2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

පන්දහසේ සහන මල්ලටත් ගෝරි

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ ඉතිහාසයේ විශාලතම මහජන සහනාධාර ලබාදීමේ මෙහෙයුම පසුගියේ නිමාවට පත්විය. ගැටුම් අර්බුද මැද ක්‍රියාත්මක වුවද මෙය ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික වැඩසටහනක් බව කිවයුතුය.  අත්‍යාවශ්‍ය සේවා සඳහා වන කාර්යයසාධන බලකායෙහි මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන පිළිබඳ පසු විපරමක් කිරීමට අප අදහස් කළේ එබැවිණි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ අග්‍රාමාත්‍ය කාර්යාලය ලබා දුන් චක්‍රලේඛ උපදෙස් අනුවය.  ග්‍රාමීය කමිටු මගින් සුදුසු ප්‍රතිලාභින් තේරීමේ කටයුතු මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකර තිබුණි. ඒ අනුව දිවයින පුරා ග්‍රාමීය කමිටු 14,009 ක් විසින් ප්‍රතිලාභ ලැබිය යුත්තන් නිර්දේශ කරන ලදී. ඒ අනුව සමෘද්ධි නිලධාරින් හා ග්‍රාම නිලධාරින් මහත් කැපවීමකින් යුතුව මෙම කාර් යෙහි යෙදී සිටින ආකාරය රට පුරා දැකගත හැකි විය. ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම 
පර්යේෂණ නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන්හ.

නමුත් ප්‍රාදේශිය දේශපාලකයන්ගේ අත පෙවීම හේතුවෙන් රට පුරා විවිධ ස්ථානවල ගැටලු මෙන්ම ගැටුම් පවා ඇතිවී තිබිණි. රජයෙන් ලබාදෙන පන්දහසේ ලකුණු තමන් සන්තක කර ගැනීමට බොහෝ දේශපාලන ක්‍රියාකාරීහු උත්සුක වූහ. තමන්ගේ ලයිස්තු සකසා ඒවාට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව පෙන්වා ලකුණු දමා ගැනීමට පිරිස රටපුරා සිටියෝය. කෙසේ වෙතත් රජය කිවේ‍ ග්‍රාමියව තේරීපත් වූ සියලු දේශපාලන පක්ෂවල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ට මෙන්ම මන්ත්‍රීවරු නොවන දේශපාලන ක්‍රියාකාරිකයන්ට ද මීට සම්බන්ධව වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ බවයි. එහෙත් සැබැවින් සිදුවූයේ රාජ්‍ය නිලධාරීන් මෙම පිරිසේ මැදිහත්වීම හේතුවෙන් අපහසුතාවට හා අසරණ බවට පත්වීමයි. 

රටෙහි එක් ප්‍රදේශයක ඇති වූ ව්‍යසනයකදී මෙන් නොව මුළු ශ්‍රී ලංකාවටම බලපා ඇති ව්‍යසනයේ දී ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සුවිශේෂී බව කිවයුතුය. මෙවන් වැඩ පිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කළ එකම රට ශ්‍රී ලංකාව බවද අප අමතක කළයුතු නැත. මේ වනවිට රු 5000/- ක සහනාධාරය පවුල් ලක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයකට ලැබී ඇත. එසේම මේ සම්බන්ධව ඉදිරිපත් වූ විශාල අභියාචනා ප්‍රමාණයකට සාර්ථක ප්‍රතිචාර දැක්වීමට රජය සමත්විය.
මෙය ආරම්භයේ දී රාජ්‍ය නිලධාරීන් අතර අතිවූ මතභේද ද මෙම කතාවේ එක් පරිච්ඡේදයකි. එම නිසාම එයද අප සිහිපත් කළයුතුව තිබේ.

චක්‍රලේඛ ගැටලුවක් මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව ගෙවීම් කටයුතුවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් අප්‍රේල් 16 වන දා තීරණය කළේය. පසුව එය සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට පැවරීමට සිදුවිය. එහෙත් අවසානයේ දී බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛ අනුව පමණක් කටයුතු කිරීමට දේපාර්ශවයම එකඟ වීමෙන් පසු ග්‍රාම නිලධාරීහු නැවත මෙම වැඩසටහනට සහයදීමට එක්වුහ. 

කෙසේ වෙතත් වැඩසටහන අතරතුර නිකුත් වූ චක්‍රලේඛ කිහිපයක් නිසාවෙන් තමන් විවිධ අපසුතාවන්ට මුහුණදුන් බව අප කළ විමසීමක දී ග්‍රාම නිලධාරීන් කිහිප දෙනෙක්ම පැවසූහ. ගෘහමූලික ලයිස්තු අනුව සහනාධාර ලබාදීම සිදුකෙරුනු අතර පසුව එම නිවාස වලම සිටින අනු පවුල් සඳහා සහනාධාර ලබාදීමට නිකුත් කළ චක්‍රලේඛය එවැන්නකි. විශාල අභියාචනා ප්‍රමාණයක් ලැබීමට හේතුවූයේ මෙම තත්ත්වයයි. එසේම පෞද්ගලික ස්ථානවල සහනාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක නොකරන ලෙසට අවසන් මොහොතේ නිකුත් වූ චක්‍රලේඛය නිසාද ඇතැම් ප්‍රදේශවල ගැටලු මතුවී තිබිණි. මෙම චක්‍රලේඛවල තීරණ යහපත් නමුත් ඒවා නිකුත්වීම අවසන් මොහොතේ සිදුවීම ගැටලුව වූ බව නිලධාරීහු පෙන්වාදෙති.

මේ අතරතුර සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් ද වාර්තා පළවිය. මාතලේ අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුස්සැල්ල ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධී සංවර්ධන නිලධාරිවරයාට පහරදීම ඉන් එක් සිදුවීමකි. මෙවන් ගැටුම් කිහිපයක් වාර්තාවුවද සමස්තයක් ලෙස වැඩසටහන සාමකාමී වූ සිදුවූ බව කිව යුතුය. අප කළ සොයා බැලීමට අනුව බොහෝ ස්ථානවල ගැටලු ඇතිවී ඇත්තේ අනවබෝධය හේතුවෙනි. මාධ්‍ය ඔස්සේ සහනාධාර හිමිවන වෘත්තීන් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් එකම පවුලේ කිහිපදෙනකු සහනාධාර ලබාගැනීමට සිතා නිලධාරීන් හමුවට පැමිණ තිබේ. එසේම ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් මැදිහත්වී තම හිතවාදීන්ට සහනාධාර ලබාදීමට උත්සාහගෙන තිබේ. මෙවන් අවස්ථා බොහොමයක් පොලිස් මැදිහත්වීම් හරහා නිරාකරණය වී ඇත. 

මෙම සහනාධාර සම්බන්ධව යම් දේශපාලන කියවීමක් ද වූ බැව් සිහි කළ යුතුය. ආණ්ඩු පාර්ශ්වය විසින් මෙම වැඩසටහන වර්ණනා කරගන්නා අතර විපක්ෂ කණඩායමේ නියෝජන කරන පිරිස්වල විවේචන මීට එල්ල විය. බල දේශපාලනික ප්‍රවේශයක් යටතේ වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සිදුකල චෝදනාව එවැන්නකි. එහිදී ඔහු රු. 5,000 ක ආධාර මුදල ලබාදීම සඳහා ග්‍රාම නිලධාරීවරු යෙදවූව ද දේශපාලන අතපෙවීම් නිසා මුලදී ග්‍රාම නිලධාරීන් විරෝධය පාමින් එම වැඩපිළිවෙලින් ඉවත්වූ බවත් මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් යොදවමින් ආණ්ඩුව සම්පූර්ණ දේශපාලන කටයුත්තක් කළබවත් පවසා ඇත. 

 කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟම රට මුහුණ දුන් සෞඛ්‍ය ගැටලුව හමුවේ ජනතාව ක්‍රමයෙන් මුහුණපානු ලබන ආර්ථික ඛේදවාචකය රු 5000 වටා ගොඩනැගන සියලු කරුණු වලින් පෙනීයන වන කිවයුතුය. මේ වනවිටත් රට පුරා දෛනික ආදායම් ලබන්නන් කබලෙන් ලිපට වැටී ඇතිබව කීම අසාධාරණ නැත.  මේසන් බාස්, ජලනල, විදුලි කාර්මිකයන් ඇතුළු ඉදිකිරීම් අංශයේ සේවකයන්, කොණ්ඩා කපන්නන්, බියුටි සැලූන්, වාහන අලුත්වැඩියා කරන්නන්, ලොතරුයි අලෙවිකරන්නන්, බස්රථ, ත්‍රී රෝද රථ රියැදුරන්ගේ සිට කී නොකී බොහෝ දෙනාට රුපියල් පන්දහස යම් අස්වැසිල්ලක් විය.

එහෙත් ඇතිහැකි අයද පන්දහසට ලොබ බැඳ එය රැගෙන ගියබව නොකියාම බැරිය. එයට රට පුරා බොහෝ දෙනා සාක්ෂි දරති. නිලධාරීන් රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයන් ඇතුළු නිශ්චිතව දක්වන ලද පිරිස් කපා හල මුත් තෝරා බේරා ගැනීමේ දී මතුවන ගැටලු මත ගම්බිම් වල සිටින ධනවත් ව්‍යාපාරිකන්ට ද මෙම ආධාර මුදල් ලබා දී තිබේ. ඒ  කෙසේ වෙතත් දෛනික ආදායම් ලබන පිරිසක් සඳහා මෙය තාවකාලිකව අස්වැසිල්ලක් වු බව කිවයුතුය. එක්වරක් පමණක් ලබාදුන් දීමනාව අනාගත ආර්ථික අර්බුදය හමුවේ කොතරම් සාධනීය වේ දැයි අප දන්නේ නැත. රජයට දිගින් දිගටම මෙවන් සහනාධාරක් ලබාදීමේ හැකියාවක් නැත. එසේ හෙයින් අවශ්‍ය අනාගතය වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවලකි. 

 චමිඳු නිසල් ද සිල්වා