2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

තීරණාත්මක දෙසතිය!

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන අන්දමට සමස්ත ලෝකයම අර්බුදයකට ගොදුරු වෙමින් පවතී. ජීවිත ගෙන යෑම සඳහා බලවත් සටනක යෙදෙන්නට සෑම කෙනෙකුටම සිදුවී තිබේ. බොහෝ රටවල පාසල් හා විශ්වවිද්‍යාල වසා ඇත. ගුවන්‍ තොටුපොළවල්, ප්‍රධාන නගර පමණක් නොව, පොදු ‍ප්‍රවාහන සේවා පවා අක්‍රීය කර ඇත්තේ නීතියෙන්ය. මේ අනුව කොරෝනා ‍වසංගතයේ භයානක තත්ත්වය වටහාගත හැකිය. ‍මෙරට මෙන්ම ලෝක ආර්ථිකය නැවතී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. මේ සියල්ලක්ම ‍අපේ ජන ජීවිතයටද ඍජු බලපෑමක් ඉල්ල කරයි.

සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන පරිදි මේ වනවිට අපි තීරණාත්මක දෙසතියට පැමිණ සිටින්නෙමු. ඉතාලිය, ඇමරිකාව, එංගලන්තය වැනි ලෝකයේ බලවත් රටවල් කොරෝනා වෛරසයෙන් බැට කන විට මෙරට රෝගය පාලනය කිරීමට ගෙන ඇති පියවර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සිය ප්‍රසාදය පළකර ඇත.

මෙය ලියන මොහොත වනවිට මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගණන 152කි. ජීවිත හතරක් මෙම කොරෝනා වෛරසයට බිලිවී තිබේ. පූර්ණ සුවය ලැබූ ගණන 21කි. තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් ගණන 121ක් වන අතර සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 173කි.

සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට මේ දෙසතිය තීරණාත්මක වන්නේ එකවරම ආසාදිතයන් ගණන වැඩිවිය හැකි නිසාය. මෙම වසංගතය හටගත් මුල් සතියේ වාර්තා වූ රෝගීන් ගණන 42කි. දෙවන සතිය වනවිට රෝගීන් 60ක් වාර්තා විය. තෙවන සතිය වනවිට එය තවත් වර්ධනය විය. රෝග ලක්ෂණ මතු වූවද එය සැඟවීම සහ නොසැලකිල්ල වෛරස් ආසාදිතයන් වැඩිවීමට ප්‍රධානතම හේතුව වී තිබේ.

මෙරට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ වනවිටත් මෙරටින් කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටුකරමින් සිටී. කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා පසුගිය සතිය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැක්වූ අදහස් කිහිපයක් පාඨක ඔබ වෙත අප ගෙන එනු ලබනුයේ මෙම රෝගයෙන් ආරක්ෂාවීමට මනස සකස් කරගනු පිණිසය.

දැන් අප ඉන්නේ තෙවැනි අදියරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ

ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්වී තිබෙන කොරෝනා වෛරස් ව්‍යාප්තියේ ශ්‍රී ලංකාව මේ වනවිට තෙවන අදියරට පැමිණ තිබෙනවා. මෙම අවදිය සිදුවන්නේ එක් නිවසකින් කොරෝනා වෛරස් ආසාදනය වූ පුද්ගලයින් කිහිපදෙනෙකුම හඳුනාගැනීම අපි පසුගිය සතියේ අවස්ථා ගණනාවකදීම එය දුටුවා. ඒ වගේම රටපුරා ප්‍රදේශ කිහිපයකින් එවැනි සිදුවීම් වාර්තා වුණා. එමෙන්ම අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට රජයට දන්වලා තියෙනවා කරුණු කිහිපයක්ම නිතර අත සේදීම, මුහුණු ඇස් ස්පර්ෂ කිරීමෙන් වැළකීම, සමාජ දුරස්ථභාවය සහ එළිමහනේ ගැවසීමට නොයා නිවෙස් තුළම වී සිටීම වැනි කාරණා ඉන් වැදගත් වෙනවා. ඒ වගේම තමයි කවුරැ හෝ කෙනෙක් එළිමහනට යනව නම් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ඉක්මනින්ම ඒ ගිය වැඩේ කරගෙන නැවත නිවෙස් තුළට පැමිණීමත් වැදගත් ‍ෙවනවා. ජනතාව සෞඛ්‍ය අංශ විසින් දෙන උපදෙස් පිළිපදිමින් ක්‍රියාත්මක වුණොත් අපිට පුළුවන් මෙය හැකි ඉක්මනින් පාලනය කරන්න.

ජනතාව මේ කරුණු දැන සිටිය යුතුයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වෙන එක නවත්තන්න සෞඛ්‍ය අංශ විසින් විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය අපි දැනුම්වත් කරලා තියෙනවා මේ වෛරසය පාලනය කිරීමට ගන ඕන පියවර පිළිබඳව. ඒ සමාජ දුරස්ථභාවය කියන කාරණාව වඩාත් වැදගත්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින ප්‍රධානම කාරණාව තමයි මේ ඇඳිරිනීතීය ඉවත් කළ කාලසීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න යනව නම් හැකි ඉක්මනින් නිවස වෙත පැමිණෙන්න. බොහෝ ජනතාව මේ වනවිට රජය සහ මේ සෞඛ්‍ය අංශ මගින් සිදුකරන නිරෝධායන කටයුතුවලට බිය වීමක් දකින්න ඇති බවක් පේන්න තියෙනවා. ඒ වගේම මේ කටයුත්තට අකමැති බොහෝ දෙනක් රෝගය සඟවාගෙන සිය නිවෙස් තුළටම වී සිටිනවා. ඇත්තටම මෙම රෝගය සඟවා සිටීම මගින් සිදුවෙන්නේ තව කෙනෙක්ට ඒ වෛරසය බෝවිය හැකි ප්‍රවණතාව ඉහළ යන එක විතරයි. ඒ වගේම මේ නිරෝධායනය කටයුත්තට කිසි කෙනෙක් බිය විය යුතු නැහැ. ඒ නිසා ජනතාව සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් පිළිපදිනවා නම් මේ වසංගත තත්ත්වය හැකි ඉක්මනින් මෙරටින් තුරන් කරන්න අපිට හැකියාවක් පවතිනවා.

රෝගය සඟවන අයට දඬුවම් ඕනෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා

රටක් විදියට ගත්තම අපිට තියෙන ශක්තිමත්ම අවිය තමයි නිවාරණය. එමගින් රෝගීන් එන ප්‍රමාණය අඩුවෙනවා. මොකද අපි දන්නවා මේ වෙලාවේ සෞඛ්‍ය අංශ පසුකම් ඉහළම තියන රටවලටත් මේ වසංගත තත්ත්වය පාලනය කරන්න අමාරුවෙලා තියෙනවා. පසුගිය දිනවල මෙරටින් වාර්තා වුණ මරණ වලින් දෙකක්ම සිදු වී තිබුණේ රෝගය සඟවාගෙන සිටීම මගින් ඒ වගේම තමයි එම මියගිය පුද්ගලයින්ගේ නිවෙස්වල සිටිනා වැසියන්ටත් මෙම රෝගය බෝවී තිබුණා. ඒ නිසා මෙම රෝගය සඟවාගෙන සිටින පුද්ගලයින්ට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි කියන එක තමයි මගේ මතය. මේ ජනතාව අපි කියන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළොත් ඉක්මනින්ම මේ රෝගය අපේ රටින් තුරන් කරන්න හැකියාවක් ලැබෙයි.

 

► සටහන: හසිත් අංජන