2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

පුත්තලමට තුන්බිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මුකුත් දන්නේ නැතිලු

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 49

කොරෝනා වෛරසයෙන් ගිනිගත් පුත්තලමට කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම වෛරසය පැතිරී යාම වැළැක්වීමට මහත් පිටුවහලක් විය. නිරෝධායනය කළ 10 දෙනකු කොරෝනා ආසාදිතයින් බව හඳුනාගෙන 2020.03.31 වැනි දින රාත්‍රියේ යුද හමුදා රැකවල් මැද කොළඹ මුල්ලේරියා අයි.ඩී.එච්. රෝහලට යැවීමට පියවර ගැනුණි.

2020.03.28 වැනි දින පුත්තලම 617/බී නැගෙනහිර කඩුමයාම්කුලම් ගම්මානයෙන් පුත්තලම පොලිස් බල ප්‍රදේශයෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවිය. පසු දින 2020.03.29 වැනි දින පෙරවරැවේ පුත්තලම සහිරා ජාතික පාසල නිරෝධායනය මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට පුත්තලම 58 යුදහමුදා බලසේනාංකයේ බලසේනාධිපති ප්‍රියංක ප්‍රනාන්දු සහා තබ්බෝව 143 බලසේනාංකයේ බලසේනාධිපති දම්මික දිසානායක යන නිලධාරින්ගේ කටයුතු කළෝය.
29 වැනි දින සවස තුන පමණ වනවිට අංගසම්පූර්ණ පහසුකම් සහිත නිරෝධායන ම්‍යස්ථානයක් ලෙස සකස් කිරීමට යුද හමුදාවට හැකි විය. ඊට යුදහමුදා සෙබළුන් විශාල පිරිසක් සහභාගී වූ අතර පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස් මහතාගේ සහා නගර සභාවේ නිලධාරීන්ගේද සහාය ලැබී තිබුණි.

කොරෝනා රෝගය ආසාදනය වූ පුද්ගලයා සමඟ සමීපව ඇසුරැ කළ කඩුමයාම්කුලම ගම්මානයේ පදිංචිව සිටි පවුල් එකොළහක 67 දෙනකු නිරෝධායනය සඳහා සහිරා ජාතික පාසලේ සකස් කළ නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශවලට හැකිවිය. ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වීමත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කය අවදානම් කලාපයක් බවට පත්විය.

සංචාරක කලාපයක් වූ කල්පිටිය, විල්පත්තුව, තබ්බෝව විදේශීය සංචාරකයන් බහුලව පැමිණීම හා නොරච්චෝල බලාගාරයේ සේවය කරන  චීන ජාතිකයින් පුත්තලමේ ජීවත් වීමත් අවධානමට හේතුවූ ලෙසම විදෙස් ගතව සිටී ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීම හා වෙන්නප්පුව ප්‍රදේශයේ සිට ඉතාලියට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් යළි දිවයිනට පැමිණීමත් වැඩි අවදානමකට හේතුවූ කරුණු අතර විය.

ඉතාලි රටේ කොරෝනා වෛරසය වැළඳුනු රෝගීන් විශාල වශයෙන් හමුවීමත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳ වැඩි අවධානයක් රජය යොමුකළද වෙනත් රටවල සිට පැමිණි අයටද මේ වසංගතය පැතිරී යාම වළක්වා ගැනීමට උපදෙස් ලබාදීම සිදු කෙරිණි. එසේ වුවද විදෙස් ගතව මෙරටට පැමිණි ඇතැම් අයගේ ක්‍රියා කලාපය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයටත් කොරෝනා වසංගතය පැතිරෙන්නට විය.

ජනතාව ඒකරාශිවීම හේතුවෙන් පැතිරී යන කොරෝනා වසංගතය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක කළද එය නොතකා ඇතැම් පුත්තලම නගරාසන්නයේ පිරිස් ඒකරාශී වන ආකාරයට හිතුමනාපේ කටයුතු කිරීම සිදුවිය. එවැනි පුද්ගලයින් විශාල වශයෙන් දිනෙන් දින පොලිස් අත්අඩංගුවට පත් වෙමින් පවතී.

ඇතැම් දේශපාලන සම්බන්ධතා පවත්වන පිරිස් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් අත්අඩංගුවට පත්වෙද්දී ඔවුන් බේරාගන්න දරන උත්සහයන් පිළිබඳ වාර්තා විය. පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙම සටහන ලියන අවස්ථාව වනවිට 25ක් දක්වා ඉහළ මට්ටමක පැවතියද එය තවත් ඉහළ යෑමක් මිස පහත බැසීමක්  පෙනෙන්නට නැත.

පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ කඩුමයාම්කුලම් ගම්මානයෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා ආගමික කටයුත්තක් සඳහා කැනඩාවට ගොස් පැමිණි වයස අවුරැදු 55 මුස්ලිම් ජාතිකයෙකි. 2020.03.17 වන දින ලංකාවට පැමිණි ඔහුට 27 වැනි දින උණ රෝගය වැළඳීමත් සමග 28 වැනි දින ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඔහු රෝහල්ගත කෙරි‍ණි. ඔහු විදෙස් රටේ සිට ලංකාවට පැමිණි ගුවන් යානයේ සිටි අයටත් නිරෝධායනය සඳහා ඉදිරිපත් වන ලෙස රජය දැනුම් දී තිබේ. පුත්තලම කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට ගතහැකි සියල්ල උපරිමයෙන් සිදුකිරීමට පියවර ගෙන තිබුණි.

පුත්තලම නගර සභාව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් නගරය පුරා මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගැනුණි. යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලීසිය, සොඛ්‍ය අංශ විශාල කාර්ය බාරයක් සිදුකරමින් පුත්තලම නගරය සහා ජනතාව ගැවසෙන ස්ථාන පිරිසිදු කරමින් විෂහරණය කිරීමට කටයුතු කළේය.

පුත්තලම නිරෝධායනයට ලක්කළ 67 දෙනා අතරින් කොරෝනා ආසාධනය වූ පුද්ගයින් 10 දෙනකු හමුවී තිබුණි. 2020.03.31 වැනි දින රාත්‍රියේ ඔවුන් දසදෙනා ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව මූලික රෝහලට රැගෙන ගියේ විශේෂ යුද හමුදා බස් රථයකිනි. එය  සැලවීමත් සමඟ ජනතාව තැතිගැන්වීමට ලක්වී ඇත්තේ මේ තත්ත්වය කොතරම් දුරට ව්‍යාප්ත වේද යන්න ඇති සැකය හේතුවෙන්.

කොරෝනා වෛරසය පුත්තලමට මෙතරම් දරුණු ලෙස පැතිරි යමින් තිබියදී එය පාලනය කිරීමට නගර සභාව, පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සෞඛ්‍ය අංශවල පහළ පෙලේ ඇතැම් නිලධාරීන් දිවා රෑ නොතකා වෙහෙස වෙමින් කටයුතු කරත්දී  පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ කිසිවක් පිළිබඳ අනවබෝධයකින් කටයුතු කරන බව වාර්තා වී තිබුණි. එය තහවුරු කර ගැනීම සඳහා පුත්තලම කොරෝනා තත්ත්වය පිළිබඳ දුරකථනයෙන් විමසීමේදී ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.

2020.03.29 වැනි දින සවස 551ට සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයේ පිවිසුම් දොරටුව අසල කුකුලක් පිට කුකුලක් දමා ගනිමින් වාඩිවී සිටි පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් මාධ්‍යවේදීන් කළ තොරතුරු විමසීමේදී ඔහු කිසිවක් නොදන්නා බව පැවසීය. සියලු රාජ්‍ය නිලධාරීන් දිවි හිමියෙන් කටයුතු කරත්දී  ප්‍රාදේශීය  සෞඛ්‍ය වෙද්‍ය නිලධරයා කකුලක් පිට කකුලක් දමා කාලය ගත කරත්දී  කිසිවක් නොදැන සිටීම පුදුමයක් නොවන බව වටහා ගත් මාධ්‍යවේදීන් නිහඬ වී සිටියහ.

මෙතනින් යන ලෙස මාධ්‍යවේදීන්ට බලපෑම් කරමින් වෙද්‍යවරයා කකුලක් පිට කකුලක් දමා ආතල් ගන්නා සැටි අප කැමරා කාචයේ සටහන් විය. මෙම සෞඛ්‍ය වෙද්‍යවරයාගේ මාධ්‍ය තුළ පළකළ නොහැකි තත්ත්වයේ අඩුපාඩු පවතින අතර ඒ පිළිබඳ වයඔ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට මාධ්‍ය කටයුතු කර ඇත.

රෝවන් පෙරේරා - පුත්තලම