2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

කෑම - බීම - බෙහෙත් ඇතුළු අවශ්‍යම දේ ළඟට ගෙනත්දෙන බලකාය

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 91

නව කොරෝනා අභියෝග හමුවේ සුපුරුදු ජීවන රටාවෙන් මිදුණු මහජනයා සිය අවශ්‍යතා සපුරා ගන්නේ කෙලෙසද? එය සමස්ත ලෝකයම මේ වනවිට මුහුණ දී ඇති දැවැන්ත අභියෝගයකි. විවිධ රටවල් ඊට අනන්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ මෙම අභියෝග ජයගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළේය. මේ විමසීම එම බළකාය සහ ඔවුන් මුහුණ දෙමින් ඇති අභියෝග පිළිබඳවයි. මෙම විශේෂ කාර්ය බළකා පිහිටුවීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය මාර්තු විසි හය වැනිදා නිවේදන කළේය.

“ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී සමස්ත ජනජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්යසාධක බලකායට පැවරේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත්කර ඇත.” යනුවෙන් එහි දැක්වුණි. ඒ අනුව මෙම විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රමුඛ අරමුණ කොරෝනා වෛරසය මඟින් අවදානමට ලක්වී ඇති දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් සමස්ත ජනජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීමයි. ඊට අදාළ කටයුතු මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම මේ හරහා සිදුවෙයි.

මෙම කාර්යසාධන බලකායේ සාමාජිකත්වය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය වන පරිදි පත්කොට තිබේ. ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරැන් සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙහි සාමාජිකයෝ වෙති. ඊට අමතර දෙපාර්තමේන්තු සංස්ථා සහ අධිකාරී රැසක සභාපතිවරුන් සහ දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හතළිස් දෙනෙක් මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස පත්කර සිටිති. ඒ අනුව මෙම කාර්ය සාධක බලකාය නම්කර ඇත්තේ “අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව සැපයුම සම්බන්ධීකරණ සහ පසුවිපරම පිළිබඳව වූ විශේෂ කාර්ය සාධක බලකාය” ලෙසයි.

මේ මොහොත වනවිටත් විෂයන් රැසක් ඔස්සේ මෙම විශේෂ කාර්ය සාධක බලකායේ මෙහෙයම් කටයුතු සිදුවෙමින් තිබේ. මෙහි ප්‍රධාන විශාල ක්ෂේත්‍ර ලෙස දක්වා ඇත්තේ පහත දැක්වෙන අංශයි.

• විදුලිබලය, ජල සම්පාදනය, කසළ කළමනාකරණය
• ඉන්ධන හා ගෑස් සැපයීම
• මගී ප්‍රවාහනය කටයුතු සම්බන්ධීකරණය හා කළමනාකරණය
• අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ සැපයීම, බෙදාහැරීම හා මිල පාලනය සම්බන්ධීකරණය හා කළමනාකරණය
• ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් පරිපාලන කටයුතු සම්බන්ධීකරණය හා කළමනාකරණය
• ග්‍රාමීය ආර්ථිකය පවත්වාගෙන යාම සම්බන්ධීකරණය හා කළමනාකරණය 
• ජාතික ආර්ථිකය පවත්වාගෙන යාම සම්බන්ධීකරණය හා කළමනාකරණය 

මෙම කටයුතු පත්වාගෙන යාම පවතින තත්ත්වය හමුවේ අතිශය අභියෝගාත්මක රාජකාරියකි. විශේෂයෙන්ම ආහාර, ජලය, විදුලිය, දෛනික වැටුප් ලබන්නන්ගේ ගැටලු, ධීවර, අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහන කටයුතු, කෘෂිකර්ම ආදී අංශවලදී විශාල පරිශ්‍රමයක් දැමීමට මෙහි සාමාජිකයන්ට සිදුව තිබේ. ඒ අනුව කාර්යසාධක බලකායේ සංවිධනය ව්‍යූහය අතිශය වැදගත් වේ. පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා මෙම බලකායේ සංවිධනය ව්‍යූහය පිළිබඳව මෙසේ පැහැදිලි කළේය.

“අපි මේ කාර්ය සාධනයට අලුතින් කිසිම කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නේ නෑ. දැනට ඉන්න අයගෙන් තමා කටයුතු සිදුවෙන්නේ. අපේ පරිපාලන ව්‍යූහයන් තිබෙනවා. අමාත්‍යාංශ සහ ආයතනවලට අමතරව ගම දක්වා විහිදුණු ව්‍යුහයක් තියනවා. මේ තුළ තිබෙනවා ආණ්ඩුකාරවරු සහ එක්වුණු පළාත් නවයේ ව්‍යූහයක්. ඊළඟට තියනවා දිස්ත්‍රික් විසිහය තුළ දිස්ත්‍රික් ලේකම්වරු හරහා ව්‍යූහයක්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සිය විසි ගණනක ව්‍යූහයක් තිබෙනවා. ඊට අමතරව පළාත්වල ආයතන, එහි බල කොට්ඨාස වගේම ග්‍රාමසේවා වසම් දාහත මේ හරහා ආවරණය වෙනවා. එක ග්‍රාමසේවක වසමක අපේ නිලධාරිනියන් කිහිපය දෙනෙක් ඉන්නවා. උපාධිධාරී සංවර්ධනය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, පවුල් සෞඛ්‍ය නිලධාරී ආදී නිලධාරී රාශියක් ඉන්නවා. නිවාඩු ලැබුණු ගුරුවරු, විදුහල්පතිවරු ඉන්නවා. මේ හරහා තමා කටයුතු ක්‍රියාත්මක වෙන්නේ.”

මෙම ක්‍රියාවලිය දෙස බලන විට එය ඉතා සංවිධානාත්මක බව පෙනුණද ඇතැම් තැන ගැටලු මතුවූ බව පෙනෙන්නට තිබුණි. මෙය සියලු වැඩපිළිවෙළ තවම ආරම්භ අවස්ථාවේ පැවතීම ඊට හේතුව බව බොහෝ රාජ්‍ය නිලධාරීහු පවසති. සමස්ත ක්‍රියාවලියම කණපිට පෙරළීමක් සිදුවනවිට ඊට අනුගත වීමට මහජනයා මෙන්ම නිලධාරීන්ට යම් කාලයක් ඇවැසි බව පිළිගත යුතුය. එහෙත් මෙම නව ක්‍රියාවලිය සාර්ථක කරගැනීම බොහෝ රාජ්‍ය සේවකයෝ දිවා රෑ නොබලා රාජකාරි කටයුතු සිදුකරමින් සිටිති. අත්‍යවශ්‍ය සේවාවන් විදුලි ජලය වැනි සේවාවන් පවත්වාගෙන යෑමට ඔවුන් විශාල කැපකිරීමක් කරමින් සිටින බව බැසිල් රාජපක්ෂ මහතාද පෙන්වා දෙයි.

කොරෝනා වෛරසය පැතිර යාමේ වැඩි අවදානමක් සහිත කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය දෙමින් සෙසු දිස්ත්‍රික්ක කෙරෙහිද මෙම කාර්ය සාධක බලකාය අවධානය යොමු කරයි. මේ හා සම්බන්ධව වීමට ජතාවට මේ වනවිට අවකාශ උදාකර තිබේ. ඒ අනුව පහත සඳහන් දුරකථන අංක මගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැකිය.

දුරකථන අංක :- 0114354854, 0114733600
සෘජු දුරකථන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204
ෆැක්ස් අංක :- 0112333066, 0114354882
ඊමේල් ලිපිනය ptf@pmoffice.gov.lk
සටහන - චමිඳු නිසල් ද සිල්වා