2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

කෝවිඩ් 19න් මියගිය ශ්‍රී ලාංකිකයෝ

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 94

කොවිඩ් 19 වෛරසය මේ වන විට රටවල් 199 ක පැතිර යමින් මිනිසුන් ලක්ෂ 9කට අධික සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත් කර තිබේ. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එම වෛරසයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 47, 260ක් වන අතර සුවය ලද පිරිස 194, 599ක් බව පැවසේ. ලොව මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.  රාජකීයයන්, අගමැතිවරුන්, මැති ඇමැතිවරුන්ටද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජුගේ ඥාති සොහොයුරිය වූ මරියා තෙරේසා කුමරිය කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බවද වාර්තා විය. ඒ අනුව කොරෝනාවෙන් මිය ගිය පළමු රාජකීයයා වන්නේ ඇයයි.

මෙම වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා වූයේ ඉතාලියේ සේවය කරන 46 හැවිරිදි කුමුදිනී මාපුටුගල නමැති කාන්තාවකි. ඇය වසර 10 ක පමණ කාලයක සිට ඉතාලියේ බ්‍රේෂියා ප්‍රදේශයේ වාසය කරන අතර කොරෝනා ආසාදිත වයෝවෘද්ධ ඉතාලි ජාතික කාන්තාවක රැක බලාගැනීම නිසා ඇයටද එම රෝගය වැළඳුණු අතර පසුව සුවය ලැබුවාය. 

කොවිඩ් 19  වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වූයේ ස්විට්සර්ලන්තයෙනි. යාපනයේ උපත ලද ඔහු 59 හැවිරිදි ලෝහනාදන් සතාසිවම් නමැත්තකු වූ අතර මාර්තු 25 දින රැපර්ස්විල් යෝනා නම් ප්‍රදේශයේ පිහිටි තම නිවහනේදී කොරොනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ. ඔහුට රෝගය වැළඳී ඇති බවට ඉන් දින කිහිපයකට ඉහත තහවුරු කෙරුණු අතර වෛද්‍ය උපදෙස් මත නිවෙසේ සිටම නිරෝධායනයට ලක් වෙමින් සිටියදී මරණයට පත්ව තිබේ.

ඉන්පසු මරණයට පත් වූ ශ්‍රී ලාංකිකයකු පිළිබඳව වාර්තා වූයේ එංගලන්තයෙනි. එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හැටහය දහසක් පමණ වාසය කරන බව පැවසේ. ඔවුන් අතුරින් වැඩි පිරිසක් වාසය කරනුයේ සරේ හා හවුන්ස්ලෝ ප්‍රදේශයේය. හවුන්ස්ලෝ ප්‍රදේශයේ ඉතා ජනාකීර්ණ නගරයක් වන එය ලන්ඩන් නගරයට  සැතපුම් 10ක් පමණ නුදුරින් පිහිටා තිබේ.  එම ප්‍රදේශයේ  බ්‍රිතාන්‍ය ජාතිකයන්ද දෙලක්ෂයක් පමණ වාසය කරති. ඔවුන් අතුරින් 140කට පමණ මේ වන විට කොරෝනා රෝගය වැළඳී ඇති අතර මරණයට පත් වූ ශ්‍රී ලාංකිකයා 61 හැවිරිදි හෙන්රි ජයවර්ධන මහතාය. ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු මින් වසර 12කට පමණ ඉහත එංගලන්තයේ පදිංචියට ගොස් තිබේ. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඔහු. දරු තිදෙනකුගේ පියෙකි. ජයවර්ධන මහතා හදිසියේ අසනීප වීම නිසා පසුගිය 26 දින ලන්ඩනයේ නෝත් වෙස්ට් යුනිවසිටි රෝහලට ඇතුළක් කර තිබේ. එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇති අතර මාර්තු 29 දින මරණයට පත්ව තිබේ.  හීත්රෝ ගුවන්තොටුපළ වෙත යන දුම්රියෙන් ඔහු නිතර ගමන් කර ඇති අතර එම දුම්රියේ ගමන්ගත් ගුවන්තොටුපලේ සිට පැමිණි මගියකුගෙන් ඔහුට කොරෝනා රෝගය වැළඳෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වන සංජීව ජයවර්ධන තම ෆේස් බුක් පිටුවේ තම පියාගේ මරණය පිළිබඳව මෙලෙස සටහන් කොට තිබිණි.  “මගේ ආදරණීය පියා අභාවප්‍රාප්ත විය මේ මාරාන්තික කෝවිඩ් 19 වෛරසය ගැන බරපතල ලෙස සිතන්න ඔබගේ කුඩා නොසැලකිලිමත්කම නිසා ඔබේ ආදරණීයයන්ට මරණය ගෙන ආ හැකිය.”

ඉන් දිනකට පසු හවුන්ස්ලෝ ප්‍රදේශයේ පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයකු කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්විය. ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවකුව සිටි ලක්ෂ්මන් විජේරත්නය. 60 හැවිරිදි එම පුද්ගලයා කලක් ඉතාලියේ වාසය කර පසුව එංගලන්තයේ පදිංචියට පැමිණි අයෙකි.

කොරෝනා රෝගය වැළඳීමෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වූ පළමු මරණය වාර්තා වූයේ මාර්තු 28 වැනිදාය. එම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි සංචාරක මගපෙන්වන්නකු වූ ඔහු ධර්මසිරි ප්‍රනාන්දු නමැත්තෙකි. අවසන් වරට ජර්මානු සංචාරකයන් පිරිසක් සමඟ සංචාරය කර ඇති ඔහුට ඔවුන්ගෙන් එම රෝගය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ. ඔහු මීට කලකට ඉහත වකුගඩු බද්ධයකට ලක්ව සිටි අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනය යන රෝගවලින් පෙළුණු පුද්ගලයෙකි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් විය. ඔහුගේ සිරුර විශේෂ රුකවරණ යටතේ කොටිකාවත්ත පොදු සුසානභූමියේදී ආදාහනය කරනු ලැබීය.

වසංගත රෝගයකදී මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියලු රටවල් වෙත නිර්දේශ කර තිබේ..

ඒ අනුව මිය ගිය පුද්ගලයාගේ දේහය පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර මරණ පරීක්‍ෂණ හෝ ආගමික කටයුතු සිදු කළ නොහැකිය.

පවුලේ සාමාජිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉතා සීමිත කාලයක් ලබාදෙන අතර එය රෝහල් පරිශ්‍රය තුළදී සිදු කළ යුතුය.

ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය පුද්ගලයාගේ මුහුණ පමණක් වන අතර ශරීරය ස්පර්ශ කළ නොහැකිය. දේහයන් බහාලීම සඳහා නිර්දේශ කර ඇති විශේෂිත ප්ලාස්ටික් ආවරණයක බහා පෙට්ටියකට දමා සීල් තබනු ලැබේ. ඉන්පසු මිහිදන් කිරීමට හෝ  පුළුස්සා දැමීම කළ යුතුය. මිහිදන් කරන්නේ නම් අඩි 6ක වළක් නොව අඩි අටක් ගැඹුරු වළක දැමිය යුතුය. ආදාහනය කිරීම සඳහා සහභාගිවන පුද්ගලයන් නිසි සෞඛ්‍ය ආරක්ෂිතව එය කළ යුතු වන අතර ඒ අවස්ථාවේ ඔවුන් ඇඳ සිටි ඇඳුම් ආදිය සියල්ලම මෘත ශරීරය සමගම පුළුස්සා දැමිය යුතුය.

කොවිඩ් 19 වෛරසයට බිලිවීම නිසා මෙරට සිදු වූ දෙවැනි මරණය මාර්තු 30 වැනිදා වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළ පරිදි එම පුද්ගලයා මීගමුවේ පෝරැතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි  ඉස්ලාම් භක්තිකයෙකි. දිගු කාලයක සිට ස්වසන ආබාධයකින් පෙළුණු ඔහු  හෘදයාබාධයක් වැළඳී ඇතැයි පවසමින් මීගමුවේ පෞද්ගලික රෝහලකට ඇතුළු වී ඇති අතර පසුව මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබේ. තමා පිළිබඳ සැබෑ තොරතුරු වෛද්‍යරුන්ට ඉදිරිපත් කර නොමැති එම රෝගියා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා වෛරසය වැළඳුන අයකු බවට සනාථ විය. ඔහුගේ සිරුර මීගමුව මහනගර සභා පොදු සුසාන භූමියේදී ආදාහනය කෙරිණි. ඔහු ප්‍රතිකාර ගත් මීගමුව මහ රෝහලේ වාට්ටුව මේ වන විට  වසා දමා ඇති අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 20 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

කොරෝනාවෙන් මරණයට පත් තුන්වැනි පුද්ගලයා මරදාන ප්‍රදේශයේ වැසියෙකි. 75 හැවිරිදි ඔහු අයිඩීඑච් බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් විය.

එම මරණය සිදුවන අවස්ථාව වන විට මෙරටින් කොරෝනා රෝගීන් 148ක් වාර්තා වී තිබිණි.  ඔවුන්ගෙන් 14 දෙනකු සම්පූර්ණ සුවය ලද අතර ඉතිරි පිරිස ප්‍රතිකාර ලබමින් සිටිති. කොවිඩ් 19 වෛරසය අතිශය භයානක වෛරසයක් බවත් එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 2.5කට එය පැතිරිය හැකි බවත්, සමස්ත ලෝක ප්‍රජාවෙන් 10%ක් පමණ  මරණයට පත් විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එහෙයින් දැඩි සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවද පැවසෙයි. එලෙස දැඩි ක්‍රියාමාර්ග මගින් රෝගය පාලනය කිරීමට ක්‍රියා කළ රටවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිණි. පාලනය නොකල ඉතාලිය, ඇමෙරිකාව එංගලන්තය හා ස්පාඤ්ඤය වැනි රටවලින් විශාල වශයෙන් රෝගීන් හා අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා