2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

කොවිඩ් අවදානම එක්ක පාවෙන ඇඳිරි නීතිය

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

ලොව පුරා පවතින කොවිඩ් 19 වෛරස වසංගතය හමුවේ මෙරට රෝගීන් සංඛ්‍යාව තවමක් ඉලක්කම් තුනක අගයක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී සිටී. අප්‍රේල් 22 දා වන විට මෙරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 335කි. ලොව වෙනත් රටවල් හා සංසන්දනය කරන විට එය පහළ අගයක පවතී. . එකවර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ පසුගිය 20 දින කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 32කි. අප්‍රේල් 15 දින මෙම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවූ අතර මේ වන විට එම ප්‍රදේශයෙන් පමණක් රෝගීන් 47ක් හමුවී තිබේ. හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ මෙම ප්‍රදේශයේ රෝගය වැළඳී තිබූ බොහෝ දෙනෙක් විවිධ ස්ථානවල සැරිසරා පුද්ගලයන් රුසක් ඇසුරැ කර තිබීම නිසා එම ප්‍රදේශයේ කොපමණ පුද්ගලයන් පිරිසකට මෙම රෝගය ආසාදනය වී තිබේදැයි යන්න සැකසහිතය. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 122ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 56ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 16ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 5ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3ක්, කුරැණෑගල දිස්ත්‍රික්කයෙන් 2ක්, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලින් 2 බැගින් හා ගාල්ල, මඩකලපුව, බදුල්ල සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලින් 1 අයකු බැගින් වාර්තා වී තිබේ. 

රෝගය පැතිරයෑම වළක්වාලීම සඳහා සමාජ දුරස්ථභාවයක් පවත්වාගැනීමට රජය පියවර ගත් අතර ඒ අනුව දිගටම ඇඳිරි නීතිය පැනවීමට පියවර ගනු ලැබීය. ඇතැම් දිස්ත්‍රික්කවලට වරින්වර ඇඳිරි නීතිය පැය කිහිපයකට ලිහිල් කළද රෝගීන් බහුලව හමු වූ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නොකඩවා පවත්වාගෙන යෑමට රජය කටයුතු කළේය.  අනෙකුත් දිස්ත්‍රික්ක 18 තුළ ආසාදිතයන් වාර්තා නොවීම හේතුවෙන් පසුගිය 20 වැනිදා සිට  එම දිස්ත්‍රික්ක 18ට පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළ අතර අවදානම් කලාප ලෙස හඳුනාගත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 22 දින සිට ඉවත් කිරීමට රජය තීරණය කොට තිබිණි. කොළඹ දිස්ත්‍රික්කයෙන් එකවර රෝගීන් 24 දෙනකු හමු වූයේ මේ අතරය. එහෙයින් අවදානම් කලාපවල ඇඳිරි නීතිය ලිහිල් නොකිරීමට රජය මගින් යළිත් තීරණයක් ගනු ලැබීය.

ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල සියලු රාජ්‍ය ආයතන සමාජ දුරස්ථභාවය රැකගෙන, මුහුණු ආවරණ පැළැඳ, සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපැදිය යුතු බවට රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රජයේ කාර්යාල කටයුතු සඳහා චක්‍රීය පදනමකින් සේවයට වාර්තා කළ යුතු වන අතර වරකට සේවයට කැඳවිය යුත්තේ 50සේවක පිරිසක් බවද එහි සඳහන්ය. අවදානම් කලාපවල ඇති රජයේ කාර්යාලවල කටයුතු ක්‍රියාවට නැංවිය යුත්තේ 20ක සේවක සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පමණක් බවද එහි සඳහන්ය.

ඇඳිරි නීතිය ලිහිල් කළද කොවිඩ් 19 අවදානම පවතින හෙයින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂෂ  ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කරයි.
කොරෝනා වෛරසය තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින හෙයින් සියලු දෙනා ඉතා වගකීම් සහිතව, ආරක්ෂිතව කටයුතු කළ යුතුයි. ඇඳිරි නීතිය ලිහිල් කළ විට අනවශ්‍ය ලෙස එක්රොක්වීම, වෙළෙඳසල්වල ගැවසීම නොකළ යුතු වන අතර සැම විටම අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, ආදිය තව දුරටත් අනුගමනය කළ යුතුයි. පසුගිය කාලයේ ඇතැම් දිස්ත්‍රික්කවලින් වාර්තා වූ රෝගීන් හා ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමේදී ඉදිරි කාලයේද තර්ජනයක් ඇතිබව පැහැදිලියි. එහෙයින් මෙම කාල වකවානුව ඔබට විවෘත වුණත් ඔබේ දෛනික කටයුතු කර ගැනීමට අවකාශ සැලකුණත් ඔබ කිසිවකු පූර්ණ වශයෙන් නිදහස් නැහැ. එහෙයින් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව මෙය සිහියේ තබාගෙන සෞඛ්‍ය ආරක්ෂිතව  කටයුතු කළ යුතුයි. වසංගත තත්ත්වය අප යම් ආකාරයකට මැඩ පවත්වා ඇති නමුදු සමාජ දුරස්ථභාවය රුකෙන පරිදි කටයුතු කිරීමට අමතක නොකළ යුතුයි.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ක්‍රියා කළේ සෞඛ්‍ය කාරණා රුකගන්නා අතරම රටේ ආර්ථිකයද රුකගැනීමට සිදුවී තිබීම හේතුවෙන්. මෙහිදී රෝගීන් සම්බන්ධ සියලු තොරතුරැ අපි මාධ්‍යයට නිවැරුදි ලෙස අනාවරණ කරනවා. මේ මොහොතේ  ආර්ථිකයත්, සෞඛ්‍යයත් අතර කිසියම් සමතුලිත බවක් පවත්වාගෙන යෑමට රජයට සිදුව තිබෙනවා. ඒ නිසා හැකිපමණ ආරක්ෂක පියවර ගනිමින් කටයුතු කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යනුවෙන් සඳහන් කළාය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මැදකොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් කිසිවකුට පරීක්ෂණ මගින් හඳුනාගන්නා තෙක්  රෝග ලක්ෂණ පහළ වී නොතිබූ බවයි. මෙම රෝගය පාලනය කිරීම අභියෝගයක් බවත් එම අභියෝගය ජයගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය අංශවල හා වෙනත් අංශවල වගකීමක් බවත් එබැවින්  නිරෝධායන මධ්‍යස්ථානවලින් එළියට එන අය පවා අවම වශයෙන් දෙවරක් වත් පීසීආර් පරීක්ෂණවලට ලක්කළ යුතු බවට පොලිසියට හා හමුදා අංශවලට නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට තීරණය කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.. 

පොකුරු වශයෙන් බිහිවන රෝගීන් සංඛ්‍යාව අපේ පාලනයෙන් ගිලිහුණොත් අපට රෝගය පාලනය කළ නොහැකි වනවා. රෝග පාලනය අතින් ලෝකයේම මොඩලයක් බවට පත්ව තිබූ සිංගප්පූරුව පාලනය මඳක් ලිහිල් කළ නිසා රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කළා. යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ මසක පමණ කාලයක් ඉතා අසීරුවෙන් ළඟාකරගත් සාර්ථකත්වය වගකීමෙන් තොරව කටයුතු කරන සුළු පිරිසක් නිසා විනාශ වී යා හැකි බවයි. එහෙයින් සියලු දෙනා වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

ඇඳිරි නීතිය ලිහිල් කිරීම රජයේ දේශපාලන තීරණයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එලෙස සඳහන් කළේය.

ජනතාව මාසයක් තුළ කරන ලද කැපකිරීම අමතක කර රටත් ජනතාවත් විශාල අවදානමකට ඇද දැමීමට රජය කටයුතු කරනවා. පියවරෙන් පියවර ඇඳිරි නීතිය ලිහිල් කළා නම් මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වෙනවා. රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි කාලයේ විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකියි. රෝගීන් වැඩි වුවහොත් රෝහල් පද්ධතියට දරාගත නොහැකි වේවි. රෝගීන් ඇතුළත් කර ගැනීම, ඔවුන් පරීක්ෂාවට ලක් කිරීම, බරපතළ රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමේදී විශාල අර්බුද මතුවිය හැකියි. ඇඳිරි නීතිය ලිහිල් කිරීම නිසා මිනිසුන් ගැවසීම බහුල වන අතර ඔවුන් අතර කොවිඩ් 19 ආසාදිතයන්ද සිටිය හැකි හැකි බව අප අමතක නොකළ යුතුයයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ රට සෞඛ්‍ය සේවා හා ජනාධිපතිවරයාගේ කාර්ය සාධක බලකායේ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාව රෝග පාලනය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක පවතී. එහෙත් සමාජය පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව රෝග වාහකයන් ලෙස කටයුතු කරන ඇතැම් පිරිස් නිසා ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් විය හැකිය. ඇඳිරි නීතිය ඉවත් කිරීම ජනතාවට සහනයක් වුවද රෝගවාහකයන් පොදු ජනතාව අතර ගැවසීම නිසා රෝගය නිරෝගී පුද්ගලයන්ටද වැළඳීමේ අවදානම පවතියි. එහෙයින් සෞඛ්‍ය අංශ වලින් ලබා දී ඇති උපදෙස් පිළිපැදීම සියල්ලන්ගේ යුතුකම්ක් වනු ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා