2020 අප්‍රේල් 03 වන සිකුරාදා

කොරෝනා භීතියෙන් පිස්සු වැටෙන මිනිස්සු

 2020 අප්‍රේල් 03 වන සිකුරාදා, පෙ.ව. 12:00 197

කොරෝනා වෛරසය (COVID-19) සීඝ්‍රයෙන් ලොපුරා පැතිර යන මේ කාලයේ මිනිසුන් අතර බිය, ක්ලමථය (stress), කාංසාව (anxiety) සහ විශාදය (depression) තත්ත්වයන් ඇතිවිය හැකිය. තවද මිනිසුන් අතර සමාජ සබඳතා බිඳීයාම, රැකියා අවස්ථා සීමා වීම, ආර්ථික ප්‍රශ්න මතුවීම, ගමනාගමනයන් සීමා වීම වැනි තත්ත්ව නිසා මිනිසුන් තුළ සාමූහික විශාද ලක්‍ෂණ පහළ විය හැකිය. මේ හැර කොරෝනා රෝගයට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන් තුළ වෘත්තීය දැවීයාම් (burnout) මතුවීමේ අවදානමක්ද පවතියි.

මේ වනවිට ලෝකය පුරා පැතිරී යන කොරෝනා වෛරස් රෝගය එක්තරා ආකාරයක සාමූහික ව්‍යසනයකි. මේ තත්වය බොහෝවිට හටගන්නේ මිනිසුන් විසින් කොරෝනා වෛරස් රෝගය කෙරෙහි දක්වන ප්‍රතිචාරය මතය. මේ දක්වා ලෝකයේ විවිධ සමාජ කොරෝනා රෝගය කෙරෙහි දක්වා ඇත්තේ බිය සහ කාංසාව මුසු ප්‍රතිචාරයන් වේ. කොරෝනා වෛරස ආසාදනයකින් තොරවද කොරෝනා වෛරස් භීතිය විසින් මිනිසුන්ගේ මනස ලෙඩ කළ හැකිය. මේ භීතිය විසින් මිනිසුන් තුළ කායික ආබාධ මතු කිරීමේ අවස්ථාවක්ද ඇතිවිය හැකිය.

කොරෝනා වෛරස් රෝගය වැළඳීම නිසාද මානසික රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව අප මෙහිදී අමතක නොකළ යුතුය. කොරෝනා රෝගය විසින් ස්වශන පද්ධතියට ඇති කරන දුර්විපාක බෙහෙවින්ම කථිකාවට ලක්කර ඇති නමුදු කොරෝනා වෛරසය විසින් මොළය ආශ්‍රිත ව්‍යුහයන්ට සිදුකරන හානිය සාකච්ඡාවට ලක්වී ඇත්තේ අඩුවෙනි. වෛරස් රෝගය වැළඳීම නිසා මොළයට සිදුවන හානි පිළිබඳව වාර්තා වී තිබේ. උදාහරණයන් ලෙස හර්පීස් වෛරසය, වෙස්ට් නයිල් වෛරසය වැනි වෛරස් ආසාදනයන් නිසා මොළයේ ව්‍යුහයන්ට හානි සිදුවේ. එම නිසා එකී වෛරස් රෝග වැළඳුණු රෝගීන් තුළ විශාදය, ද්වී ද්‍රැව විශාදය (Bipolar Affective Disorder) වැනි තත්වයන් පහළ වීම වාර්තා වී ඇත. මේ හැර භින්නෝන්මාදය (Schizophrenia) වැනි රෝග මතුවීම සඳහා වෛරස් රෝග විසින් මස්තිෂ්කය තුළ ඇති කරන ආසාදනයන් ද හේතු කාරක විය හැකි බව ඇමරිකාවේ මීනසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂිකාවක් වන රේචල් ක්නීලන්ඩ් විසින් 2013 වසරේදී ප්‍රබල උපකල්පනයක් මතුකොට තිබේ.

කොරෝනා වෛරසය විසින් ස්නායු පද්ධතියට සිදුකරන හානිය මේ දක්වා කරන ලද පර්යේෂණවලින් තහවුරු වී තිබේ. SARS වෛරසය ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් SARS වෛරසය මොළයේ මොළ මූලය හෙවත් brainstem හි සෛලවලට හානිකර බලපෑමක් ඇති කරන බව පෙන්වා දී තිබේ. කොරෝනා වෛරස් රෝගය වැළඳීම නිසා මිනිසුන් බොහෝවිට මියයන්නේ එම වෛරසය විසින් හුස්ම ගැනීම පාලනය කරන මොළයේ ව්‍යුහයන්ට හානි කිරීම මගිනි. මේ හැර කොරෝනා වෛරසය විසින් ශරීරයේ අනෙකුත් පද්ධතීන්ද විනාශ කර දමයි. මේ නිසා රෝගියකුගේ මරණය සිදුවන්නේ බහුවිධ ශරීර පද්ධති ඇණහිටීම නිසාය.

කොරෝනා වෛරසය මස්තිෂ්කයට ඇතුළු වන්නේ බොහෝවිට ශ්වසන පද්ධතිය හරහාය. කොරෝනා රෝගීන්ගේ මස්තිෂ්ක ශ්‍රාවයන්හි කොරෝනා වෛරස් අණු දක්නට තිබේ. මෙතෙක් කරන ලද පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආඝ‍්‍රාණ ස්නායුව (olfactory nerve) මගින් මස්තිෂ්කයට ඇතුළුවීමේ ඉඩකඩ බෙහෙවින්ම වැඩි බවය. කොරෝනා වෛරසය විසින් මස්තිෂ්කය ආසාදනයට ලක්කරන අතර එමගින් රෝගියා තුළ අසාමාන්‍ය චර්යාවන් මෙන්ම සිහියේ වෙනස්වීම්ද නිරීක්‍ෂණය කළ හැකිය.

කොරෝනා වෛරසය නිසා රෝගීන් තුළ  විශාදය ඇතිවීම කතාබහට ලක්ව තිබේ. තවද වෛරස් ආසාදනයෙන් පසුවද විශාදය තවදුරටත් පැවතිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් සැපොල්ස්කි පවසන අන්දමට වෛරස් ආසාදනයන් නිසා මස්තිෂ්කය තුළ විවූහාත්මක මෙන්ම කෘත්‍යාත්මක වෙනස්කම් මතු විය හැක.

එන්ටෙරො වෛරස් ආසාදනයන් නිසා විශාදය මතුවීම බොහෝ සායනික නිදර්ශනවලින් තහවුරු කරගෙන ඇත. මේ නිසා කොරෝනා වෛරසය ආසාදනය නිසා මස්තිෂ්කයේ සිදුවන ව්‍යුහාත්මක මෙන්ම රසායනික වෙනස්කම් රෝගීන් තුළ අසාමාන්‍ය චර්යාවන් මෙන්ම විශාදය වැනි රෝගී තත්ත්ව ඇති කළ හැක. මේ නිසා කොරෝනා රෝගීන්ට කායික ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහිද අවධානය යොමුකළ යුතුය. කොරෝනා රෝගීන්ගේ කායික රෝගී තත්ත්වයන් අඩුවී ගියද වෛරස් ආසාදන සුව වූවද ඔවුන් 100%ක් සුවපත් වූ රෝගීන් ලෙස සැලකිය නොහැක. ඒ මන්ද යත් කොරෝනා වෛරසය විසින් මානසික සෞඛ්‍යය වෙත සිදුකරන හානිය දීර්ඝ නිසාය. මේ නිසා සුවපත් වූ කොරෝනා රෝගීන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි වෛද්‍යවරු අවධානය යොමුකිරීම අවශ්‍ය කරුණකි.

රුවන් එම්. ජයතුංග   

(ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික Posttraumatic Embitterment Disorder (PTED) සම්මේලනයේ වෛඥානික කමිටු - International Scientific Committee සාමාජිකයෙකි.)