ඇඟළුම් කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවයේ කොටසකි. තේ, රබර් හා පොල් යනුවෙන් විනිමය උපයන ප‍්‍රධාන මාර්ග වශයෙන් සඳහන් කළ කාලය අවසන්ය. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ලාංකිකයන් එවන විනිමය හැරුණු විට රටට වැඩිම විනිමය ප‍්‍රමාණයක් ලැබෙන්නේ ඇඟළුම් අපනයනයෙනි. කාලයක් පිටරටවලට යට ඇඳුම් මහන බව අවමානයෙන් කතා කළ ඇතැම් දේශපාලනඥයෝ පසුව කර්මාන්තයෙන් ලැබෙන ආදායම මහත් භාග්‍යයක් සේ සලකන ලද බව සිහිපත් කළ යුතුය. විජය කුමාරයා තම්මනැන්නාවෙන් ගොඩබසින විට කුවේනිය කපුකටිමින් සිටියාය. එය ඓතිහාසික සාක්ෂියකි. ආර්ථික වශයෙන් පමණක් නොව ඉතිහාසයෙන් ද එහි උරුමයක් තිබේ. මෑත කාලය තුළ මෙරට නිමි ඇඳුම් අපනයනය සුපුරුදු ව්‍යුහයෙන් මිදී ඉහළ තලයකට පැමිණියේය. එය නව ප‍්‍රමිතියකි. කාලානුරූපව ඇඟළුම් කර්මාන්තය තුළ එම ප‍්‍රමිති පවා වෙනස් වන බව අලුත්ම වාර්තා තහවුරු කරයි. එක පැත්තකින් ක්ෂේත‍්‍රයේ නවීනත්වය හැරුණු කොට අනෙක් පැත්තෙන් කොවිඩ්-19 වයිසරය ඇඟළුම් අපනයන අංශ දුර්මුඛ කරන ලකුණු පහල කර ඇත.
වාණිජ වශයෙන් රෙදි පිළි හා ඇඟළුම් අපනයනට කිරීම ගැන වසර පනහක හැටක ඉතිහාසයක් තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ආනයන හා අපනයන සීමා අතරතුර පවා සුළු වශයෙන් මෙරට නිම කරන ලද අත්යන්ත‍්‍ර රෙදි හා මසා නිම කළ ඇඳුම් පිටරට යවා තිබේ. බි‍්‍රතාන්‍ය හා සෝවියට් සමූහාණ්ඩුව ගැනුම්කරුවන් අතර සිටි බව වාර්තා දක්වයි. හම්බන්තොට ප‍්‍රදේශයේ බහුලව කපු වගා කරන ලද අතර ඒවා ඇඟළුම්වලට උපයෝගී කරගැනෙන දර්ශනයක් එදා පාලකයන්ට තිබී ඇත.
විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු අපනයනය වේගවත් කරන වැඩ පිළිවෙළකට සේන්දු විය. අලුත් ආයෝජනවලට දොරටු විවෘත කළේය. ඇමරිකාව සමග අත්සන් කරන ලද බහු කෙඳි ගිවිසුම එහි ලා සන්ධිස්ථානයකි. එම ගිවිසුම අනුව ඇමරිකානු වෙළෙඳපොළට අවශ්‍යකරන ඇඟළුම්වලින් කොටසක් ශ‍්‍රී ලංකාවෙන් මිල දී ගැනීමට තීරණය කෙරිණ. දියුණුවෙමින් පවතින තමන්ට හිතෛශී රටවලට නිෂ්පාදන අවස්ථා සම්පාදවය එම ගිවිසුම මගින් අරමුණු කළේය. බහු කෙඳි ගිවිසුමට ඇතුළත් වූ රටවල නිෂ්පාදන බදු රහිතව අමෙරිකාවට යවන්නට අවකාශ සැලසිණ. එය රටට මිල කළ නොහැකි අවකාශයක් වූ බව සඳහන් කළ යුතුය. එම සම්බන්ධතා වේගවත් වූයේ නගරයෙන් බැහැර ප‍්‍රදේශවල ඇඟළුම් කර්මාන්ත දෙසීයක් ආරම්භ කරන වැඩ පිලිවෙලයි. ආයෝජන මණ්ඩල සහන සහිතව දුර ප‍්‍රදේශවල කර්මාන්ත ශාලා ඇරඹුණු අතර ඒවායේ නිෂ්පාදන මිල දී ගැනීමට පැමිණි බටහිර සමාගම් එවකට අත්සන් කර තිබුණ බහු කෙඳි ගිවිසුම වරප‍්‍රසාදයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගත්තේය.
මෙරට ව්‍යවසායකයෝ ඉක්මනින් ඇඟළුම් වෙළෙඳපොළ අවස්ථා අවබෝධ කරගත් අතර එහි නියැලි ශ‍්‍රම බලකාය ද ඉතා කැපවීමෙන් සේවය කරමින් රටට විනිමය උල්පතක් පාදා දුන්හ. අද වනවිට මෙරට ඇඟළුම් කර්මානිතයේ නියැලි ශ‍්‍රම බලකාය සමස්ථයෙන් සියයට පහළොවක් වන අතර එය දෙවැනි වන්නේ කෘෂි අංශයට පමණකි. තේ අපනයනයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ උපයන විට ඇ`ගළුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයා ගන්නට පසුගිය වසරේ සමත්ව තිබේ.
ලෝකයේ ඉහළම පෙළේ ධනවතුන්ට අවශ්‍ය සුපිරි ඇඳුම් හා නවතම මෝස්තර හඳුන්වාදීම වික්ටෝරියා සීක‍්‍රට්හි ව්‍යාපාරික සංකල්පයයි. 1977 වසරේ රෝයි හා ගේ රේමන්ඩ් දෙදෙනා අරඹන ලද මෙම ව්‍යාපාරය පසුව ලෙස්ලි හර්බට් නමැති ඇමරිකානු ව්‍යාපාරිකයකු මිල දී ගත් අතර පසුව එය ලොව පුරා විහිදුණු ව්‍යාපාරයක් සේ දියුණු කරන ලද බව දැක්වෙයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ඉහළම මිලක් අය කරනයට ඇඳුම් සහ රෑපලාවණ්‍ය අංග එතැනින් එළි දැක්විණ. ලොව වෙනත් තැනකට වඩා ඉහළින් සිය මෝස්තර තබා ගැනීමට වික්ටෝරියා සීක‍්‍රට් උනන්දුවක් දැක්වීම විශේෂත්වයකි. එය අරමුණු කරගෙන ජාත්‍යන්තර මෝස්තර වැඩසටහන් ද සංවිධානය කළේය. ඉතාම තරඟකාරී මෙම ව්‍යුහයට ඇතුළත්වීමට ශ‍්‍රී ලාංකික ඇඟළුම් කම්හල් ගණනාවකට හැකිවිය. වික්ටෝරියා සීක‍්‍රට් වෙනුවෙන් පමණක් නිපදවන එම කාන්තා ඇඟළුම් වෙන කිසිම රටකට අපනයනය නොකිරීම විශේෂත්වයකි.
පසුගිය වසර පහළොවක සිට මෙරට ප‍්‍රධාන ඇඟළුම් නිෂ්පාදන ආයතන දෙකක් අඛණ්ඩව වික්ටෝරියා සීක‍්‍රට් වෙළෙඳාම වෙනුවෙන් නිෂ්පාදන සපයයි. මුලින් ශාඛා 145 ක් තිබුණ ඇමරිකන් වෙළෙඳ ජාලයට අද ලොව පුරා පිහිටි ශාඛා ගණන දහස ඉක්මවයි. අන්තර් ජාලයෙන් කරන වෙළඳාම දෙගුණ තෙගුණ වී තිබේ. අවුරුද්දකට යට ඇඳුම් ඒකක මිලියන 75-100 අතර ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් සැපයෙයි. එම ව්‍යාපාරය මෙරට කම්හල්වල සේවය කරන ශ‍්‍රමිකයන්ගේ ජීවන මට්ටම උසස් කරන පියවර ගෙන ඇති අතර නොයෙක් ප‍්‍රතිපාදන පනවා සේවක සේවිකාවන් තෘප්තියෙන් තැබීමට ද පියවර ගෙන තිබේ. වසර දෙක තුනකට කලින් වසරක අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ නමුත් ඇමෙරිකාවේ කාන්තා ඇඳුම් අලෙවි විශේෂඥයාගේ සහාය සහිතව පසුගිය වසරේ දී මෙම ක්ෂේත‍්‍රයේ අපනයනවලින් පමණක් උපයා ගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා වූ බව වාර්තා වෙයි.
වික්ටෝරියා සීක්රට් ආයතනය ශ‍්‍රී ලංකාවෙන් කරන මිල දී ගැනීම් සීමාකර ඇති බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි. එහෙත් මෙරට ඇඟළුම් සම්බන්ධ ව්‍යාපාරික එකමුතුව අනෙක් අදහසක් පළ කර තිබේ. ඇමරිකානු සමාගම සිය ව්‍යාපාර නවීකරණය කරන අතර තාක්ෂණික වශයෙන් අලෙවිය නංවා ගන්නට තැත් කරන බව ප‍්‍රකාශ කර ඇත. එහි දී වික්ටෝරියා සීක්රට් ආයතනය සමාජ සත්කාර අංශය ඉහළට ගෙන ඇති අතර දියුණු වෙමින් පවතින සමාජවලට කරන උපකාරයක් වශයෙන් මෙම උසස් ඇඟළුම් මිල දී ගන්නා ලෙස ප‍්‍රචාරය කරමින් සිටින බව දැක්වෙයි. එය කිසිසේත් මෙරටින් මිල දී ගැනීම අඩු කිරීමක් නොවන නමුත් කිසියම් තර්ජනයක් පවතින බව කර්මාන්ත එකමුතුව පිළිගෙන තිබේ. සම්ප‍්‍රදායික නොවන අලුත් වෙළෙඳපොළට ඇතුළත් වීමෙන් මෙම ගැටලුව නිරාකරණය කරගත හැකි බව ඔවුන්ගේ අදහසයි.
අනෙක් පැත්තෙන් ලෝකයේ ගුවන් ගමන් හා නැව් මාර්ග තාවකාලිකව සීමා වෙමින් තිබේ. එයට හේතුව ලොව පුරා සියලුම මහාද්වීප වලපැතිරෙන කෝවිඩ් - 19 වයිරසය බව නොරහසකි. ගුවන් සමාගම් දක්වන අන්දමට 2020 වසරේ ඔවුන්ගේ ව්‍යාපාර වල පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 63-113 අතර ගණනකින් පහත වැටෙනු ඇත. බ්ලූම්බර්ග් අනාවරණයක් අනුව මෙම වසරේ ලෝක ආර්ථික වර්ධනය බිංදුවට වැටෙන්නට ඉඩ ඇත. වර්ධනයක් රහිත පසුබිමක අලෙවිය අපේක්ෂා කළ නොහැකිය. ගුවන් ගමන් හා නැව් ගමන් වාර සීමා වනවිට ඇණවුම් දුර්වල වෙයි. ශ‍්‍රී ලංකාවට රෙදිපිළි හා අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර වලින් සෑහෙන කොටසක් චීනයෙන් ආනයනය කෙරේ. එහි පවතින තත්ත්වය අනුව අමුද්‍රව්‍ය ලබා ගැනීම ගැටලුවකි. අද වනවිට මෙරට ඇඟළුම් කම්හල් පනහක් ඇනවුම් නොමැති හේතුවෙන් තාවකාලිකව නිෂ්පාදන නතර කර තිබේ. එය විශේෂ අවධානයට ගත යුතු පැත්තකි.
ලෝක ආර්ථිකයේ ස්වභාවය අනුව එක දොරටුවක් වැසෙන විට අලුත් දොරටු ගණනාවක් විවෘත වෙයි. ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය දීර්ඝ කාලයකින් අලුත් වී නැත. ශ‍්‍රමය හා පිරිවැය ප‍්‍රශ්න මතු වනවිට කම්හල් හිමියෝ සිය ආයතන උතුරට හා පසුව රටින් පිටට ගෙන යති. මෙරට ප‍්‍රධාන කම්හල් ගණනාවක් සිය කාර්යාල සිංගප්පූරුවට ගෙන ගොස් ඇත. නිෂ්පාදන අංශ බංගලාදේශයට හා මැලේසියාවට ගෙන ගොස් තිබේ. එය මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කළ යුතු පැත්තකි.
ලෝකයේ ඇඟළුම් කර්මාන්තය කෙළින්ම නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ කරන තැනට පත්වීම ද අමතක කළ යුතු නැත. තමන්ට අවශ්‍ය රෙදි වර්ගය, එහි පැහැය හා මෝස්තරය කෙළින්ම නිෂ්පාදකයාට එවන ගැනුම්කරුවෝ ඒවා අන්තර් ජාල සැපයුම් සේවා ඔස්සේ නිවෙසටම ගෙන්වා ගනිති. කන්ටේනර් පුරවා වරායෙන් වරායට යැවීම හා ගබඩා පුරවා නිෂ්පාදන තබා ගැනීම කරන මහා පරිමාණ වෙළෙඳාම සීමා වෙමින් පවතී. මෙරට ඇඟළුම් කම්හල්වල අලෙවි අංශ අලුතින් හිතන්නට අවශ්‍යය. අලුත් වෙළෙඳපොළ හැදෙන්නේ තාක්ෂණයෙන්ය. එයට ආයෝජනය කළ යුතුය. මහා පරිමාණ වෙළෙඳාම හා සමානව කෙළින්ම ගැනුම්කරුවන් සොයා යන පිළිවෙළක් අනුගමනය කරන්නට අවශ්‍යය. වික්ටෝරියා සීක‍්‍රට් වැනි දැවැන්ත ආයතන සිය ව්‍යුහය වෙනස් කරන විට ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් සමාගම් ද එයට අනුරූප විය යුතු බව සැකයක් නැත.
► ගාමිණී සරත් ගොඩකන්ද