ්බට ගිය මානව ප්‍රශ්න ගැන අවධානය දක්වමු. විදේශීය රටවල සිරවී සිටින විශාල ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නවා. ඔවුන් මේ රටට ගේනන කරන වැඩපිළිවෙළ කුමක්ද?
පිළිතුර:- දැනටමත් ඒක ආරම්භ වෙලා. ඉන්දියාව පකිස්ථානය වගේ රටවලින් ළමයි මේ රටට ආව. මගේ දැනුමේ හැටියට තවත් ළමයි 700ක් විතර ඉතා ඉක්මණින් මේ රටට ගේනන අපි ශ්‍රීලන්කන් ගුවන් යානා රටවල් කිහිපයකට යවන්න අපේක්ෂා කරනවා.
ප්‍රශ්නය:- පසුගියදා අපි දුටුව ඔබ ඔබේ මාසික වැටුපත් මෙරට වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කළා. සෙසු රාජ්‍ය සේවකයන්ගෙනුත් ඒ ගැන ඉල්ලීමක් කළා. ඇයි ඒ?
පිළිතුර:- මේක මුලින් පටන් ගත්තා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහත්මය. මේ මගින් මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ නැහැ මාසෙක වැටුපම දෙන්න කියල. පුළුවන් ප්‍රතිශතයක් දුන්නොත් අපේ රටේ විශාල ඉතිරියක් ඇති වෙනව. ආර්ථික බරත් සැහැල්ලු වෙනව. වසරකට මේ රටේ රාජ්‍ය සේවක වැටුප් බිල පමණක් රුපියල් බිලියන 800ක්. ඒකෙන් යම් ගණනක් මේ විදියට ඉතුරු කළොත් ඒක ලොකු දෙයක්. මම පෞද්ගලිකව රාජ්‍ය සේවකයන්ගෙන් ආයාචනයක් කරන්න හිතන් ඉන්නව පුළුවන් අය මේකට දායක වෙන්න කියල.
ප්‍රශ්නය:- හොඳයි, දැන් රටේ හැමතැනම කතාවෙන ඊළඟ කරුණ තමයි මහ මැතිවරණය. ඔබ මෙරට පුරවැසියකු හැටියට බැලුවම රටේ මහ මැතිවරණයක් තියන්න සුදුසු පරිසරයක් තිබෙනවද?
පිළිතුර:- මහ මැතිවරණය ජනාධිපති කාර්යාලයට අයිති කාර්යයක් නෙවෙයි. ඒක කළ යුත්තේ මැතිවරණ කොමිසමයි. අපි ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව විසුරුවා හැරිය. ඒ වෙනකොට බරපතළ විදියට කොරෝනා විපතක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ මැතිවරණයට නාමයෝජනා ගත්ත. ඒකත් ඉවර වුණාට පස්සෙ කොරෝනා අර්බුදය උග්‍ර තත්ත්වයට ආව. මෙතැනදී මැතිවරණ කොමිසමත් ක්‍රියාකළ යුත්තේ වෛද්‍ය අංශ උපදෙස් මතයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙවත් වෙනත් නීති පොතකවත් මේ වගේ හදිසි විපතක් ආවොත් කළ යුතුදේ කියල නැහැ.
ප්‍රශ්නය:- මේ ඡන්දය මනාප මත පදනම් වුණ එකක්. ඉතින් රැස්වීම් ආදිය තියන්නෙ නැතුව ඡන්දයක් කරන්නෙ කොහොමද?
පිළිතුර:- ඔව්. මේ තත්ත්වය විශේෂ තත්ත්වයක්. රැස්වීම් බැහැ. පෞද්ගලික ප්‍රවර්ධන කටයුතු කරන්න බැහැ. කොහොමටත් මැතිවරණ කොමිසම කියල තිබෙන විදියට අවදානම් නොවන කලාප අධි අවදානම් කලාප ආදිය ගැන අධ්‍යයනය කරල සුදුසු පියවරක් ගනීවි. රාජ්‍ය සේවය නම් ඡන්දයට සූදානම්.
ප්‍රශ්නය:- එතකොට ජනාධිපතිතුමාට මේ ඡන්දය ගැන තිබෙන වගකීම කුමක්ද?
පිළිතුර:- එතුමා එතුමාගේ කටයුතු කරලා ඉවරයි. දැන් එතුමාට කරන්න තිබෙන්නේ ජූනි 20 හරි කවද හරි මහ ඡන්දය තිබ්බම ඊළඟට අලුත් පාර්ලිමේන්තුව කැඳවන දිනය ගැසට් කිරීම පමණයි. ඒකෙ වගකීම වෙන කාටවත් පැවරිලා නැහැ. ජනාධිපතිතුමා තමයි නව පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ.
I රන්ජිත් ආනන්ද ජයසිංහ