2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

බෙහෙත් සීට්ටු අතේ තියාගෙන හොර අරක්කු හොයන අපේ මිනිස්සු

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

රටකට ඇඳිරි නීතියක් පනවන්නේ යම් දරුණු හේතුවක් නිසාය. අපට ඇඳිරි නීති හොඳට හුරු ජාතියකි. වසර තිහක් පුරාවට පැවැති අමිහිරිතම යුද්ධයේ එක් මතකයක් වන්නේ මේ ඇඳීරි නිතීයයි. එසේම දේශපාලන විප්ලව, තරුණ තරුණියන්ගේ නැගිටීම්, කැරලි කෝලහාල හමුවේද මෙකී ඇඳීරි නීතිය රටම වෙලාගත් හැටි ඇතැම් අයට තවම මතකය. ඒ සියලු පියවර ගනු ලැබූවේ මහජන සුබසිද්ධිය උදෙසාය.

කෙසේ වෙතත් මෙකී ඇඳිරි නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වූයේ දවස් කිහිපයක් පමණි. ආරක්ෂාව තහවුරු වූ විට හෝ ජනතාව සිය ජීවන පැවැත්ම සාමාන්‍ය වූ පසු ඇඳිරි නීතිය ඉවත් විය. එහෙත් අප මේ දැන් ගෙවන්නේ ඉතිහාසගත ඇඳිරි නීතියකි. ඒ ජාතික ආරක්ෂාව නිසා නොව ජනයාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ දීර්ඝ ඇඳිරි නීතියක් අත් විඳිමින්ය. ඒ කොරෝනා වෛරසය නිසාය. එය එක් පැත්තකින් රටපුරා ඇවිදිමින්, රැකියා කරමින් නිදහසේ සිටි බොහොමයකට දරාගත නොහැකි තත්ත්වයකි. මේ ආකාරයෙන් දවස් 20කටත් එහා ගෙදරට වී සිටීම ඇත්තටම අමාරුය. මෙවැනි තත්ත්වයක ඒ අමාරුවද දරාගෙන සිටිනවා හැර වෙනත් විකල්පයක් නැත. එහෙත් එකී අවවාද නීති නොතකමින් රටපුරා සැරිසරන්නෝ එමටය. මේ කියන්නට යන්නේ රටේ නීතියටත් අවනත නැති තම දරු පවුලටත් ආදරයක් ගෞරවයක් නැති මිනිසුන් ගැනය.

කෙසේ වෙතත් මේ කතාව ලියන මොහොත වනවිට මේ ඇඳිරි නීතිය කඩකරමින් සැරිසැරූ තිදෙනකු ඉන්නේ පොලිස් වෙඩිකා රෝහලේය. ඉන් එක් අයකුට තරමක් අසාධ්‍යය. ඒ ඔවුන් ඇඳිරි නීතිය පමණක් නොව නවතින ලෙසට ලබාදුන් පොලිස් අණ නොතකා පැනයාම නිසාය. සිව්දෙනෙකු ගමන් ගත් මෝටර් රථයකට එගොඩඋයන මෝදර අලුත් පාලම මත පිහිටුවා ඇති දිස්ත්‍රික් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබනු ලැබූවේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේය. ඒ අණ නොතකා ධාවනය කළ බැවිනි. අවසානයේ වාහනය නවතාලීමට සිදුවූයේ වෙඩි පහරවල් වලින් තුවාල ලබාය. මෙය අවාසනාවන්ත සිද්ධියක් වුවත් ඇඳිරි නීතිය රටටම අයත් දෙයක් නිසා ඒ නීතිය පමණක් නොව අණද නොතැකීම හමුවේ සිදුවු දෙයක් නිසා ඒ ගැන තවත් සංවාද සිදුකළ නොහැක. අත්‍යවශ්‍ය දෙයක් හෝ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන්නන් හට අවසර ලබාදී තිබියදී මෙසේ පැනයාමට උත්සහ දැරීම එක් පැත්තකින් සැක සහිතය. සිද්ධියේ ඇත්ත මොකක්ද යන්න තවමත් මේ ලිපිය ලියන මොහොතේත් අනාවරණය වී නැත.

ඒ මේ ඇඳිරි නීතිය සමයේ සිදුවූ බරපතළම සිද්ධියකි. එහෙත් ඊට අමතරව මේ ලිපිය ලියන මොහොත වනවිට මාර්තු 20 සිට සිකුරාදා (03) උදෑසන වනවිට ඇඳිරි නීතීය කඩකරමින් මාර්ගවල ගමන් ගෙන අත් අඩංගුවට ගත් පිරිස 10,730කි, වාහන 2657කි. එයින් පැහැදිලිවන ප්‍රශ්නය නම් රටේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය පිළිබඳව දැඩි හැඟීමක් මිනිසුන්ට නොදැනෙන්නේද යන්නය. උදේ හවසට රේඩියෝ ටීවීවල එක දිගට ඇඳිරි නීතිය ගැනත්, දඬුවම් ගැන කීවත් සමහරුන් ඒවා කනකට ගන්නා බවක් පෙනෙන්නේ නැත. ඇඳිරි නීති සමයේදී අත්අඩංගුවට ගන්නා අයට ඇප ලබා නොදෙන බව පුන පුනා කීවත් තවමත් සමහරු ඇඳිරි නීතියෙන් රිංගන්නට ගොස් කොටුවෙති. මේ සම්බන්ධයෙන් රථවාහන භාර පොලිස් නිලධාරියෙකුගෙන් අප විමසීමක් කළ විට ඔහු අපූරු කතා කිහිපයක් කීවේ මේ ඇඳිරි නීති සමයේ ඇතැම් පිරිසක් සිදුකරන ක්‍රියාවන් කීපයක් ගැනය.

“අපි මිනිස්සුන්ට දුන්නා ෆාමසිවලින් අත්‍යවශ්‍ය බෙහෙත් ගන්න අවස්ථාවක්. මෙන්න ඊට පස්සේ හැමතැනම වාහන. නැවැත්තුවම කියනවා බෙහෙත් ගන්න යනවලු ගෙදර අයට. අපේ පොලීසියේ අය ඔය බෙහෙත් වට්ටෝරැ බලන්නේ නෑ. මේ මිනිස්සු පව් නිසා. බැලින්නම් මේ අය මේ බොරු කරන්නේ. එක්කෝ වැඩි මිලට අරක්කු හොයන් යනවා. නැත්තන් යාළුවන්ගේ ගෙදර යනවා. නැත්තන් මේ ගෙදර ඉන්න බැරිකමට ඇවිදිනවා” ඔහු කීය.

“අපි ගොවිතැන් කරන්න දුන්නා මිනිස්සුන්ට. ඒ දුන්නේ මේ ආර්ථිකය කඩා නොවැටී තියාගන්න. සමහර තරුණ ළමයි උදලු බැඳන් වෙලට ගිහින් එල්ලේ ගහනවා. ක්‍රිකට් ගහනවා. ඒක විතරක් නෙමෙයි අල්ලපු වත්තට පැනලා ළමයි එකතුවෙලා සෙල්ලම් කරනවා. ඇත්තටම අපි ඇඳිරි නීතිය දැම්මේ ඇයි? මොකටද කියලවත් මේ දරුවන්ට ඒ දෙමව්පියෝ කියනවද? නෑනේ. මේ තත්ත්වයෙන් හරි මේක බේරගත්ත එක ලොකු දෙයක්.”

මේ කියන්නේ අපේ රටේ මිනිස්සු ගැනය. මේ කියන්නේ ඇඳිරි නීතියක් යොදා රටේ ජනතාව ආරක්ෂාකර ගැනීමට තැත් කරන මොහොතක රටේ ජීවත් වන මිනිසුන්ගේ ක්‍රියා ගැනය. ඔවුන්ගෙන් පිරිසක් මෙසේ හැසිරෙයි නම් ඒ පිරිස මෙවැනි බරපතළ වසංගත බෝ කිරීම සඳහා රුකුල් දෙන්නෝ වෙති. ඒ නිසා ඉදිරි කාලය අවධානමක් නැතුවම නොවේ. වෛද්‍යවරුන් පොලීසිය, හමුදාව ඒ වගේම රජය මේ අවදානම මැඩ පැවැත්වීම සඳහා රටේ නැති උත්සාහයන් කළත් මෙවැනි විනයක් නැති සමාජයකින් කිසිදු වෙලාවක යහපතක් උදාවෙන්නේ නැත.

වැඩ කරන රටක්, නැගිටින රටක් ඇඳිරි නීතිය දමා ඔබව ගෙදරට කොටුකර ඇත්තේ ඔබව ආරක්ෂා කිරීමට හැර වෙනත් දෙයක් සඳහා නොවේ. සම්පූර්ණයෙන් ආර්ථිකයක් සිරකොට මේ සිදුකරන්නේ ඔබේත් අපේත් ජීවිතය රැකගැනීමටය. එය කිසිවකුත් නොදන්නවා වියනොහැක. එසේ සියල්ල දැන දැනත් ඔබ නීතියට අවනත නොවී ඇවිදිනවා නම් අවශ්‍ය දඬුවම ඕනෑම වෙලාවක විඳියයුතුව ඇත.

කෙසේ වෙතත් මේ අතර ඇතැම් පිරිසක් මේ ඇඳිරි නීති සමයේ අත්‍යවශ්‍ය සේවා යැයි සඳහන් කරමින් නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය රැගෙන යන බවද පොලීසියට තොරතුරු ලැබී ඇත. ඒ සියල්ල සිදුකරන්නේ මිනිසුන්ට සහන ලබාදීමට දුන් අවකාශය හරහාය. ඒ නිසා අවසානයේ ඒ අයිතියද අහිමිව ගියහොත් ඔබ අප සියලු දෙනාටම නොසිතු අපහසුතාවයට ලක්වන්නට සිදුවනු ඇත. ඒ නිසා ඔබ රජය විසින් පනවන ඇඳිරි නීතිය ඔබේ තත්ත්වය, ලොකුකම, ඉහළ සම්බන්ධතා පෙන්වීමට ආභරණයක් නොකරගත යුතු යැයි පොලීසිය ඉල්ලා සිටින්නේ ඉතාමත් කරුණාවෙනි. එසේ නොවුණහොත් මෙතෙක් දුරට කරගෙන ආ සියලු ආරක්ෂක ක්‍රමවේද වතුරේ යනු ඇත. එසේ වීමේ අවසන් ප්‍රතිඵලය අප්‍රේල් අවසානයේ රට තුළ අධි වසංගත තත්ත්වයකිනි. ඒ තැනට නොයා සිටීමට ඔබට පැවරී ඇති වගකීම සුළුපටු නැත. ඒ සඳහා වැඩියමක් කරන්නටද නැත. කළ යුත්තේ ගෙදරටම වී සිටීම පමණි.

ගයාන් ගාල්ලගේ