කොරෝනා රෝගය වැළඳුණු චාර්ල්ස් කුමරා සුවය ලබා ඇති බව දැන් ටික වේලාවකට පෙර වාර්තා වූයේය. ලෝකයේ මිනිසා තුළ උස් මිටි කම්, කුදු මහත් කම් නොතැකූ කෝවිඩ් 19 වෛරසය පොදුවේ මානව සංහතියටම වින කරමින් සිටී. හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටය හිමි කුමරාටත් කොරෝනා වැළඳුණි. දැන් ලෝකයේ අසව් ගැලවී ඇත. මානවයා ගොඩනැගූ ආර්ථික රජදහන්, පිළිවෙළ සියල්ල දෙදරා යමින් තිබේ. පරිවහණ, සෞඛ්‍ය, ආර්ථික, අධ්‍යාපන ක්ෂේත්‍රවල ගෝලීය වශයෙන් තිබූ සබඳතා ඇණහිට තිබේ. මෙවැනි අර්බුද හමුවේ මුදල්වලින් වැඩක් නොවන බව පසක් කරගත් ඉතාලි වැසියන් වීදි පුරා මුදල් වීසි කොට තවත් පණිවිඩයක් ලෝකයාට දී තිබේ. එය ඇත්තෙන්ම අනතුරු හැඟවීමකි.
මේ වසංගතය අපේ කාලයේ දුක් විඳින අලුත් වසංගතයක් වුවත් මේ ලෝකයා අත්විඳින මුල්ම වසංගතය නොවේ. ක්‍රි.පූ. 3000 පමණ සිදුවූ පූර්ව ඓතිහාසික යුගයට අයත් කාලයේ සිදුවූ වසංගතයක ද්‍රව්‍යමය සාක්ෂි චීනයෙන් හමුවී තිබේ. පූර්ව ඓතිහාසික යුගයේ චීන ගම්මානයක වසංගතයකින් මියගිය සියලු දෙනාගේ මෘත ක්ලේබර එකම ගෙයක බහා ගේ පිටින් පුළුස්සා දැමූ පුරාණ ගෘහයක සාක්ෂි චීනයෙන් ලැබේ. එම පුරාවිද්‍යාත්මක භූමිය දැන් හමින් මන්ග්හා (Hamin Mangha) යනුවෙන් හැඳින්වේ.
එතැනින් පටන්ගෙන කොරෝනාව දක්වා වසර 5000ක කාලයක් පුරා වරින්වර මානව ජීවිත බිලිගත් ප්‍රධාන වසංගත 20ක් පමණ ඉතිහාසය පුරා හඳුනාගත හැකිය. බොහෝවිට එම වසංගත නම්කොට ඇත්තේ රෝගයේ නමින් නොවේ. මහාමාරිය, වසූරිය, කොලරාව ආදී වසංගත රෝගවල නම කියන්නටද මිනිසා බිය වූ නිසා, වෙනත් නම්වලින් එම වසංගත කාල හඳුන්වා ඇති බවක් පෙනේ.
ක්‍රි.පූ. 430 ඇතුන්පය පහර කෑ වසංගතයෙන් ලක්ෂයක් පමණ දෙනා මියගිය බව වාර්තා වේ. ක්‍රි.ව. 541-542 කාලයේ පැමිණි ජස්ටීනියානු වසංගතයෙන් බයිසෙන්තියානු අධිරාජ්‍යයේ බිඳ වැටීම ආරම්භ වූයේය. 1346-1353 කාලයේ යුරෝපය පුරා පැතිර ගිය කළු මරණය (Black Death) මිනිස් ජීවිත බිලියන ගණනක් බිලිගන්නා ලදී. 16 වැනි සියවසේ පැතිර ගිය අමෙරිකානු වසංගතයද නිසා ස්වදේශීය වැසියෝ (ඉන්කා, ඇස්ටෙක් ආදී ශිෂ්ඨාචාරයන්ට අයත්) 90%ක් පමණ මියගියහ. ඉහත විස්තර කරන ලද්දේ මිනිස් ඉතිහාසය තුළ පැතිර ගිය ප්‍රධාන වසංගතවලින් කිහිපයක් පමණි.
මිනිසා ඒඩ්ස් රෝගයෙන් මිය යන්නට පටන් ගත්තේ 1981 සිටය. එදා පටන් මේ දක්වා එයින් බිලිගෙන ඇති ජීවිත සංඛ්‍යාව මිලියන 35ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. Human Immunodeficiency Virus හෙවත් HIV වෛරසය 1920දී චිම්පන්සියාගෙන් මිනිසාට බටහිර අප්‍රිකාවේදී සංක්‍රමණය වූයේය. එයට ප්‍රතිකාර කරන ක්‍රම වර්ධනය වූයේ 1990 ගණන්වල පටන්ය. දැන් මිලියන 40ක ජනකායකට එකී වෛරසය සිරැර තුළ පැවතියදී සාමාන්‍ය ජීවිත ගත කිරීමේ හැකියාව ප්‍රතිකාරවලට පින්සිදුවන්නට ලැබී තිබේ. කොරෝනාවෙන් ලෝක ආර්ථිකය හා ජන ජීවිතය අවුල් නොකළත් ඒඩ්ස්ද වසංගතයකි. ඉන් මියගොස් ඇති ජන සංඛ්‍යාවෙන් එය තහවුරු වේ.
මුල්ම මානව වසංගතය චීනයෙන් වාර්තා වන්නා සේම, කොරෝනාව චීනයෙන් පටන්ගෙන යුරෝපාකරය ඇතුළු ලෝ පුරා පැතිර ගියා සේම කළු මරණය හෙවත් Black Death යුරෝපයට ආවේද චීනයෙනි. 1334 දී චීනයෙන් පැතිරීම ඇරඹුණු මහාමාරිය රෝගය (Black Death යනු එම වසංගතයයි) සියලු ගම්බිම් යට කරගෙන වෙළෙඳ මාර්ග ඔස්සේ යුරෝපයට පැමිණ සියලු නගර විනාශකොට දැමුවේය. ඉතාලියේ ප්ලොරන්ස් නුවර ජනගහනයෙන් 1/3ක් පළමු හය මාසය තුළදී කළු මරණයෙන් ගිල ගත්තේය. සමස්ත යුරෝපයට ජනයා මිලියන 25ක් අහිමි විය.
වෙළඳ මාර්ග ඔස්සේ මහාමාරිය රෝගය යුරෝපයට පැමිණීමට අමතරව මොංගෝලියානු යුද කාමීන්ගේ දුෂ්ට ක්‍රියාවක් නිසාද රෝගය යුරෝපයට ආයේය. 1347 දී මොංගෝලියානුවෝ ජෙනෝවා වැසියන් බලකොටු බැඳ තිබූ කාෆා නම් වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දුන්හ. තම භට පිරිස්වලට මහාමාරිය වැළඳෙන්නට ගත්විට සටන අතහරින්නට තීරණය කළ මොංගෝලියානුවෝ යෝධ කැටපලවල රෝගයෙන් මළ අයගේ මළමිනී අමුණා ඒවා සතුරා වෙත එවුවෝය. ක්‍රිමියාවේ ඇති මේ නගරය වර්තමානයේ හඳුන්වන්නේ ෆයොඩෝෂියා නමිනි. මොංගෝලියානුවන් කැටපොල වලින් විද එවූ මළමිනී නිසා නගරය තුළ සීඝ්‍රයෙන් මහාමාරිය පැතිර ගියේය. මෙතෙක් නගරය ආරක්ෂා කරමින් සිටි ජෙනෝවා ජාතිකයෝ තම යුද නැව්වලට ගොඩවී පළා ගියහ. ඔවුන් ගොඩබට සෑම වරායකම මහාමාරිය බෝ වූයේය.
කළු මරණය යුරෝපයේ පැතිර ගිය කාලයේ ඉතාලියේ ජීවත් වූ ගියෝවන්න බොකාසියෝ (Giovanna Boccaccio – 1313-1375) රචනා කළ ඩිකාමිරොන් (The Decameron) නම් කෘතියට පසුබිම් වී ඇත්තේද වසංගත සමයයි. එම කෘතිය කතා සියයකින් සමන්විතය. ඊට පසුබිම සකස් වන්නේ මෙසේය. ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර කළු මරණය පැතිර යන කාලයේ බැසිලිකා ඩි සන්ටා මරියා නොවල්ලා දේවස්ථානයේ එකිනෙකා මුණගැසෙන ගැහැනු හත් දෙනෙක් හා පිරිමි තුන්දෙනෙක් නගරයෙන් පිටත නිවසකට වී සිටින්නට (නිරෝධායනය වන්නට) කතිකා කර ගනිති. එහි දවස් දහයක් ගත කරන්නටද ඔවුහු එකඟ වෙති. එක් දිනකට එක් අයෙක් එහිදී එක් කතාවක් බැගින් කිව යුතුය. මේ අනුව දස දෙනාගෙන් දවසකට කතා 10ක් කියැවේ. එවිට දවස් දහය අවසානයේ එකතුවෙන කතා සංඛ්‍යාව 100කි.
(මට පුදුම ගැහැනු 7 සිටියදී පිරිමි තුන්දෙනාට කට අරින්නට ඉඩ ලැබීම ගැනය)
කෙසේ වුවද මෙම පසුබිම අනුසාරයෙන් නියෝවන්නි බොකාසියා කතා සියයකින් යුතු තම ග්‍රන්ථය රචනා කළේය. මෙම කෘතිය ඓතිහාසික වැදගත්කමක් ඇති කෘතියක් ලෙසද සැලකේ. ඒ වනවිට හඳුනාගෙන නොසිටි සෙර්සිනා පෙසිස්ට් බැක්ටීරියාව (මහාමාරිය රෝග බීජය) ඝන සැරේට පැතිර යමින් ඉන් සිදුකරන ලද ශාරීරික, මානසික හා සමාජීය හානිය ඉන් පිළිබිඹු වන බව විද්වතුන්ගේ මතයයි.
මහාමාරියට තුඩුදෙන සෙර්සිනා පෙසිස්ට් නම් බැක්ටීරියාව හඳුනාගන්නා ලද්දේ පසුකාලයේදීය එය මීයාගේ ශරීරයේ වර්ධනය වී, මැක්කාට පැමිණ මැක්කාගෙන් මිනිසාට සංක්‍රමණය වී ඇත. ඉතාලියේ ෆ්ලොරන්ස් නුවරින් මෙම වසංගතය ඉවත් කරලීමට ජනයාගේ මිත්‍යා මත බොහෝ සෙයින් බලපෑවේය. මෙය බල්ලන්, පූසන්ගෙන් බෝවෙන බව සිතූ ඔවුහු බල්ලන්, බළලුන් මරා දැමුවෝය. එවර මීයෝ නිරුපද්‍රිතව බෝ වූහ. මෙය දේව කෝපයක් නිසා පැතිරෙන බවට ඇදහූ විශ්වාසයද රෝගය පැතිර යන්නට බලපෑවේය.
විසි වැනි සියවසේ පමණක් වසූරිය රෝගයෙන් මිනිසුන් මිලියන 500ක් පමණ මරු වැළඳගෙන ඇති බව ගණන් බලා තිබේ. අපේ උරහිසේ දිස්වන කාසියක් තරම් වූ වසූරිය වැළැක්වීමේ එන්නත නිසා හටගත් ලපය අසූවෙන් මෙපිට උපන් දරුවන්ගේ නැත. 1979 දී වසූරිය මෙලොවින් තුරන් කළ රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. සර් එඩ්වඩ් ජෙනර් වසූරියට එරෙහි ප්‍රථම සාර්ථක එන්නත අත්හදා බලන්නේ 1796 මැයි මාසයේය. ගව වසූරිය (Cow pox) වැළඳුණු අය වසූරියට ඔරොත්තු දුන්නේය යන කාරණය නව එන්නත සඳහා පර්යේෂණ කරා ඔහු පොළඹවන්නට හේතු වී යයි කියනු ලැබේ.
සර් එඩ්වඩ් ජෙනර්ගේ ගොවිපලේ සේවය කළ කිරි දොවන්නියක වන සාරා නේල්ඩ්ස් ආශ්‍රයෙන් සිදුකළ නිරීක්ෂණවලින් ඔහු තවත් උනන්දු වී තිබේ. සර් එඩ්වඩ් ජෙනර්ගේ සොයාගැනීම්වලට පින්සිදු වන්නට මානව සංහතියට එරෙහි වූ මාරාන්තික බෝවන රෝගය පරාජය කරන්නට මිනිසාට හැකිවිය. ප්‍රතිශක්තිකරණය පිළිබඳ නව අදහස අනෙක් බෝවන රෝගවලට එරෙහි සටනේදීද ඉවහල් කරගත හැකි විය. ලුවී පාස්චර් වැනි විද්‍යාඥයෝ සර් එඩ්වඩ් ජෙනර්ගේ සොයාගැනීම් තවදුරටත් වර්ධනය කළහ. නැපෝලියන් බ්‍රිතාන්‍යයට එරෙහි සටන් දියත් කොට තිබුණේද සර් එඩ්වඩ් ජෙනර්ගේ කාලයේදීය. වරක් නැපෝලියන් තමා අල්ලාගත් එංගලන්ත යුද සිරකරුවන් නිදහස් නොකර දැඩි ප්‍රතිපත්තියකට එළඹ සිටියේය. නැපෝලියන් කිසිවකුගේ කීමට එම සිරකරුවන් නිදහස් කළේ නැත. එහෙත් සර් එඩ්වඩ් ජෙනර් හමුවේ දරදඬු නැපෝලියන් වෙනස් වූයේය. නැපෝලියන් හමුවට ගිය සර් එඩ්වඩ් ජෙනර් යුද සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. ඔබේ පැමිණීම මට ගෞරවයක් යයි කී නැපෝලියන් යුද සිරකරුවන් නිදහස් කළේය. මානව වර්ගයාටම සතුරුකම් කළ රෝගයක් පරාජය කිරීමේ මෙහෙවර ඉටුකළ මිනිසාට දෙවියකුට මෙන් ගරැ කළ යුතු බව නැපෝලියන් දැන සිටියේය. එංගලන්තය විසින් තමාට පරිත්‍යාග කළ මහා ධනස්කන්ධය වැයකොට සර් එඩ්වඩ් ජෙනර් ලන්ඩන් ජාතික එන්නත් ආයතනය පිහිටුවා නොමිලේ ප්‍රතිකාර කළේය.
මිනිසා විනාශ කළ හැකිය. එහෙත් ඔහු පරාජය කළ නොහැකිය* යන අර්නස්ට් හෙමිංවේගේ (අමෙරිකානු ජාතික සාහිත්‍ය නොබෙල් ත්‍යාගලාභී) කියමන මෙහිදී සිහිපත් වේ. බෝවන රෝගයන් බොහෝවකට මිනිසා විනාශ කළ හැකිවිය. එහෙත් මානව වර්ගයා පරාජය කළ නොහැකි විය.
මේ අතර කොරෝනා රෝගයට ගොදුරු වූ මිස්ටර් P ගේ පුවත ඉතාලියේ රිමිනි නුවරින් මාර්තු 27 වැනිදා වාර්තා වූයේය. පී (P) මහතාගේ වයස අවුරුදු 101කි. ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගත් ඥාතීන් රිමිනි නගරයේ රෝහලට ඔහුව භාරදී, ඔහුට සමුදී පැමිණ ඇත්තේ ඔහුගේ මිනිය හෝ නැවත දැක ගැනීමේ ආසාවකින් නොවේ. ආශ්චර්යයකි!! 101 හැවිරිදි P මහතා කොරෝනා රෝගයෙන් සුවය ලැබීය. එම පුවත Forbes වෙබ් අඩවියේ මාර්තු 27 වැනිදා පළවූයේය. ඔහු උපත ලබා ඇත්තේ ස්පාඤ්ඤ උණ වසංගය පැතිර ගිය 1919 වර්ෂයේ එම වසංගතය මධ්‍යයේය.
වෙනත් බෝවන රෝග පරාජය කළා සේ මානවයා කොරෝනා රෝගයද පරාජය කරනු නියතය. එතෙක් ඉන් විනාශ නොවී සිටීමේ හැකියාව අපට ඇත. ඒ සඳහා දැනුවත් කිරීම්ද නොඅඩුව සිදුකර ඇත. තව ටික කලක් ඉවසා සිටිමු.
සමන් පුෂ්ප ලියනගේ