චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය වර්තමානය වනවිට ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවකට දැඩි බලපෑම් සිදුකර ඇත. ලෝකය පුරා ජීවත්වන දසදහස් ගණනක් මිනිසුන් ඉන් ජීවිතක්ෂයට පත්වන මොහොතක කොරෝනා වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආකාරය සාධනීය මට්ටමක පවතී. වෛරසය පැතිර යාම වළක්වා ගැනීම සම්බන්ධයෙන් රජය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර ගණනාවක්ම දැඩි වගකීමකින් කටයුතු කිරීම ඊට හේතුවයි.
වෛද්‍යවරුන්, හෙදියන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රජයේ සියලුම මෙහෙයුම්වලට සම්බන්ධ සේවකයන්, ස්වේච්ඡා සංවිධාන, තාක්ෂණික ආයතන සේවකයන් මෙන්ම සන්නිවේදන අංශ මෙම කාර්යයට විවිධ ආකාරයෙන් දායක වන ආකාරය පැසසිය යුතුය.
කෙසේ වෙතත් ඇතැම් විපක්ෂයේ දේශපාලකයින් දිගින් දිගටම පෙන්වා දෙන්නේ යළිත් පාර්ලිමේන්තුව රැස්කර ගතයුතු බවය. රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ විපක්ෂයේ ඇතැමෙකු අගය කළද බොහෝ පිරිසක් එය විවේචනය කරන ආකාරය දැකගත හැකිය. සැබැවින්ම රට තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ විපක්ෂය තමන්ගේ කාර්යය භාරය ඉටු නොකිරීම පිළිබද ජනතාව තුළ ඇත්තේද යම් අප්‍රසාදයකි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ගැන අප රටේ සෞඛ්‍ය අංශ නිරතුරුවම ගුවන්විදුලිය, රූපවාහිනය සහ පුවත්පත් තුළින්ද දැනුවත් කිරීම් සිදුකරන්නේ මහජනතාවගේ දැනගැනීම පිණිසය. එහෙත් සමාජ මාධ්‍ය තුළින් ඇතැමෙකු එම ප්‍රකාශයන් විකෘති කරමින් එම රෝගීන් සංඛනය පිළිබඳ මෙන්ම රෝගය ගැනද විවිධ මත පතුරවමින් ජනතාව නොසන්සුන්තාවයට පත්කළ අවස්ථාද පසුගිය දින කිහිපය තුළ දැකගත හැකි විය. ඒ ඔවුනට විරුද්ධව නීතීමය පියවර ගෙන තිබේ.
රජයේ සෞඛ්‍ය අංශ විසින් නිවැරදි සංඛ්‍යාලේඛන අනුව ජනතාව දැනුම්වත් කරමින් සිටින මොහොතක පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් 50000ක් පමණ රට තුළ සිටිනා බවය. සැබවින්ම මෙය බරපතළ ප්‍රකාශයකි.
“කොරෝනා වෛරස් ආසාදිතයන් සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන කිසිසේත්ම පිළිනොගන්නා බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. තමන් මෙන්ම රටේ ජනතාවටද එම සංඛ්‍යාලේඛන විශ්වාස නැති බවත් ඔහු කියා සිටියේය. ආණ්ඩුවට ඇති මැතිවරණ හදිසිය නිසා සැබෑ රෝගීන් සංඛ්‍යාව හෙළි නොකරන බවද ඔහු පැවසුවේය. මේ වනවිටත් බුද්ධි අංශ විසින් කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නම් ගම් සහිතව 50,000ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය. ඒ සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීමෙන් පසු රට විවෘත කිරීමට හැකි බවත් හැමදාම රට වසා දමා සිටීමට අවශ්‍ය නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.”
අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රාකාශයේ ඇත්ත නැත්ත දැන ගැනීම පිණිස “දේශයේ” අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගෙන් විමසීමක් කළෙමු.
“රට තුළ සිටිනා කොරෝනා ආසාදිත රෝගීන් පිළිබඳව රටේ සෞඛ්‍ය අංශ මගින් දිනපතා පැහැදිලි කිරීම් කරනවා. ඊට වැඩිපුර රෝගීන් වාර්තාවීමක් සිදුවෙලා නැහැ. මොකද ජනතාවගෙන් මෙම රෝගය පිළිබඳ වසන් කරන්න කිසි උවමනාවක් සෞඛ්‍ය අංශ වෙත නැහැ. ඒ වගේම තමයි අපි ජනතාවට නිරතුරැවම මෙම රෝගයෙන් ආරක්ෂා වියයුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීම් සිදුකරනවා. දැනට තිබෙන වාර්තා අනුව රෝගීන් තුන්සියයකට වැඩි පිරිසක් තමයි ඉන්නේ. ඊට වඩා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් නැහැ. කිසියම් පුද්ගලයකු විසින් මෙම කොවිඩ් 19 රෝගීන්ගේ ව්‍යාපෘතිය පිළිබඳව කුමන මතයක් ඉදිරිපත් කළත් රටේ සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන තොරතුරු තමයි නිවැරදි තොරතුරු කියලා අපි මහජනතාවට කියා සිටිනවා.”
කෙසේ වෙතත් මනෝ ගනේෂන් හිටපු අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රාකාශය මාධ්‍ය තුළ පලවීමත් සමඟම නැවත මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දක්වා සිටියේ තමන් කිසිවිටකත් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් නොකළ බවයි.
“මම මීට පෙර මාධ්‍ය හමුවේදී පැවසුවේ රට තුළ කොරෝනා රෝගීන් හතළිස් දහසක් ඉන්නවා කියලා නෙවෙයි මම පැවසුවේ කොරෝනා රෝගීන් සමඟ සෘජුව සම්බන්ධතා පැවැත්වූ පළවෙනි සම්බන්ධතා තිබෙන අය හතළිස් දහස් ගණනක් රට තුළ ඉන්නවා කියලා. මම ඒක දැන්ගත්තේ මාර්තු මාසයේ අරලියගහ මන්දිරයේ පැවති පක්ෂනායක සමුලුවේදී. හමුදාපතිවරයා අපේ රටේ පළවෙනි සම්බන්ධතා තිබෙන අය ගැන දැනුම්වත් කරන වෙලාවේ. මෙසේ පළමු සම්බන්ධතා තිබෙන අය ආසාදිතයන් නෙවෙය් මා පැවසූ දේ විකෘති කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ.”
හසිත් අංජන