ආගමික හා සංචාරක මූලස්ථානයක් ලෙස ලොවම හඳුන්වන මහනුවර පුරවරයෙන් කොරෝනා රෝගීන් සිවු දෙනෙකු හමුවීමත් සමග මුළු නගරය හා අවට නගරත් මිනිසුන්ගෙන් තොර වූ ජනශූන්‍ය ප්‍රදේශ බවට පත්විය.
උඩරට බොහෝ ප්‍රදේශවල මිනිසුන් තරුණ පිරිස් ඇඳිරි නීතිය හා රටේ නිතියද ඉතා සුළුකොට තකමින් මහමගට බැස හැසිරුණු ආකාරය, සිදුකළ ඇතැම් සමාජ විරෝධී ක්‍රියාවන් අද වනවිට නීතිය සුරකින පොලීසියටද පාලනය කිරීම ඉතා දුෂ්කර වී තිබේ.
ඇතැමුන්ට (නීතිය) විහිළුවක් බවට පත්ව තිබිණි. හිතූ හිතූ ආකාරයට ත්‍රිරෝද රථ හා තම තමන්ගේ පෞද්ගලික රථවාහන ඇඳිරි නීතිය අවස්ථාවේ මහපාරට දමා උජාරැවෙන් ගමන් ගන්නා මිනිසුන්ද දැකගත හැකි විය.
සොරුන් මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිධන් සොරුන් විසින් ඇඳිරි නීතිය තුට්ටුවකට මායිම් නොකළ අවස්ථා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබූ අවස්ථාවන්හිදී පොලිස් වැටලීම්වලින් මනාව අනාවරණය කරගත හැකිවිය.
උඩදුම්බර පොලිස් වසමේ කොබෝනිල්ල හෙයාර් පැක් වතු ආශ්‍රිත පෙදෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබියදී නරුම මිනිසුන් පිරිසක් සුඛෝපභෝගී මෝටර් රියකින් පැමිණ නිධන් හෑරීමේ නිරත වී සිටියදී උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.බී. කාංගර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නිධන් හෑරීමට යොදාගත් උපකරණ හා පූජා භාණ්ඩද සමඟය.
මෙහිදී මොණරාගල, වත්තේගම, දෙහිඅත්තකණ්ඩිය හා මහියංගණය යන ප්‍රදේශවල පදිංචිකරුවන් 07 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතරම ඇඳිරි නීතිය කඩ කරමින් මහමග ධාවනය වූ ත්‍රිරෝද රථ හා පෞද්ගලික බස් රියක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වද්දී තම මඩිය තරකර ගැනීම සඳහා රජයේ අරක්කු අධික මිලකට විකුණා අයථා ලෙස මුදල් උපයාගත් බලගොල්ල පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නිවසක් වටලා අරක්කු බෝතල් 26ක් අත්අඩංගුවට ගන්නට පොලිසියේ නිලධාරීන්ට හැකි විය. එම ජාවාරම්කාරිය අරක්කු බෝතලයක් රුපියල් 3500ක මුදලකට නීති විරෝධීව අලෙවි කරන බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.
ඇඳිරි නීතියත් ඊට ගිලගත් වසංගත රෝගය ගැනවත් අබැටක හැඟීමක් නැති තවත් නරුමයන් කීප දෙනෙක් (රංගල පොලිස් වසමේ රංමුල්ල ගම්මානයේ මුදල් ඔට්ටුවට) සූදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී රංගල පොලීසියේ ස්ථානාධිපති පො.ප. සමන් කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම බූරැපොළ වටලා අත්අඩංගුවට ගනු ලැබූහ. රුපියල් 30,000/-කට අධික මුදල් සමග සූදු ක්‍රීඩාව මෙහෙය වූ ත්‍රිරෝද රථ රියදුරන් හා ව්‍යාපාරිකයන් ඇතුළු සිවුදෙනෙකු කොටු වී තිබිණි.
මත්පැන් අලෙවිසල් වසා තිබීම නිසා වැඩිමිලට අරක්කු විකිණීමේ ජාවාරමට අත ගැසූ නාවලපිටියේ ත්‍රිරෝද රථ රියදුරෙක් රජයේ අරක්කු බෝතල් 10ක් තම ත්‍රිරෝද රියේ සඟවාගෙන රැගෙන යමින් සිටියදී දවුලගල පොලිසියේ නිලධාරීන් විසින් වැලිගල්ල නගරයේදී මාර්ග බාධක යොදා ඔහු අරක්කු සමග අත්අඩංගුවට ගනු ලැබීය.
රජය කොරෝනා වසංගතය මිනිසුන් අතර පැතිරීම වළක්වාලීම සඳහා මහජනතාව ඒකරාශි වීම වළක්වාලීමට ඇඳිරි නීතිය යොදා රාජ්‍ය සේවයට නිවාඩු ලබාදී මිනිසුන් නිවෙස් තුළම රඳවා තැබීමට උත්සාහ දැරූ අවස්ථාවේ ජාවාරම්කාරයන් සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදෙන්නන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඇඳිරි නීතිය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ජාවාරම් කරගෙන යාමට උත්සාහ දරා තිබිණි.
ඇඳිරි නීතිය යොදවා පොලීසිය හමුදාව මහමග ආරක්ෂාවට යොදවා තිබියදී නීතිය නොසළකමින් නිකරුණේ මහමග රථවාහනවලින් හා පා ගමනින් සැරිසැරූවන් 400කට අධික සංඛ්‍යාවක්, මහනුවර කොට්ඨාසයේ ඒ ඒ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගත් බවත්, වාහනද රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
මහනුවර පොලීසිය ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 30ක්ද වාහන 04ක්ද මාතලේ පොලීසිය ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 39ක්ද වාහන 09ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. තෙල්දෙණිය පොලීසිය පුද්ගලයන් 18ක් සහ වාහන 04ක් ඇඳිරි නීතිය කඩකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන ඇත. මේ සියලුදෙනාටම අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව නියෝජ්‍ය පොලිස්පති රණවීර මහතා වැඩිදුරටත් පැවසීය.
එදා වේල කුලී වැඩ කරමින් දවසට මුදලක් උපයාගත් අසරණ මිනිසුන්ට ආහාර වේලක් ලබාදීමට දේශපාලනඥයන් ඉදිරිපත් නොවුණද මානුෂීය හදවත් සහිත මිනිසුන් අතලොස්සක් තම තමන්ට හැකි අයුරින් උදව් උපකාර කිරීමේ සිද්ධීන්ද වාර්තා විය.
සමහරු පොල්ගෙඩිය රුපියල් 100ක මුදලකට අලෙවි කර අසරණ වූ ජනතාව ගසා කෑමට ලක්කළහ.
මේ අතර මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු පිට පළාත්වලින් සෞඛ්‍ය සේවාවට එක්වූ ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ඔවුන් කාලයක් තිස්සේ වාසය කළ කුලී පදනම මත මහනුවර නගරය තුළ නිවාස (ඇනෙක්සි) කාමරවලින් ඔවුන්ව ඉවත් කිරීමට ඇතැම් නිවාස හිමිකරුවන් කටයුතු කර තිබුණේ කොරෝනා වසංගතයට බියවීම නිසාය.
තමන්ට උන්හිටි තැන් අහිමි වී යන එනමං නැති තත්ත්වයකට පත්වූ මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජික සාමාජිකාවන්ට නේවාසිකව විසීම සඳහා මධ්‍යම පළාත් සභාවට අයත් රාජ්‍ය ගොඩනැගිල්ලක් වන ගුරුදෙණියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය සතු සම්පත් මධ්‍යස්ථානය ලබාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා පළාත් සභාවේ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මහනුවර ප්‍රදේශයේ එළවළු තොග අලෙවි ව්‍යාපාරයේ යෙදෙන දිගන නගරයේ ව්‍යාපාරික මහතකු විසින් රුපියල් 2000ක පමණ වටිනාකමකින් යුත් එළවළු මළු 6000ක් නොමිලේ බෙදාදීමට කටයුතු කර තිබීම පැසසිය යුතු මානුෂීය ක්‍රියාවක් බව බොහෝ දෙනෙක් පැවසූහ.
ඇතැමුන් මුඛ ආවරණයක් රුපියල් 100ක මුදලකට පදික වේදිකාවේ සිට මහජනතාවට අලෙවි කරමින් කොරෝනා වසංගත රෝගය හරහා තම බඩ වඩාගත් අවස්ථාද මහනුවර නගරයේ දක්නට ලැබිණි.
ඇතැම් පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරු ප්‍රමුඛ පොලිස් නිලධාරීන් විසින් අසරණ වී සිටින එම පොලිස් වසම්වල පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමද සිදුකෙරිණි. මහනුවර රංගල හා තෙල්දෙණිය පොලිස් ස්ථානවලින් එම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි. (අකුරණ) නගරයට ආසන්න තෙළඹුගහවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයකුට කොරෝනා වෛරසය ආසාදිත වීමත් සමග මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අකුරණ නගරය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශවල ජනජතාවට අකුරණින් පිටවීම තහනම් කොට දැඩි පොලිස් හමුදා සහ විශේෂ කාර්ය බළකා (STF) ආරක්ෂාව යොදවා මාර්ග බාධකද යෙදවීමට රජය පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග එයට ගොදුරු වූ අකුරණ ආසාදිතයා මහනුවර අවට මුස්ලිම් ගම්මානවල සැරිසරා ඇති බවට සෞඛ්‍ය අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
ජේ.ඒ.එල්. ජයසිංහ