2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

අමාරුවේ වැටුණු සුළු වෙළෙන්දෝ

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

කොරෝනා මර්දනයට ඇඳිරි නීතිය පැනවීම දඩමීමා කරගෙන භාණ්ඩ වැඩිමිලට අලෙවිකර පාරිභෝගිකයා අමාරුවේ දැමීමට කූට වෙළෙඳුන් විවිධ ප්‍රදේශවල මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ. අද වන විට මාධ්‍ය අංශ මුළුමනින්ම කොරෝනා පිළිබඳ පමණක් වාර්තා කිරීමට වැඩි ප්‍රවනතාවක් දැක්වීම හේතුවෙන් පාරිභෝගිකයාට සිදුව ඇති අසාධාරණය පිළිබඳ සන්නිවේදනය කිරීමට ඇති හැකියාවද අවම වී ඇත. මේ නිසා ඔවුන් ගසා කෑම පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී නොමැති බව පෙනීයයි.

ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයා පසුගියදා ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීම නිසා ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇති බවය. එහෙත් එම බලාපොරොත්තුව මේ වනවිට ඉටුවී තිබේද යන්න ගැටලු සහගතය. රට තුළ අවශ්‍ය තරම් සහල් තොග ඇතැයි පුරාජේරු කතා කළද රටේ සහල් මිල වැඩිවීමක් මිස අඩුවීමක් නොමැත. සහල් සඳහා රජයේ විටින් විට පැනවූ උපරිම සිල්ලර මිල වෙළෙඳුන් මායිම් කරන්නේ නැත. රටේ සහල් මිල තීරණය කිරීම තවමත් සිදුකරනු ලබන්නේ මහාපරිමාණ කුප්‍රකට ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පමණකි.

දේශීය සහල් මිලදී ගැනීමට මෙවර ජනාධිපතිවරයා කාර්යාලය මගින් දියත් කළ වැඩසටහනද සාර්ථකවී නොමැති අතර වෙනත් කන්නවල මෙන් මොල්හිමියන් සහ විශාල ව්‍යාපාරිකයන් ගොවියන්ගෙන් වැඩිමිලට වී තොග ගෙන රැස්කර තැබීමට පෙළඹී ඇත. සහල් ආනයනය කිරීමට රජය ගත් වැඩපිළිවෙළද විවිධ යටි අරමුණු හේතුවෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීම උගහට වී ඇත. කෙසේ වුවද වර්තමානයේ ගෝලීය ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අනාගතයේ සහල් ආනයනය කිරීමට හැකිවේද යන්න පිළිබඳ සැක ඇතිවී තිබේ.

ජනාධිපති කාර්යාලය මගින් පරිප්පු, ලූනු, සැමන් ආදි ආහාර ද්‍රව්‍ය යම් උපරිම මිලකට අලෙවි කිරීමට නියෝග කළද එය මුලදි යම් පමණකට ක්‍රියාත්මක වී මේ වනවිට පරණ පුරුදු ක්‍රිඩාවට ගොදුරැවී ඇත. කිලෝව රැපියල් 65ට විකිණිය යුතු මයිසූර් පරිප්පු කිලෝව රුපියල් 130-135ට එළිපිට අලෙවි කිරීමට පටන් ගෙන ඇත. එසේම සැමන්ද වෙනදා අලෙවි කළ රුපියල් දෙසීය ඉක්මවූ මිලට විවෘතව අලෙවි කරන බව දැකගත හැකිය. රටලුනුද කිලෝව රුපියල් 150ට අලෙවි කරන තැනක් නොමැති තරම්ය. ස.තො.ස ආයතනවල බොහෝ කඩ බක්කි හිස්ව ඇති අතර විකුණා අවසන් වූ බඩු ඉල්ලා තිබෙන නමුත් ඒවා තවමත් නොලැබී ඇති බව කළමනාකරුවන් පැවසූහ. දැනට තිරිඟු පිටි කිලෝව රුපියල් 100 ඉක්මවා අලෙවි කෙරේ.
උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාරගෙන් විමසූ විට ඔහු පැවසුවේ අධික මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරමින් සිටින බවය.

පාරිභෝගික පැමිණිලි 2700 පමණ මේ වනවිට ලැබී තිබෙනවා. ඒවා පිළිබඳ හැකිතරම් දුරට විමර්ශනය කරලා නඩු පැවරීමට කටයුතු කරමින් පවතිනවා. එසේ වුවත් අද පවතින වාතාවරණය අනුව නීතිමය කටයුතු වෙනදා මෙන් අරඹන්න බැරිවෙලා තියෙනවා. අධිකරණවල පවතින තත්ත්වය අනුව නඩු පැවරීමේ කටයුතු කරන්න අපහසුයි. එහෙත් පහුවෙලා හෝ නඩු පවරනවා.
එසේ වුවද ඔහු පවසන්නේ අදාළ ආයතනවලට මේ පිළිබඳ පැමිණිලි කර ඒවායේ බලපත්‍ර අහෝසි කරන්න කටයුතු කරන බවය. දැනට රජය අනුගමනය කිරීමට උපදෙස් දී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ගෙන ගොස්දීමේ වැඩපිළිවෙළ උපයෝගි කරගෙන ඇතැම් වෙළෙඳ ආයතන විශාල වශයෙන් ප්‍රවාහන ගාස්තු අයකරන්නට පටන් ගෙන තිබෙන බව ඔහු කියයි.

ඇතැම් ප්‍රකට ආයතන පවා කිලෝමීටර් 5-10 පමණ කෙටි දුරක් භාණ්ඩ ගෙනගොස් භාර දීමේදීද අසාධාරණ ලෙස ප්‍රවාහන ගාස්තු අයකරන බව පැමිණිලි ලැබිලා තියෙනවා. අප ඒ පිළිබඳ ඔවුන්ට අවවාද කර තිබෙන අතර එය පිලිනොගතහොත් නිත්‍යානුකූලව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. මෙහිදි ගැටලුව වී ඇත්තේ ප්‍රවාහන ගාස්තු අය කිරීමේ නිර්නායකයක් නොමැති නිසා කූට වෙළෙඳුන් අසාධාරණ අයකිරීම්වලට පෙළඹී තිබීමයි. එය විධිමත් කිරීම අපේ අපේක්ෂාවයි
ඔහු පවසන්නේ අද රටේ පවතින කෙරෝනා තත්ත්වය ඉක්මණින් පාලනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එසේ වුවහොත් තත්ත්වය ඉබේම පාලනය වනු ඇති බවය.
අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරැවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජී.එස්. ඉලෙයිමනාදන් පවසන්නේ මේ අවස්ථාවේදී භාණ්ඩවල මිල ගැන කතා කරනවාට වඩා කුමන මිලකට හෝ අඩු නැතිව භාණ්ඩ අලෙවිකිරීම පිළිබඳ වෙළෙඳුන්ට ප්‍රශංසා කළ යුතු බවය.

වෙළෙඳුන් අද කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද භාණ්ඩ හිඟයකින් තොරව පාරිභෝගිකයාට සපයනවා. ඒ සඳහා ඔවුන් උපරිමයෙන් කැපවී කටයුතු කරනවා. මිල වැඩිකම ගැන පාරිභෝගිකයා සලකන්නේ නැහැ. ඒ අයට කුමන මිලකට හෝ බඩු තමා අවශ්‍ය. ඕනෑ කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. ඒත් වැඩ තමා අමාරු. රජ‍යේ අඩුකළ මිලට පරිප්පු, සැමන්, බී ලූනු දෙන්න බැහැ. අපි විකුණන්නේ වැඩි මිලට බව ප්‍රසිද්ධියේ කියනවා. ඒත් අපි සාධාරණවයි විකුණන්නේ. බී ලූනු, පරිප්පු කිලෝව රුපියල් 300-400ටත් ගන්න පාරිභෝගිකයා සූදානම්. බඩු නැති එකට වැඩිය කීයට හරි ගන්න තියෙනවා නම් ඇති කියලයි ජනතාව කියන්නේ.

මේ දවස්වල පාලන මිලක් බලපාන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් මිනිස්සුට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ. මාධ්‍යවලිනුත් කළ යුතු වන්නේ වැඩි මිලට විකුණනවාය කියලා අපට චෝදනා කිරීම නොව අප අමාරුවෙන් කරන සේවය ගැන ප්‍රශංසා කිරීමයි. 

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ පරිප්පු, ලූනු සහ සැමන්වල මිල බලාපොරොත්තු නොවු පරිදි අඩු කිරීම නිසා රටේ ගොවියාද, ධීවරයාද, සුළු සහ මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ද නැත්තටම නැතිවී යමින් සිටින බවය. මෙලෙස හදිසියේ මිල අඩු කිරීම කිසිදු ආර්ථික හෝ වානිජ විශ්ලේෂණයකින් තොරව ගන්නා ලද පියවරක් බව ඔහු කියයි. ඔහු මෙසේද කියයි. 

රටේ තොග සහ සිල්ලර කඩවල මැයි මස 10 දක්වා අවශ්‍ය තොග රැස්කර ගෙන තිබුණා. එහෙම කරගෙන තිබුණේ අප්‍රේල් සිංහල අවුරුදු උත්සව සමයේ මෙම ද්‍රව්‍යවල අධික ඉල්ලුමක් තිබෙන නිසා. දැන් සිදුවූයේ මෙම බඩු සියලු ගෙවල්වලට බෙදාහරින්න සිදුවීමයි. සිංහල පමණක් නොව සෑම ජාතියකම ජනතාවට මෙම භාණ්ඩ දැන් ලැබෙනවා. ඒත් මේ තත්ත්වය සදාකාලික නොවෙයි. ලබන මැයි මාසය මැද වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැතිව ගොස් ජනතාවට විශාල අහේනියක් එයි.
ආණ්ඩුව බඩු වර්ග දෙක තුනක් විශාල ලෙස මිල අඩුකර දීමට ගත් තීරණය කිසිදු සොයාබැලීමකින් තොරව ගත් අමනෝඥ තීරණයක්. ඒ නිසා රටේ සෑම ව්‍යාපාරිකයෙක්ම අමාරැවේ වැටුණා. කිලෝව රුපියල් 130ට අලෙවි කළ යුතු මයිසූර් පරිප්පු රුපියල් 65ටත් රුපියල් 230 අලෙවි කළ සැමන් රැපියල් 100ටත් දෙන්න වුණා. ඒ නිසා ඔවුන් විශාල ලෙස පාඩු ලැබුවා. ප්‍රවාහන ගාස්තු කඩකුලි ආදියද මෙයට එකතු කළ විට ලැබූ අලාභය වඩා වැඩියි. මෙයින් සිදුවන අලාභය ප්‍රතිපූර්ණය කළේ සුපිරි වෙළෙදසල්වලට පමණයි. මේ නිසා සාමාන්‍ය වෙළෙන්දා යට කරගෙන සුපිරි වෙළෙඳසල් ජාලය ඉදිරියට ආවා. කවුද මේ වෙළෙඳසල් හිමි අය? වැඩි දෙනා විදේශිකයන්. මේ සල්ලි පිටරටට ඇදි යනවා. අපේ විදේශ විනිමය අර්බුදය තවත් වර්ධනය වෙනවා. 

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ:

රජය භාණ්ඩ මිල අඩුකිරීමෙන් පාරිභෝගිකයාට වැඩි වාසියක් අත්කර දීලා තියෙන්නේ විශාල ව්‍යාපාරිකයන්ටයි. ජනතාවට ලැබුණු දෙයක් නැහැ. මේ අඳුරු නීතිය නිසා අවහිරයට ලක්වෙලා තිබෙන සාමාන්‍ය පාරිභෝගික ජනතාව තවත් අමාරුවේ වැටිලා. අඩුමිල ප්‍රකාශ කළ භාණ්ඩ විකිණීමෙන් ලැබෙන පාඩුව වෙනුවෙන් හානි පූර්ණය කරන්නේ ස.තො.ස. සහ සුපිරි වෙළෙඳසල්වලට පමණයි. සාමාන්‍ය වෙළෙන්දා තමන් වැඩි මිලට ගෙනා භාණ්ඩ පාලන මිලට දීලා පාඩු ලබනවා. ඔවුන්ට අවාසියක් මිස වාසියක් නැහැ. පාරිභෝගික සේවා අධිකාරිය සුපිරි වෙළෙඳසැල්වලට පනින්නේ නැහැ. ඔවුන් හඹායන්නේ පුංචි වෙළෙඳුන් දෙසට පමණයි. 

මේ නිසා මහා පරිමාණ වෙළෙඳුන් බේරිලා පුංචි වෙළෙඳුන්ට තම ව්‍යාපාරය අතහරින්න වෙලා තියෙනවා. දැනට රටතුළ ඇති ආහාර ද්‍රව්‍ය අඩුවෙන විට ඒවායේ මිල ඉහළයාම වළක්වන්න බැහැ. ඉල්ලුම වැඩි වෙලා සැපයුම අවම වනවිට මිල ඉහළ යනවා. එම තත්ත්වය නීති මගින් කටයුතු කිරීමෙන් වළක්වන්න බැහැ. අඩුවන තොග වැඩිකිරීමට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. තියෙන තොග ඉවර වුණාම මොකද වෙන්නේ? අද තියෙන තත්ත්වයේ හැටියට ආනයනය කරන්න බැහැ. රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළ යුතුයි. එහෙත් ඒ ගැන සාර්ථක ක්‍රියාමාර්ගයක් අරගත් බවක් පෙනෙන්නේ නැහැ. මාධ්‍ය සංදර්ශන පවත්වලා වැඩක් නැහැ. යථා තත්ත්වයට මුහුණ දෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

ස.තො.ස. කියන්නේ තොග වෙළෙඳාමේ නිරතවිය යුතු ආයතනයක්. එය ගොඩනැගුවේ ඒ පරමාර්ථයටයි. එහෙත් අද සිද්ධවෙලා තියෙන්නේ ස.තො.ස. සිල්ලර වෙළෙඳාමට බැහැලා රටේ සිල්ලර වෙළෙඳුන් සමග තරඟ වැද තිබීමයි. සිද්ධ වෙලා තියෙන්නේ පාරිභෝගිකයා අමාරුවේ වැටිල්ල පමණයි. 

► යසවර්ධන රුද්රිගු