2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

වයස 15ක දියණිය විකුණන මාර අම්මෙක්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 6365

මවක් යනු උත්තරීතර ළඳකි. මව ඉවසීමේ පරමාදර්ශයයි. මව තමන්ගේ කුසට දරුවකු පැමිණි දින සිට දස මසක් කුස පිරිමදිමින් දරුවා රැක ගන්නීය. ආශිර්වාද කරන්නීය. සෙනෙහස දක්වන්නීය. දරුවා සමඟ ගනුදෙනු කරමින් සිටින්නීය. දරුවා මෙලොව බිහිකළ දින සිට සෑම මොහොතක්ම දරුවා වෙනුවෙන් කැප කරන්නීය. 

එය එසේ වෙද්දී හම්බන්තොට පතලයාගම, කෑලියපුර ප්‍රදේශයෙන් ඇසෙන මේ කතාව නම් ඊට හාත්පසින්ම වෙනස් වූ එකකි. හද කම්පා කරවන ශෝචනීය වූ කතාවකි. මව් පදවියට නිගාදුන් කතාවකි. අද අපේ කතානායකයා 15 හැවිරිදි වියේ පසුවන බාලවයස්කාර දැරියකි. අපි ඇයට සංජනා යැයි නම් තබමු. ඒ ඇයගේ සැබෑ නම නොවේ.

සංජනාගේ වයස අවුරුදු 15 කි. ඇයට තවත් වයස අවුරුදු 05ක නැගණියක ද වෙයි. සංජනාගේ මව 33 හැවිරිදි ගයේෂාය. ඇඹිලිපිටිය හුලංදාව ප්‍රදේශයේ කුලී නිවෙසක  ජීවත් වූ ගයේෂා හා දරු දෙදෙනා දැන් ජීවත් වන්නේ හම්බන්තොට කෑලියපුර, පතලයාගම ප්‍රදේශයේය. 33 හැවිරිදි ගයේෂාගේ සැමියා මීට වසර කිහිපයකට පෙර ඇය අතහැර ගාල්ල ප්‍රදේශයට ගියේ ගයේෂාගේ නරක පුරුදු කිහිපයක් නිසාවෙනි. ගයේෂා විවාහ වී සිටියත් මහ මඟ දී හමුවන පිරිමින් සමඟ ද සංවාසයේ යෙදීම සාමාන්‍ය සිරිතකි. මේ හේතුව නිසාම අද වන විට ගයේෂාට මාසයකට එක් සැමියකු බැගින් නිවෙසට පැමිණෙන්නේ දරුවන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයට ඇද දමමිනි. ගයේෂාගේ දරුවන් දෙදෙනා ද සැමියන් දෙදෙනකුගේය. අද වන විට ගයේෂා සිය වැඩිමහල් දියණිය වූ 15 හැවිරිදි සංජනා ද විවිධ පිරිමින්ට විකිණීමට පටන්ගෙන ඇත්තේ මුදල් ඉපයීමටය. ඊට අකැමැති වන සංජනා ගෙදරින් පැනවිත් ඇයගේ පුංචි අම්මා කෙනකු සමඟ පිහිටක් පතා සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුර අසලට පැමිණ සිටිය දී අපට ද මුණගැසුණි.

15 හැවිරිදි සංජනා තමන් අත්දුටු මේ අමානුෂික අත්දැකීම අපට විස්තර කළේ මෙසේය.

මං අම්මත් එක්ක ඉස්සර වෙලාම ජීවත් වුණේ ඇඹිලිපිටිය හුලංදාව පාලම ළඟ තිබුණු කුලී නිවෙසකයි. මගේ තාත්තා මං කුඩා කාලෙම දමලා ගිහින් දැන් ඉන්නේ ගාල්ල පැත්තේ. අම්මා ඒ කාලේ ඉඳන්ම අනාචාරයේ ගියා. ඒ නිසයි තාත්තා අපිව දමලා ගිහින් තියෙන්නේ. මං තාත්තව හෙව්වට ඉන්න තැනක් හොයාගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. තාත්තගෙ නම නම් දන්නවා. තාත්තා ගියාට පස්සේ ඉඳන් මේ වෙනකම් එක එක පිරිමි අය මාසේ දෙක ගෙදර ඇවිත් මේ ඉන්නේ උඹේ තාත්තා කිය කියා අම්මා තියාගෙන හිටියා. එක පාරක් රත්නපුරේ කෙනෙක් ඇවිත් මාස කිහිපයක් ඉඳලා ගියා. පස්සේ කදුරුගස්ආරේ කෙනෙක් ඇවිත් කාලයක් අපේ ගෙදර හිටියා. එයා ගියාට පස්සේ ඇඹිලිපිටිය පැත්තේ කෙනෙක් ඇවිත් හිටියා. එයත් ගියාම කුට්ටිගල කළු මාමා කියල කෙනෙක් හිටියා. එයත් ටික කාලයක් ඉඳලා ගියා. දැන් කොළඹ කළුතර පැත්තේ කෙනෙක් තමයි අම්මත් එක්ක ගෙදර ඉන්නේ. නංගිගේ තාත්තා තමයි එයා. එක සැරයක් නංගිගේ තාත්තා කියන කෙනා නංගිව දූෂණය කරලා තිබුණා නංගිට අවුරැදු 05 දීම. නංගිට චූ දාන්න බැරුව ඉන්නකොට අම්මා නංගි ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙට අරන් ගිහින් තිබුණා. එතැනින් එහාට ඒකට මොකද වුණේ කියලා නම් මම දන්නේ නෑ.

කොහොම හරි අම්මා නිතරම මාව කවුරු කවුරු හරි පිරිමිත් එක්ක යවන්න හැදුවා. නමුත් මං ගියේ නෑ. කොහොම හරි පහුගිය ජනවාරි මාසේ 20 විතර වගේ දවසක අම්මා ඇඹිලිපිටිය ටවුන් එකේ සැලුන් එකක් කරන කෙනෙක් අපේ ගෙදරට එක්කගෙන ආවා ලයිට් වගයක් හදන්න කියලා. ඒ ආව කෙනාගෙන් අම්මා රුපියල් 5000 ක් අරගෙන තිබුණා. කොහොම හරි එදා උදේ එයා අපේ ගෙදරට ආවම අම්මා නංගිත් ලෑස්ති කරගෙන ඇඹිලිපිටියට ගිහින් එන්නම් කියලා මාව දමලා ගියා. උදේ 10 විතරට ගිය අම්මා නැවත 12ට විතර තමයි ගෙදරට ආවේ. අම්මා ඇඹිලිපිටියට යනකම් ඉඳලා ඒ මිනිහා ඇවිත් මාව බදාගෙන මට කිව්වා උඹේ අම්මා මගෙන් රුපියල් 5000 ක් ගත්තා. ඒකට මාත් එක්ක අද ඉන්න ඕනේ කියලා. මට කරකියා ගන්න දෙයක් නැති වුණා. එදා එයා මාව දූෂණය කළා. අම්මා ගෙදර ආවම මං අම්මට වෙච්ච දේ කිව්වා. අම්මා මට කිව්වා කට වහගෙන හිටපන් කියලා. දවස් කිහිපයක් යනකොට මට අමාරැ වෙන්න ගත්තා. ක්ලාන්තය හැදෙන්න ගත්තා. අම්මට කියලා වැඩක් නැති නිසා ගගේයායේ ඉන්න පුංචිට මේ ගැන කිව්වා.

පුංචි ඇවිත් මාව ඇඹිලිපිටියේ මුත්‍රා චෙක් කරන තැනකට එක්ක ගිහින් පුංචිගේ නම හා වයස දීලා මුත්‍රා එක චෙක් කළා. ඒකේ රිපෝට් එක ආවම පුංචි ඒක බලලා ඉරලා විසි කරලා දැම්මා. ඊටපස්සේ අම්මට පුංචි මොනවා හරි කිව්වා. ඒ මොනවද මං දන්නේ නෑ. ඊටපස්සේ අම්මා මට මොනවද බෙහෙත් වගයක් ගෙනත් දීලා බීපං කිව්වා. මං ඒ බෙහෙත් බීලා දවස් කිහිපයක් යනකොට මගේ ඇඟෙන් ලේ වගේ ගියා. ජනවාරි 25 වගේ තමයි මුත්‍රා එක චෙක් කරන්න ගියේ මට මතක විදියට.
මටත් කරන්න දෙයක් නැති නිසා අම්මා මං කියපු දේවල් ඇහුවෙත් නැති නිසා මාත් නැවත ඒ සිදුවීම ගැන කතා කරන්න ගියේ නෑ. ඔහොම ඉන්නකොට දවසක් අම්මා නංගිව මට දමලා වැඩකට යනවා කියලා උදේ ගෙදරින් ගියා. ඒ ගිහින් නැවත එනකොට රෑ 10ට විතර ඇති. මං එදා රෑ වෙනකම් නංගිටත් කන්න දීලා අම්මා එනකම් නංගිවත් බලාගත්තා. අම්මා එන්න පරක්කු නිසා රූට බතකුත් ළිපේ තිබ්බා. දවල් ගගේයායේ ඉන්න පුංචිත් කතා කරලා කෝ අම්මා ඇහුවා. මං කිව්වා වැඩට ගිහින් කියලත්. එහෙනම් පරිස්සමින් ඉන්න කියලත් පුංචි මට කිව්වා. රෑ 10ට විතර අම්මා ගෙදර ආවම නංගි අම්මට කිව්වා කවුද කෝල් කළා කියලා. මගෙන් ඇහුවා කවුද කතා කළේ කියලා. මං කිව්වා ගගේයායේ පුංචි කියලා. තොපිට කොහෙන්ද පුංචිලා කියලා ඇහුවා. ඊට පහුවෙනිදත් හැන්දෑවේ අම්මා මට පුංචි කතා කළේ මොනවා අහන්නද කියලා අහලා ගහන්න හදනකොට මං ගෙයින් එළියට පැන්නා. අම්මා මාව එළියට දමලා දොර වැහුවා.

මං ඉස්සරහා ගෙදර නැන්දට ගිහින් කිව්වා අම්මා මට ගහන්න හදනවා කියලා. ඊටපස්සේ ඒ නැන්දා මාව එක්කගෙන ඇවිත් අම්මට කතා කරලා ගහන්න එපා කියලා දමලා ගියා. ඒ යනකම් ඉඳලා අම්මා ගේ දොර වහගෙන ගෙට දමාගෙන මට හොඳටම ගැහුවා. මං කෑගහනකොට ඒ සද්දේ අවට කට්ටියට ඇහිලා 119ට කතා කරලා ඇඹිලිපිටිය පොලීසියෙන් ගෙදරට ආවා. ඒ ඇවිත් රෑම අම්මයි අපේ ගෙදර ඒ වෙනකොට හිටිය කෙනයි නංගියි මායි පොලීසියට එක්කගෙන ගියා. එදා රෑ අපි ගෙදර එව්වේ නැතිව පොලීසියේම තියාගත්තා. උදේ ආච්චිඅම්මා පොලීසියට ගෙන්නලා මායි නංගිවයි ආච්චිඅම්මට බාර දුන්නා බලාගන්න කියලා. ආච්චිඅම්මා පොලිස් පොතේ ඇඟිලි අත්සනක් තියලා අපි දෙන්නව පොලීසියේ දී බාර අරගෙන පොලීසියෙන් පිටතට ඇවිල්ලා ආයෙත් අම්මට දීලා යන්න ගියා.

මේ සිදුවීම්වලින් පස්සෙ අම්මා අපි දෙන්නත් අරගෙන හම්බන්තොට ඉන්න පුංචිට අයිති හම්බන්තොට ඉඩමක ගෙයක් හදාගෙන මාසෙකට එකහමාරකට විතර කලින් පදිංචියට ආවා. ඒ ඉන්නකොට නංගි ලෙඩ වෙලා බෙහෙත් ගේන්න යන්න කියලා අම්මා හම්බන්තොට ඉන්න පුංචිගෙන් රැපියල් 100ක් ණයට ඉල්ලා ගත්තා. ඒක අම්මා නොදී ඉන්නකොට පුංචි පහුගිය 17 වැනිදා උදේ අම්මගෙන් සල්ලි ඉල්ලුවා. අම්මා දෙන්නම් කියලත් කිව්වා. කොහොම හරි 17 වැනිදා උදේ 09ට විතර වගේ අම්මා කාටද කෝල් එකක් දීලා කිව්වා රැපියල් 1000කුත් අරගෙන එන්න. මං චූටිව ඇළ ළඟට එක්කගෙන එන්නම් කිව්වා. අම්මා මට කතා කරන්නේ චූටි කියලා. මං දැනගත්තා අම්මා මාව කාට හරි විකුණන්න තමයි හදන්නේ කියලා. මං ඒ වෙලාවේ අම්මට කිව්වා අනේ අම්මේ මට නම් බෑ කා එක්කවත් යන්න කියලා. එතකොටම අම්මා මට බැණගෙන බැණගෙන ගිහින් අතේ තිබුණු පිහිය විසි කරලා මට ගැහුවා. ඒ වෙලාවේ මං අම්මට කිව්වා මං උසාවි ගිහින් මේ ඔක්කොම ගැන උසාවියට කියනවා කියලා. 

අම්මා මාව කාටහරි විකුණන බව දැනගත්ත නිසා මං ඒ කිට්ටුව හිටිය ආච්චිඅම්මගේ ගෙදර ගියා. ඒත් මං ආච්චිඅම්මට මේ ගැන කිව්වේ නෑ. ආච්චිඅම්මත් අපේ අම්මට මේවට උදව් කරනවා. ආච්චිඅම්මලගේ ගෙදර ඉන්නකොට අම්මා එහෙටත් ආවා. මං එතැනින් ඊට ටිකක් එහායින් ඉන්න හම්බන්තොට පුංචිගේ ගෙදරට ගියා. එහේ ගිහින් ඉන්නකොටත් අම්මා එහෙට ඇවිත් යමන් ගෙදර කිව්වා. මං බෑ කියලා කිව්වම අම්මා අතේ තිබුණු කුඩෙන් ගහගෙන ගහගෙන ගියා. මං එහෙම්ම රූ පුංචිගේ ගෙදර හිටියා. මං පුංචිට මේ ගැන කිව්වාම පුංචි මාව 18 වැනිදා උදේ හම්බන්තොට පොලීසියට එක්කගෙන ගියා පැමිණිල්ලක් දමන්න කියලා. 

නමුත් ඒ වෙලාවේ හම්බන්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ හිටිය නෝනා අපේ පැමිණිල්ල බාරගත්තේ නෑ. අපිට කිව්වා මේක අපිට අයිති නෑ ඔයාලා ඇඹිලිපිටියටම ගිහින් පැමිණිල්ලක් දමන්න කියලා. ඒ වෙලාවේ මාත් එක්ක පොලීසියට ගිය පුංචි කිව්වා අම්මා මේ කෙල්ලව ඊයෙත් (17) හම්බන්තොට දී විකුණන්න ගිහින්. මීට කලිනුත් ඇඹීලිපිටියේදීත් කොල්ලකුට රුපියල් 5000කට මේ දරැවා විකුණලා තියෙනවා කියලා. එතකොට ඒ පොලීසියේ නෝනා කිව්වා අපිට ඕක අයිති නෑ.  ඔයාලා ඇඹිලිපිටිය පොලීසියට ගිහින් බලන්න කියලා.

පස්සේ පුංචි මාව එක්කගෙන ඇඹිලිපිටියේ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගියා. ඒ ගියාම ඒකේ හිටිය මිස් කෙනෙක් ඇහුවා ඇයි ආවේ කියලා. පුංචි කිව්වා පැමිණිල්ලක් දමන්න ආවේ. හම්බන්තොට පොලීසියට ගියාම කිව්වා මෙහෙට යන්න කියලා. ඒ වෙලාවේ එතන හිටිය නෝනා පුංචිටයි මටයි බැණලා කිව්වා දැන් පැමිණිලි දමන්න දෙයක් නෑ. මේ ළමයි දෙන්නවම අපි ආච්චිඅම්මටනේ බාරදීලා තියෙන්නේ. වහාම ගිහින් දරුවන් ආච්චිඅම්මට බාර දෙන්න කියලා අපිව පොලීසියෙන් යැව්වා. අපේ පැමිණිල්ල එයාලා ලියාගත්තෙත් නෑ. අපි හම්බන්තොට පොලීසියටයි ඇඹිලිපිටිය පොලීසියටයි දෙකටම ගිහිල්ලා හිස් අතින්ම ගෙදර ආවා. අපි ගිය පැමිණිල්ල එක පොලීසියකින්වත් බාරගත්තේ නෑ.
(මෙහි සඳහන් නම් ගම් සැබෑ නම් නොවන බව සඳහන් කළ යුතුය.)

 සටහන - සූරියවැව නුවන් ජයසේකර