2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ඇඳිරිය කඩා කසිප්පු බොන බේබද්දෝ

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

“මාසෙකින් අරක්කු ටිකක් බොන්නේ..... මෙච්චරකල් බිව්වේ කසිප්පු. පෝලිමේ නැතුවනම් අද ගන්න වෙන්නෑ”
කොරෝනා වසංගතය හමුවේ මාසයක පමණ කාලයක් සුරාසැල් වසා තබා හදිසියේ විවෘත කෙරුණු පසුගිය 20 දා ඒ ඉදිරිපිට පෝලිම් ගැසුණු පාරිභෝගිකයන් අතරින් අයෙකු  එසේ කියනවා අසන්නට ලැබිණ.

ලොව ප්‍රබල රාජ්‍යයන් පවා දණගස්වන්නට සමත් වූ කොරෝනා  වසංගතය හමුවේ මහජනතාවගේ  ජීවිත ආරක්ෂාව උදෙසා අපේ රටේ ආණ්ඩුව ප්‍රධාන සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ විසින් නොයෙක් ක්‍රමවේද අනුගමනය කරමින් සිටී. ඒ අතර ඇඳිරිනීතිය  ක්‍රියත්මක කිරීම හා සමාජ දුරස්ථබව රැකීම ප්‍රමුඛ විය. මේ අතර දිවයින පුරා සුරාසැල් වසාතැබීමට නියෝග කෙරුණේ තවත් උපක්‍රමයක් ලෙසය. ඊට පාදක වී තිබුණේ මත්පැන් පානය මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවීම හා එය කොරෝනා වෛරසය ආසදනය වීමට පහසු හේතුවක් වීමයි.

හදිසියේ වසාදැමූ සුරාසැල් යළිත් වරක් විවෘත කෙරුණු අවස්ථාවේ ඒවා ඉදිරිපිට පෝලිම් ගැසුණු පාරිභෝගිකයෝ සිටියහ. එය සුරාවට ඇබ්බැහිවූ මිනිසුන්ගේ නූගත් හැසිරීම හා මානසිකත්වය මනාව පිළිබිඹු කළේය. සුරාසැල්  වසා තබා රජය විසින් ගත්තා වූ ක්‍රියාමාර්ගය  බොහෝ  දුරට සාර්ථක වුවද ඇඳිරිනීතිය සමඟ අලුත් අවුරුද්ද හා දීර්ඝ නිවාඩුවක් ලැබුණු  නිසාදෝ රටපුරාම පාහේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා වෙළෙඳාම පිළිබඳව තොරතුරු අසන්නට ලැබිණ.

බලපත්‍රලාභි සුරාසැල් හරහා දිනකට ආණ්ඩුවට ලැබෙන රුපියල් මිලියන 15 කට අධික බදු ආදායම අතහැර මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා රජය  සුරාසැල්  වසාතැබීමට තීරණය කළද ජාවාරම්කරුවන් ඉන් ප්‍රයෝජන ගන්නට වෙහෙසුණෝය. ඒ අනූව තැන තැන සිදුකෙරුණු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා වෙළෙඳාමට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව විසින් සුවිශේෂී මෙහෙයුම් දියත් කරන්නට වූහ.

විශේෂයෙන් සුරාසැල් වසාතැබීම හරහා දිවයින වටා මත්පැන් හිඟයක් ඇති වුවද ඊටවඩා අසන්නට ලැබුණේ වලංගු මත්පැන් බෝතල් වැඩිමිලට විකිණීම, නීතිවිරෝධී  මත්පැන් නිෂ්පාදනය, වෙළෙඳාම, ප්‍රවාහනය ආදී සිදුවීම් ගැනය.

ඊට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිසිය, පොලිස් විශේෂ කාර්යබලකාය හා නාවික හමුදාව විසින්  මෙහෙයුම් සිදුකරන්නට වූහ. එහිදී  වාර්තා  වූ සිදුවීම් අතර වාරියපොල පොලිසියේ නිලධාරියකුට පොලිස්ස්ථානය තුළදීම පහරදීම විශේෂය. එම නිලධාරියා පසුගිය  දිනවලදී නීතිවිරෝධී  මත්පැන් වැටලීම්වලට දායකවී තිබිණ. ඔහුට අවස්ථා ගණනාවකදී කසිප්පු ජාවාරම්කරුවකුගෙන් දුරකතන ඇමතුම් ලැබී තිබුණේ තමා අත්අඩංගුවට නොගන්නා ලෙස බලකරමිනි. මේ අතර ප්‍රදේශයේ හිමිනමක් විසින්ද එම කාරණයට දුරකතන ඇම්තුම් ලබාදී තිබිණි.

මේ අතර පසුගිය  20 වැනිදා මෙම නිලධාරියාට පොලිස් ස්ථානයේදීම අයෙකු පහරදී තිබෙන අතර පෙරකී  හිමිනමද එතැන සිට පරුෂ වචනයෙන් බැණවැදී ඇත. පහරකෑ නිලධාරියා මේවනවිට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

රජයේ අනුමත මත්පැන් බෝතල් තොගයක් වැඩිමිලට අලෙවිකිරීමට මෝටර් රථයක රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකුද නීතියේ රැහැනට කොටුවී තිබිණ. එසේම දැදිගම ප්‍රදේශයේ නිවසක පවත්වාගන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනස්ථානයක් වටලා ගෝඩා මිලිලීටර් 900,000ක්, බෝර 12 තුවක්කුවක් ඇතුළු උපකරණ  රාශියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අයුරින්ම මත්පැන්  නිෂ්පාදනය කළ නිවසක් වැටලීමට හිඟුරක්ගොඩ පොලිසිය සමත්ව  තිබිණ. එහිදී  මත්පැන්  නිෂ්පාදනයට යොදාගත් උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගැනිණ. මේ අතර බියර් බෝතල් 100ක් අරක්කු බෝතල්  150ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගලේවෙල පොලිසිය  මගින්ද අරක්කු  බෝතල්  50ක් හා බියර් බෝතල් 150ක් සමග අයෙක් පැල්මඩුල්ල ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර  වාර්තා වූයේ සිවිල් ආර්කෂක භටයකු ඇතුළු 14 දෙනකු එක්වී නීතිවිරෝධී  මත්පැන්  නිෂ්පාදනය කිරීමේ සිද්ධියකි. කිලිනොච්චිය  කල්ආරැහිදී කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට ඔවුන් කොටුවී තිබුණි. මේ අය නිවාස තුළ  මෙන්ම කැලෑබදවද මත්පැන්  පෙරා තිබිණි. මොවුන්  සතුව තිබී නීතිවිරෝධී මත්පැන් හා හෙරෝයින් මෙන්ම උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර මත්පැන් බෙදීමට යොදාගත් යතුරුපැදි කිහිපයක්ද වේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ගල්කිරියාගම පුබ්බෝගමදී කසිප්පු  පෙරූ සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ ගෝඩා  හා උපකරණ රශියක් සමගිනි. මෙහිදී පොළොව යට වළදමා තිබූ ගෝඩා  බැරල් ගොඩගැනීමටත් නිලධාරීන්  සමතව ඇත.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය මුවාවෙන් ලොරියක රා ප්‍රවාහනය කළ අයෙක් රා බැරල් එකොලහක් සමඟ බේරැවලදී කොටුවී තිබිණ.

මේ අතර ඇඳිරි නීතිය පවතින විට කසිප්පු  පෙරූ විසිදෙදෙනෙක් ඇල්පිටිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මේ සිදුවීම්  ආශ්‍රිතව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ කොරෝනා වසංගතය ඇඳිරි නීතිය හා අලුත් අවුරුදු සමය තුළදී  නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවි කිරීමට ඉතා  සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය. මේ සමය තුළදී  සුරාබදු දෙපාර්තමේන්තුව පමණක් වැටලීම් 600 ඉක්මවා සිදුකර තිබේ.

එහිදී  නවීන පන්නයේ මෝටරථ ඇතුළු උපකරණ රැසක් හා සැකකරුවන් විශාල පිරිසක්ද අත්අඩංගුවට ගෙනඇත. මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මේ කාලසීමාව තුළදී  ගෘහස්ථව නීතිවිරෝධී මත්පැන් හා කසිප්පු නිෂ්පාදනය ඉහළගොස් ඇති බවත් ආර්කෂක අංශ විසින් ඊට එරෙහි වැටලීම නිතිපතා සිදුකරන බවත්ය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර