ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවැති වසංගත තත්ත්වයන්ට නොදෙවැනි තරමට කොවිඩ්-19 සිය අණසක පතුරවන බව තත්ත්ව වාර්තා දිනපතා අනාවරණය කරයි. චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් පැන නැගුණ වයිසරය රටවල් දෙසීයක් ඉක්මවා සීමා මායිම් රහිත ආක‍්‍රමණයකය. චීනය ගැලවිය නොහැකි අර්බුදයක බව මුලින් කියා සිටි රටවල් දැන් තමන්ගේ නොසැලකිල්ලට වන්දි ගෙවමින් සිටී. ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා යුරෝපා රටවල් සමාජ හා ආර්ථික ප‍්‍රශ්න වලින් හෙම්බත් වී සිටින බව දැක්වෙයි. කෙසේ නමුත් ඉතාම ඉක්මනින් පැවැත්ම වෙනස් කරගැනීමට සියලු රටවල් කැපවීමෙන් ක‍්‍රියාකරමින් සිටී. ලෝක නායකයෝ හා සංවිධාන ඉදිරියට පැමිණ තිබේ. වහා එළැඹිය යුතු පියවර ගැන සාකච්ඡා කරන අතර හදිසි තීරණ ගනිමින් සිටිති. අභියෝගය හා සමානව අවස්ථාද පෑදී ඇති බව පෙන්වන අතර එය අලුත් වටයකින් ලෝකය බලවත් කරනු ඇතැයි සැලකේ.
• ජී 20 රටවල ප‍්‍රධානීන් වගකීම උසුලන අයුරු
පසුගියදා ජී 20 රටවල ප‍්‍රධානීහු දුරස්ථ වීඩියෝ තාක්ෂණයෙන් සාකච්ඡාවක් කර තිබේ. ලබන නොවැම්බර් මාසයේ දී සමුළුව පවත්වන්නට නියමිත සවුදි අරාබියේ නමුත් මෙම සාකච්ඡාවේදී රටවල් අතර සහයෝගීතාවයෙන් නැවත නැගී සිටීම ගැන අවධානය යොමුකරන ලද බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. ලෝකයේ රටවල් අතරින් සියයට අසූවකට වඩා ප‍්‍රමාණයක ආර්ථික වර්ධනය සහමුලින්ම අඩාල විය හැකි අතර ජී 20 සාමාජිකයන් ඇතුළු බොහෝ රටවලට වසංගතයෙන් හිරකරන ලද ආර්ථිකය තුළ කොපමණ කාලයක් ඉදිරියට එය දරාගත හැකිවේදැයි විශේෂයෙන් අවධානය යොමු කර තිබේ.
මෙම සමුළුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ඉල්ලීමක් කර ඇති අතර හදිසි ද්වී පාර්ශ්වික ණය සහන ගැන අවධානය යොමුකර ඇත. එයට අනුව ලෝකයේ දුප්පත් රටවල් හැත්තෑ හයක් ජී 20 එකිනෙක රටවල්වලින් ලබාගෙන ඇති ණය ආපසු අය කරගැනීම තාවකාලිකව නතර කරන අතර ජාත්‍යන්තර අධ්‍යයනයකින් පසු නැවත තත්ත්වය යහපත් වූ පසු ඒවා නැවත බලපැවැත්වීමට පියවර ගනු ඇත. එය මෙම අවකාශය තුළ ඉතා කාලෝචිත තීරණයක් වශයෙන් පැසසුමට ලක්ව ඇත. දැනටමත් මෙම ණය සහිත රටවල් අදාළ ඉල්ලීම් කර ඇති අතර යෝජනා ඉදිරිපත් වුවහොත් ණය සහන ගැන සලකා ලැබීමට දියුණු රටවල් විස්සක මුදල් ඇමැතිවරැ හා මහ බැංකු ප‍්‍රධානීහු එකඟ වී සිටින බව දැක්වෙයි. මෙම පුළුල් පහසුකම වෙනුවෙන් පියවරක් ඉදිරියට තැබීම ණය ලබාගත් පාර්ශවයන්හි වගකීම වනු ඇත.
• ජාත්‍යන්තර සංවිධානවලින් තවත් සහන
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අන්තර් ජාතික මූල්‍ය අංශ ආර්ථික අර්බුදයකින් ලෝකය ගලවා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇති බව දැක්වෙයි. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පළමු පියවර වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 14ක් කොවිඩ්-19 අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකයෙන් ගැලවීමට වෙන්කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව දක්වන පරිදි මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක් පුද්ගලික ව්‍යවසාය වෙනුවෙන් ලබාදීමට සූදානම්ය. කර්මාන්ත හා ව්‍යාපාර බංකොලොත් තත්ත්වයෙන් වළකා ගැනීම සඳහා මෙම ආධාර භාවිතා කළ හැකිය. ආයතන කඩාවැටීමෙන් ඒවායේ කෙලින්ම රැකියා කරන විශාල පිරිසක් පමණක් නොව වක‍්‍ර ආදායමක් ලබන සෑහෙන ජන කොටසක්ද අසරණ වන අතර ආයතන ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත් පියවර සේ සලකා තීරණ ගෙන තිබේ. ලෝක බැංකුව දක්වන පරිදි ඔවුන්ට අනුබද්ධ ආයතන හා එකතු වී මෙම ණය යෝජනා ක‍්‍රම ඇමරිකානු ඩොලර් බිලියන 150 දක්වා නංවන අදහසක සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියනයකි. දැනටමත් රටවල් අසූවක් එයින් ප‍්‍රකාශයට පත්කර ඇති හදිසි සහනවලට අයැදුම් කර ඇත. රටවල් හතළිස් නමයක් වේගවත් සහනවලට සුදුසුකම් ලබා ඇති අතර ඒවායෙන් ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනා ඉදිරි සතිය ඇතුළත මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. සංවර්ධන අභිලාශ සාක්ෂාත් කරනු සඳහා වේගවත් සහ මෙතෙක් අනුගමනය කරමින් සිටි සම්ප‍්‍රදායික කළමනාකරණයට වඩා වෙනස් තීරණ ගැනීමට ජාත්‍යන්තර ආධාර ආයතන සූදානමක සිටින බව නිරීක්ෂණය කළ හැකිය.
• ජාත්‍යන්තර ආධාර සම්බන්ධ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති
ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී තිබේ. තවමත් අවසන් වී නැති තාවකාලික ණය සංචිතයේ මෙහෙයුම් අතරතුර මෙරට ආර්ථිකය පත්ව ඇති අවදානම හමුවේ විශේෂ පියවර වෙනුවෙන් සාකච්ඡා කරන්නට ප‍්‍රදානක ආයතන සූදානම්ය. ලෝක බැංකුව දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 300ක හදිසි ආධාර අනුමත කර ඇත. මෙරට සිටින මූල්‍ය අරමුදලේ නියෝජිතවරයාද රජයේ අදහස් ගැන අවධානයක සිටී. ආණ්ඩුවේ වගවීම මත මෙරට රාජ්‍ය හා පුද්ගලික ව්‍යවසාය වෙනුවෙන් විශේෂ අඩු පොලී ණය වැඩසටහනක් දක්වා ගමන් කරන්නට හැකියාව තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හා දේශපාලන වාතාවරණය අවසාන තීරණයට බලපාන සාධක වනු ඇත.
කොවිඩ්-19 වසංගතයෙන් මිරිකී ඇති ආර්ථිකය යළි නගා සිටුවන වැඩ පිළිවෙළකට අනුමත කරන ණය ආධාර සම්බන්ධයෙන් ප‍්‍රදාන ආයතන තියුණු විමසිල්ලකින් ක‍්‍රියා කරනු ඇත. විශේෂයෙන් පසුවිපරම බලවත්වීමට ඉඩ තිබේ. දැනටමත් විදේශ ණය බර බලවත් වී ඇති අවස්ථාවක විනිමය උත්පාදනයට අවකාශ සැලසෙන අංශ කෙරෙහි ණය සම්පාදනය ඉලක්ක කරනු ඇත. එය ණය වාරික ආපසු අය කරගැනීමේ දී පහසුවකි. මෙම ආධාර පසුපස යම් යම් කොන්දේසි ඉදිරිපත් විය හැකි අතර දරුණු නැති නමුත් මෙම කොන්දේසි ක‍්‍රියාවට නැංවීමේ දී රට තුළ ඇතිවිය හැකි මතය ප‍්‍රසන්න නොවන්නට ඉඩ තිබේ. ප‍්‍රදානක ආයතන අත දිගු කර සහන බෙදන්නට සූදානම් නමුත් හැන්ද කෙළවර ඇති තරවටුව ගැන අවධානය යොමු නොකර සිටිය නොහැකිය. පහසුවෙන් දෙන ණය ආධාර පවා ලබාගැනීමේදී කෙරෙන ගනුදෙනුව, යම් ආකාරයකට නැවත වටයකින් ආණ්ඩුව කොටු කරන පියවරක් යැයි දැනෙන්නට ඉඩ තිබේ.
• දකුණු අතින් ගෙන වම් අතින් හසුරුවන වැඩපිළිවෙළක්
ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යාපාර පවතින අනතුරුදායක තැන ගැන තද විශ්ලේෂණයක් කළ යුතුය. දේශීය බුද්ධි පර් යේෂණ ආයතනයක් වන පාත්ෆයින්ඩර් පදනම කොවිඩ්-19 වසංගතයට පසු ආර්ථිකය මුහුණ දෙන තත්ත්ව සලකා සුදුසු විසඳුම් යෝජනා කළ හැකි පූර්ණ බලැති බලකායක් පත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. එය වැදගත්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු වැදගත් අංශ නැවත ප‍්‍රතිසංස්කරණයකට ලක්විය යුතුය. එහිදී අලුත් ජවයකින්, අලුත් කාර්යක්ෂමතාවයකින් ගත හැකි පියවර ගැන අවධානය යොමුකිරීම අවශ්‍යය.
ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතන යෝජනා කර ඇති පරිදි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත්ව මෙරට බැංකු පද්ධතිය මගින් ව්‍යාපාර හා කර්මාන්ත පුනර්ජනනීය ණය යෝජනා ක‍්‍රමයක් ඇරඹිය හැකිය. ඉතාම අඩු පොලියක් හෝ පොලී රහිතව මෙය නිකුත් කිරීමට නොහැකියාවක් නැත. අවශ්‍ය මෙහෙයුම් පිරිවැය පවා ආණ්ඩුවට දරාගත හැකිය. එමගින් ආයතන වසා දමා දරුණු කඩාවැටීම වැළැක්විය හැකිය. ඉකුත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක ව්‍යවසායකයෝ බලවත් දුෂ්කර තැනකට පත්වූහ. ආයතනික මට්ටමින් ප‍්‍රකාශ කර තිබුණ සහන ප‍්‍රයෝජනයට ගැනෙමින් තිබිය දී කොවිඩ්-19 ප‍්‍රහාරයට මුහුණ දීමට සිදුව ඇති බව නොරහසකි. නොබෝදා මෙරට රැඳී සිටි දහඅට දහසක පමණ අවසාන සංචාරක කණ්ඩායමට පසු කර්මාන්තයේ පැවැත්මට යමක් ඉතිරි වී නැත. සංචාරක හෝටල් ඇතුළු අංශවල සෘජු හා වක‍්‍ර රැකියා කළ පිරිස ගෙදර යැවීමට පුළුවන්කමක් තිබේද? ඇඟළුම් කම්හල්වල සේවක සේවිකාවෝ අතිරේක බස් රථ යොදා නිවෙස් වලට ඇරලූහ. මෙම පිරිසට එක මාසයක් වැටුප් ගෙවිය හැකිය. දෙවැනි හෝ තුන්වැනි මාසයේ වැටුප් නැතිවන විට ලක්ෂ සංඛ්‍යාත වෘත්තිකයන්ගේ ඉරණම විසඳන මගක් තිබේද?
අඩුම තරමින් මුලික නිෂ්පාදන කරගෙන යන තෙක් සේවක පිරිස හා පහසුකම් සපයන්නන් නඩත්තු කරන්නට ආයතනික අරමුදල් සම්පාදනය කරගත යුතුය. මෙරට බැංකුවලට මෙම සම්පූර්ණ අවශ්‍යතා ලබාදිය නොහැකිය. ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතන සමග එකතු වී ආණ්ඩුවේ ඇපවීම මත අළුත් ආර්ථික ව්‍යුහයක් හදන්නට අවස්ථාව තිබේ. ඉක්මන් තීරණ ගෙන වහා පියවර ගතහොත් දරැණු පිපිරීම වළකාගත හැකිය. එවැනි පියවරක් නොගතහොත් මෙම සියලු පිරිසගේ පිරිවැය බර ආණ්ඩුවේ ගෙලට එල්ල වන බව සැකයක් නැත.
ගාමිණී සරත් ගොඩකන්ද