සිංහල අලුත් අවුරුද්දට දැනට ඇත්තේ මසකටත් අඩු කාලයකි. වෙනත් අවුරුදුවල නම් මේ වන විට අපේ වෙළෙඳපොළ උත්සව සමය සඳහා කඩිමුඩියේ සූදානම් වන අයුරු දක්නට හැකි විය. එහෙත් අද තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් වී තිබේ. අද වෙළෙඳපොළ හැසිරෙන්නේ උත්සව සමයක් ළඟදී ඇති නොවන වග උපකල්පනය කරමින් බව පෙනේ. එයට හේතු වී ඇත්තේ දැනට මුහුණපාන්නට සිදුව ඇති කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරස තත්ත්වය නිසා සත්‍ය වෙළෙඳපොළ උඩු යටිකුරැ වී තිබීමය.
වෙන වසරවල නම් මේ වන විට වෙළෙඳසල්වල (සේල්) අරඹා අවසන්ය. වෙළෙඳසල්වල නොවිකිණී ඉතිරිව ඇති බඩු වෙළෙඳසල් ඉදිරියේ සේල් පවත්වමින් අඩුකළ මිල ගණන්වලට විකිණීම මේ වන විට නගරවල මෙන්ම පිටිසර බද වෙළෙඳසල්වලද ආරම්භ වී හමාරය. පාරිභෝගිකයන් කල් වේලා ඇතිව සේල් පොළවල් සොයමින් යන්නේ තමන්ට ලැබුණු උත්සව අත්තිකාරම් මුදලෙන් හෝ බෝනස්වලින් බඩු මිල දී ගැනීමටය. බොහෝ නිවෙස්වල ගෘහ මූලිකයන් තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය අවුරුදු ඇඳුම් පැළඳුම් ආදිය මෙම සේල්වලින් මිලට ගැනීමට උත්සුක වෙති. මේ නිසා මේ දිනවල කොළඹ ඇතුළු නගරවල මහාමාර්ග ජනතාවගෙන් පිරී පවතින බවක් දක්නට ඇත. වෙළෙන්ඳන් එකිනෙකා පරයා “ලාභ කළා ලාභ කළා” යැයි කෑ කොස්සන් ගැසීම දැන් සිටම ඇසෙන්නට පටන් ගනී. නගරවලට පාරිභෝගිකයන් ඇදී ඒම වැඩිවීම නිසා ප්‍රවාහන සේවයට ද වැඩි ආදායම් ලැබිය හැකි වකවානුවක් බවට උත්සව සමය පරිවර්තනය වී තිබේ.
එසේම උත්සව සමයේ රසකැවිලි පෙවිලි අලෙවි කරන වෙළෙඳුන්ට ද වෙනදා නම් මේ කාලය කරල පැහෙන වකවානුවකි. කල් ඇතිව තැනූ කැවුම්, කොකිස්, අලුවා, ආස්මී, අග්ගලා වැනි කැවිලි වර්ග වෙළෙඳපොළට යැවීමට ඔවුහු යුහුසුළු වෙති. එසේම කේක් ආදී අවුරුදු සමයේ වැඩිපුර අලෙවි වන ආහාර තැනීම සඳහා ඒවායේ නිෂ්පාදකයෝ කල් ඇතිව වැඩට බැස සිටිති. මේ වන විටද උත්සව සමයට ආහාර නිෂ්පාදනය කරන ආයතන ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන විත් නිෂ්පාදනය ආරම්භ කර වෙළෙඳපොළට දැමීමට ආසන්නව සිටී. එසේ වුවද අද පවතින තත්ත්වය අනුව පාරිභෝගිකයන්ට වෙළෙඳපොළට පැමිණීමට අපහසු වුවහොත් ඔවුන් තම නිෂ්පාදන අලෙවි කරන්නේ කාටද යන්න ගැටලුවක් වේ.
එපමණක් නොව බොහෝ ආහාර ද්‍රව්‍යවලට උත්සව සමයේ අධික ඉල්ලුමක් ඇතිවීම කවදත් සිදුවන දෙයකි. ඒ සඳහා නිෂ්පාදකයන් සහ තොග මෙන්ම සිල්ලර වෙළෙඳුන් ද කල් ඇතිව අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර හෝ නිෂ්පාදනය කර ඉල්ලුමට මුහුණ දීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවෙන ක්‍රියාදාමයයි. එහෙත් අද පවතින කොරෝනා ආසාදිත තත්ත්වය අනුව ආණ්ඩුව ජනතාවට ගෙවල්වලින් එළියට බැසීම තහනම් කර ඇත. වන්දනා විනෝද ගමන් හා සංචාර තහනම් කර ඇත. පාසල් විශ්වවිද්‍යාල, ගුරු විද්‍යාලවල සිට “මොන්ටිසෝරිය” දක්වා අධ්‍යාපන ආයතන වසා දමා තිබේ. ආගමික සිද්ධස්ථානවල උත්සව ද තහනම් කර ඇත. මෙම පරිසරය තුළ ජනතාවගේ සංචාරය කිරීමේ නිදහස අසුරා ඇති නිසා ඔවුන්ට අවශ්‍ය දේ මිලට ගැනීමට නිදහසේ ගමන් බිමන් යාමට නොහැක. එසේම උත්සව සමය වන විට කුමන වාතාවරණයක් ඇතිවේද යන්න පිළිබඳ මේ වන විට සැකයක් මතුව ඇත. ඒ නිසා වෙනදා මෙන් උත්සව අවස්ථා, අවුරුදු චාරිත්‍ර ආදිය සැමරිය හැකිද යන්න අඩමාන බවට පත්ව ඇත. එබැවින් ඉඩ ප්‍රස්ථා ලැබුණ ද වෙන වසරවල මෙන් බහුල වශයෙන් අවශ්‍ය මිලදී ගැනීම් නොකිරීමට ජනතාව ස්වයං වාරණයක් ඇතිකරගෙන සිටීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ නිසා මෙවර වෙළෙඳපොළ හැසිරීම වෙන සමාන්තර කාලවලට වඩා වෙනසකට භාජනය වීමට ඇති ප්‍රවණතාව වැඩිය.
එසේම දැනටමත් රෙදි පිළි ආදී නිෂ්පාදන අලෙවි කරන ප්‍රධාන වෙළෙඳසල් රැසක් මුළුමනින්ම වසා ඇති බව වාර්තා වී තිබේ. ඇතැම් කුඩා වෙළෙඳුන් මහා පරිමාණ නිෂ්පාදකයන්ගෙන් ද්‍රව්‍ය මිලට ගෙන සිල්ලරට විකිණීමට පෙළඹී සිටින අතර එම ආයතන වසා තිබීම නිසා සිල්ලර වෙළෙඳුන්ට ද තම ව්‍යාපාරික අවස්ථාව අහිමිව ගොස් ඇත.
රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු මෙන්ම මූල්‍ය ආයතන ද උත්සව සමයේ දී පාරිභෝගිකයන් ග්‍රහණය කර ගැනීම සඳහා විවිධ ත්‍යාග දීම්, ලොතරුයි ඇදීම් හා වෙනත් සහන දීම් ආදී ක්‍රියාමාර්ග රුසක් ගැනීමට කල්වේලා ඇතිව කටයුතු කරන බව දක්නට ලැබේ. ඒ සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෙන් පුළුල් ලෙස ප්‍රචාරණය කිරීමට ද සැලසුම් කර තිබේ. එහෙත් මෙම කාලයේ දී එවැනි පාරිභෝගිකයන් වෙනුවෙන් දියත් කර ඇති වැඩසටහන් බලගන්වන බවක් දක්නට හැක. ඒ නිසා එවැනි ප්‍රවර්ධන වැඩසටහන් මෙම වසරේ වෙනදා මෙන් ආරම්භ වේ යැයි සිතිය නොහැකිය.
තවද වෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමයන්වල ගිනිකෙළි භාණ්ඩවලට විශාල ඉල්ලුමක් පවතී. එයට මුහුණදීම සඳහා ගිනිකෙළි නිෂ්පාදකයන් වසරේ මුල් මාස තුන තුළ සිය නිෂ්පාදන කටයුතු වර්ධනය කරලීමට උත්සාහ කරනු කවදත් දක්නට ලැබුණි. එහෙත් දැනට උද්ගතව ඇති අවිනිශ්චිතභාවය නිසා වෙනදා මෙන් ගිනිකෙළි භාණ්ඩවලට ඉල්ලුමක් ඇතිවේද යන්න සැකයට භාජනය වී ඇත. ඒ නිසා නිෂ්පාදකයන් තම නිෂ්පාදන ධාරිතාව අවම කිරීමට සැලසුම් කර සිටී. එසේම ගිනිකෙළි නිෂ්පාදන ආයතන ඇති ඇතැම් ප්‍රදේශවලට හදිසි නීතිය බලපැවැත්වීම නිසා ද එම කම්හල් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවක් එළඹී තිබේ.
මීගමුව පළාතේ ප්‍රකට ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කළමනාකරුවකු වන එච්.කේ. අමිලසිංහ පැවසුවේ තම කර්මාන්තශාලාවේ මෙවර නිෂ්පාදන පසුගිය වසරට සාපේක්ෂව 1/3 ක ප්‍රමාණයට අඩුකර ඇති බවය. එයට හේතුව මෙම උත්සව සමයේ ගිනිකෙළි පාවිච්චි කරන්නන් අඩුවනු ඇති බවට තම ආයතනයට දිවයිනේ විවිධ නියෝජිතයන්ගෙන් ලැබුණු ආරංචි වේ. ඒ අනුව වර්ෂයේ ඇස්තමේන්තුව බොහෝ දුරට අඩු කිරීමට තීරණය කර ඇත.
“වැඩිපුර නිෂ්පාදනය කළොත් ඉතිරිවන දේවල් ඊළඟ වසර දක්වා තබාගැනීමේ දී විවිධ ගැටලු ඇතිවෙනවා. කල් ගතවන විට කොතරම් නියමිත ප්‍රමිතියට තැනුවත් ඒ තත්ත්වය පවත්වාගන්න අමාරුයි. එහිදී ප්‍රමිතිය බාලවීම නිසා අපේ නිෂ්පාදනවල තත්ත්වය පහළ යනවා. ඒ නිසා අපි අවශ්‍ය ප්‍රමාණය මිස අතිරික්තව නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ වගේම මේ දවස්වල පවතින තත්ත්වය අනුව ස්ථානය නිතර වසා තැබීමට සිදුවීම හින්දා මෙහි සේවකයන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයක් ද ඇතිවී තිබෙනවා. අප දෙගොල්ලන්ටම අද පවතින තත්ත්වය නිසා බලාපොරොත්තු නොවූ ගැටලු ඇතිවෙලා තියෙනවා.”
සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ රජය මේ වන විට අප ආහාර ආනයනය කරන රටවල් ස්වකීය අපනයන සීමා කළහොත් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවය. එසේම රජය කඩිමුඩියේ පරිප්පු සහ සැමන් වැනි ආහාර ද්‍රව්‍යවල මිල පහළ දැමීම නිසා එම ද්‍රව්‍ය මේ වන විට ආනයනය කර ඇති තම ව්‍යාපාරිකයන් විශාල අමාරැවක වැටී තිබෙන බව ඔහු කියයි.
“දැන් අපට සිද්ධවෙලා තියෙන්නේ දැනට අපි ආනයනය කර ඇති තොග අලෙවි කරගත නොහැකි වීමෙන් ඒ රටවලට තොග පිටින් ආපසු යැවීමටයි. එයට හේතුව රජය නියම කර ඇති මිලට ඒවා අලෙවි කිරීමට අපට නොහැකි වීමයි. රජය පාඩුව පියවනවා යැයි කියන්නේ අපට නොවෙයි ආනයනකරැවන්ට වෙනස ගෙවීමෙන්. එයින් තොග හෝ සිල්ලර වෙළෙඳුන්ට වෙන යහපතක් නැහැ. මෙය ඒ දෙගොල්ල අතර ඩීල් එකක් හැටියටයි අපට පෙනෙන්නේ.”
ඔහු පවසන්නේ තමන් මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටට ගෙනැවිත් අවසන් බවයි. රටට අවශ්‍ය ප්‍රමාණයෙන් 80% ක් තම සාමාජිකයන් සපයන අතර ඉතිරි 20% සුපිරි වෙළෙඳසල්වල අලෙවි කෙරේ. මේ වන විට ද ස.තො.ස. ආයතනයෙන් අඩු මිලට දෙන පරිප්පු සහ සැමන් බෙදා අවසන් අතර අනාගතයේ දී මේවායේ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔහු කියයි.
“මෙම භාණ්ඩ තියෙන තොග දුන්නට පසු අනිවාර්යයෙන්ම හිඟයක් ඇතිවෙනවා. දැනටමත් ලොව රටවල් 106කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ආහාර අපනයනය සීමාකර ඇති පසුබිමක අනාගතයේ හිඟයක් ඇතිවීම ස්ථිරයි. උත්සව සමයේ දී ජනතාවට මේ තත්ත්වය තදින් බලපානවා ඇති.”
ඉදිරි උත්සව සමය ඉලක්ක කරගෙන රට තුළ සහල් ජාවාරම් කරන තත්ත්වයක් ඇතිව ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා කියයි. ඒ නිසා ආරක්ෂිත සහල් තොගයක් තබාගන්නා ලෙස ඔහු කෘෂිකර්ම ඇමැති චමල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත. මේ කන්නයේ වී තොග වෙළෙඳපොළට පැමිණීම අවසන් වෙමින් තිබෙන නිසා සහල් ජාවාරම හිස එසවිය හැකි බව පවසන ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් මෙයට පෙර ද එවැනි ක්‍රියාදාමයක නිරතව සිට ඇති බවය.
එසේම ඔහු ඉල්ලා සිටින තවත් වැදගත් කරුණක් වන්නේ දෛනික කුලී රැකියාවල නිරත වී ආදායම් ලබාගන්නා පිරිස් දුෂ්කරතාවයකට පත්ව ඇති බැවින් ඔවුන්ට අඩු මිලට සහල් ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසය. දැනට ඉදිරියේ ඇති උත්සව සමයේ දී ඇතිවන දුෂ්කරතා අවම කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙස ඔහු ඉල්ලා ඇත.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසන්නේ ආණ්ඩුව පරිප්පු සහ සැමන් මිල පහළ හෙළූ නිසා මේ වන විට හෝටල්වල පාන් බාගයක් සහ පරිප්පු හොද්දක් රුපියල් 60කට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවය. එසේම සැමන් දැවටූ පාන් කාලක් රුපියල් 30 බැගින් ද සැමන් හොදි සමඟ පාන් ½ බාගයක් රුපියල් 70 ක් වැනි මුදලකට අලෙවි කිරීමට උපදෙස් දී ඇති බවද ඔහු කියයි. ළඟ එන උත්සව සමයේ දී මෙම අඩුකළ මිල අනුව ආපනශාලාවලට පැමිණෙන පාරිභෝගික ජනතාවට අඩු මිලට කෑමවේලක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ද ඔහු කියයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ:
“මේ උත්සව සමය මෙයට පෙර උත්සව කාලවලට වඩා වෙනස්. එයට හේතුව කොරෝනා වසංගතය සමඟ සටන් කර අවුරුදු චාරිත්‍ර සැමරීමට සිදුවීමයි. මෙහිදී ජනතාවගේ අත්‍යවශ්‍ය දේවල්වත් දුෂ්කරතාවයෙන් තොරව ලබාදීම වගකිව යුතු රජයක යුතුකමක්. කොහොමත් උත්සව සමවල ඉල්ලුම ඉහළ යනවා. අද පවතින තත්ත්වයේ හැටියට ආනයනය සීමා වී ඇති අතර රට තුළ නිෂ්පාදනය ද දැඩි ලෙස පහළ බැස තිබෙනවා. එවැනි වාතාවරණයක දී රජයක් කල් ඇතුව යම් සහන ලබා දිය යුතු වුවත් අපට එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුව හැම වෙලේම කරන්නේ ප්‍රශ්නයක් ඇතිවූ විට යම් පැලැස්තර විසඳුමක් යෙදීමයි. අද ඇතැම් භාණ්ඩවල මිල පහළ හෙළීමත් එහෙම දෙයක් බවයි අපට නම් පෙනෙන්නේ. එහෙත් මෙය හැමවිටම කළ හැක්කක් නොවෙයි.”
යසවර්ධන රැද්රිගු