2020 මාර්තු 14 වන සෙනසුරාදා

තමන්ගේ හෝටලය නිරෝධානයට දන්දුන් සැබෑ මිනිසෙක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 266

නොසිතූ මොහොතක මුළු ලොව පුරා එකම වසංගතයක් ව්‍යාප්ත වෙමින් පවතී. එය ගෝලීය වසංගතයක් දක්වා දරුණු සහ බරපතළ ලෙස බූවල්ලෙකු මෙන් ව්‍යාප්ත වෙමින් දවසින් දවස ලෝකයේ රටින් රට තම ආධිපත්‍යයට නතු කරගනිමින් සිටී. සංවර්ධනය වූ රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද කොව්ඩ් - 19 ලෝක වසංගතයකට මුහුණ දෙමින් සිටී. මේ සෑම රටක්ම මේ රෝගය රට තුළ පැතිර යාම වැළැක්වීමට ගත හැකි එක් පියවරක් වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින්ද පවතී. ඒ තාවකාලික නිරෝධායතනයන්ය. ඇතැම් රටවල්වල වෙන්කෙරූ නිරෝධායන මධ්‍යස්ථානවල විධිමත් පහසුකම්ද නැත. නමුත් ශ්‍රී ලංකාව රටක් වශයෙන් මෙහිදී පසුවන්නේ ඉදිරියෙනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළුව අපේ ත්‍රිවිධ හමුදාවම සෑම ආපදා අවස්ථාවකදී මෙන්ම මේ ආපදා තත්ත්වයේදී පෙරමුණ ගත්හ.

ඔවුහු සැබෑ වීරයෝ වූහ. දිවා රෑ නොබලා ඔවුන් මේ තාවකාලික නිරෝධායතන ඉදිකිරීමට වෙහෙසුණහ. දෙරණ මළගමක් කළ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ හමුදාව තමන් නිදන ඇඳ කොට්ටය පොරවන පොරවනය පවා පරිත්‍යාග කරමින් මෙය තවත් එක් මානුෂීය මෙහෙයුමක් බවට පරිවර්තනය කර ගත්හ.

එම්.ඩී.ආර්. ප්‍රියන්ත ශ්‍රී ලංකාකියන් ව්‍යසනයක් පිළිබඳ භීතිකාවෙන් පෙළෙන මෙම අවස්ථාවේදී රටට අවශ්‍ය වූ නිරෝධායන මධ්‍යස්ථාන වෙනුවෙන් තම නිවාඩු නිකේතනය ලබාදෙමින් රට ජාතිය වෙනුවෙන් මාහැඟි යුතුකමක් ඉටුකරන්නට පෙරට ආ මනුෂ්‍යත්වය පිළිබඳ සොදුරු නිදර්ශනයකි. ව්‍යාපාරිකයෙක් වන ඔහු තම නිවාඩු නිකේතනය නිරෝධායතන කටයුතු කරලන්නට නොමිලේම ලබාදුන්නේය. හංවැල්ල ප්‍රදේශයේ පිහිටා තියෙන මෙම නිවාඩු නිකේතනය කාමර පහළොවකින් සමන්විත වුණු දෙමහල් නිවාඩු නිකේතනයකි.

“මගේ නිවාඩු නිකේතනය මෙම නිරෝධායනය කටයුතු සඳහා නොමිලේ ලබාදිය යුතුයි කියලා මුලින්ම අදහස පහළ වුණේ මේ රටේම ජීවත්වෙන ඇතැම් මිනිස්සුන්ගේ හැසිරීම් නිසාමයි. පසුගිය කාලයේදී හැඳල ලාඳුරු රෝහල අසල සිදුවුණු සිද්ධිය මගේ හිත දැඩිලෙස කම්පාවට පත්කළා. මේ මිනිස්සු තවත් මිනිස්සු පිරිසකගේ ජීවිත අවදානමකට ලක්කරන්නට ඇයි මෙහෙම කරන්නේ කියලා මට හිතුණා. ඉස්සර අපිට අසනීප තත්ත්වයක් ඇතිවෙලා ඒක සනීප කරගන්න බැරි වුණොත් ගමේ පන්සලට දුවපු මිනිස්සු කොට්ඨාසයක්. ගමේ පන්සලට, පල්ලියට එක්කගෙන ගිහින් ඇපඋපස්ථාන කරපු ජාතියක්. එහෙම හැඟීම් තිබුණ, ආගන්තුක සත්කාර දන්න මිනිස්සු හිටපු රටට අද මොකද වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ සිදුවීමෙන් මට මේ රටේ ඇතැම් මිනිස්සු ගැන කලකිරුණා. ඒනිසාම මට මේ මොහොතේ කළහැකි දෙයක් කළයුතුයි කියන හැඟීම ඇතිවුණා. ඒ නිසාම තමයි හංවැල්ල පිහිටා තියෙන මගේ නිවාඩු නිකේතනය නිරෝධායන කටයුතු සඳහා ලබාදෙන්න මම තීරණය කළේ.” මේක මුළු ලෝකයේම තියෙන වසංගතයක්. ඒ නිසා හැම පුරවැසියෙකුටම පුරවැසි යුතුකමක් තියෙනවා. තමන්ට කළහැකි දේ මේ වෙනුවෙන් කළයුතු වෙනවා. හැබැයි මේ වෙලාවේදී විදෙස්ගතව සිට ලංකාවට එන ශ්‍රී ලාංකිකයින්ද මනුස්සකමින් මේ ගැන හිතන්න ඕනේ. ඇතැමුන්ගේ හැසිරීම ඇත්තටම ලැජ්ජා සහගතයි. ඒ අස්සේ ශ්‍රී ලාංකික මනුස්සකමට මොකද වුණේ කියන ප්‍රශ්නය මගේ හිතට ආවා. ඒ අය මේ නිරෝධායන කටයුත්ත අනිවාර්යයෙන්ම කරගත යුතුයි.” යැයි ප්‍රියන්ත දේශයට පැවසීය.

ප්‍රියන්ත අවිස්සාවේල්ල ප්‍රදේශයේ උපන් තැනැත්තෙකි. අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ අවිස්සාවේල්ල සීතාවක විදුහලෙන් හැදෑරූහ. ඉතා කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ප්‍රියන්තගේ පියා අද ජීවතුන් අතර නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ ඔහු වසර පහකට පසුව පෞද්ගලික රක්ෂණ සමාගමක සේවයට බැඳුණි. මේ රාජකාරි කාලවලදී ලැබුණ සේවා අර්ථාසාධක මුදල යොදා ප්‍රියන්ත ඉතා කුඩා ව්‍යාපාරයක් සේවකයින් හයදෙනකු සමඟ ආරම්භ කළහ. ඒ මීට වසර පහළොවකට පමණ පෙරදීය. එතැන් සිට ඔහු ඉතා දුක්මහන්සියෙන් මේ ව්‍යාපාර ලෝකය ජයගන්නට උත්සහ දැරුවේය. ඒ ගමන එතරම් ලෙහෙසි වූයේ නැත. වරින් වර ඔහු ව්‍යාපාර කිහිපයක්ම ගොඩනැගූහ. අද වනවිට ඔහු ව්‍යාපාර පහක පමණ හිමිකරැවෙකි. එච්.ටී.එස්. ආයතන හිමිකරුවා වන්නේද ප්‍රියන්තය. එයට අනුබද්ධව HTS Cool Energy, Senura Transport + Services, City Grade Property Development, Organic tea Planter මෙන්ම Hotel Seismic පෞද්ගලික ආයතනවල හිමිකරැවා වන්නේද ඔහුයි.

තම නිවාඩු නිකේතනය නිරෝධායනය සඳහා නොමිලේ පරිත්‍යාග කරන්නට අදහස් කළ ප්‍රියන්ත පළමුව එය තම බිරිඳට පැවසූහ. ඇයද තම සැමියාගේ අදහසට කැමැත්ත පළකළහ.

“හැම මනුස්සයෙකුට මේ වෙනුවෙන් තමන්ට කළහැකි පරිද්දෙන් කුමක් හෝ දෙයකින් දායක වෙන්න. පුළුවන් කියන සිතුවිල්ල මගේ හිතේ හැමවෙලේම ඇතිවුණා. මිනිස්සුන්ගේ ඒ සිතුවිල්ල වෙනස් කරන්නත් මට ඕනවුණා. මේ ගැන මගේ බිරිඳට කිව්වම එයත් මේකට කැමති වුණා. ඊට පසුව මම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන මේ අදහස ගැන ඔවුන්ටත් කිව්වා. මෙය දැනට පවත්වාගෙන යන නිවාඩු නිකේතනයක්. දැන් ඒ සියල්ලම මම නතර කළා.” යැයි ප්‍රියන්ත මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මෙය කාමර පහළොවකින් යුතුවුණ නිවාඩු නිකේතනයකි. වායු සමීකරණය කරන ලද විශාල උත්සව ශාලාවක්ද මෙහි සමත්විත වේ. කාමර පහළොවට අමතරව මෙම උත්සව ශාලාව කොටස් ලෙසින් වෙන්කර තවත් කාමර කිහිපයක් ඉදිකරන්නට ද ඔහු අවසරය ලබාදුණි. මේ වනවිටත් මෙම උත්සව ශාලාවේ උත්සව පහකට පමණ දින වෙන්කර තිබුණි. ඒ වෙනුවෙන් එක් උත්සවයක් වෙනුවෙන් රුපියල් පනස්දහසක පමණ අත්තිකාරම් මුදලක්ද නිවාඩු නිකේතනය ගෙන තිබුණි. නමුත් ප්‍රියන්තගේ මේ මනුස්සකම් පිරි සිතුවිල්ලත් සමඟ ඔහු අමතර රුපියල් පන්දහසක් සමඟ ඒ සෑම අත්තිකාරම් මුදලම අදාළ පිරිසට ලබාදී ඇත. 

මේ එක් උත්සවයක් වෙනුවෙන් ලක්ෂ දහයක්, දොළහක් අතර මුදලක් ආදායමක් ප්‍රියන්තට ලැබෙන්නට තිබුණද නිරෝධායනය සඳහා නිවාඩු නිකේතනය ලබාදීමෙන් ඒ සියල්ල ඔහුට අහිමි විය. එපමණක්ම නොව දිනපතා නිවාඩු නිකේතනයට එන පිරිසෙන් ලැබෙන දෛනික ආදායමද ඔහුට අහිමි විය. නමුත් ඒ සියලු ආදායමට වඩා මේ මොහොතේ රට වෙනුවෙන් ඔහුට කළහැකි දේ ඔහු උපරිමයෙන් කරන්නට උත්සහ දැරීය. නිරෝධායතනයට ලක්වන පිරිස වෙත ඒ කාල සීමාවේදී අවශ්‍ය කරන සියලුම ආහාරපාන ඇතුළු සියලු පහසුකම් ප්‍රියන්ත මහතා ලබාදෙන්නට තීරණය කර ඇත.
“හංවැල්ල නිවාඩු නිකේතනයට අවට මිනිස්සු යම්දෙයක් තේරුම් ගතහැකි මිනිස්සු. ඒ මිනිස්සු ළඟ මනුස්සකම් තිබෙනවා. දුකේදී පිහිට වන මිනිස්සු. ඒ නිසා ඒ තේරුම් ගැනීම ඔවුන් තුළ තියෙනවා. අනවශ්‍ය දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දුකක්, ප්‍රශ්නයක් ජීවිතයට ඇතිවුණාම අපි මුලින්ම පන්සලට හෝ පල්ලියට තමයි යන්නේ. එතනත් මේ අසරණ මිනිස්සුන්ට පිළිසරණක් නැත්නම් ඒ හැමෝම අසරණ වෙනවා නේද?” ප්‍රියන්ත පවසයි.

ඔහුගේ මෙම නිවාඩු නිකේතනයේ ඉදිරිපස පර්චස් සියයක් පමණ ඉඩ ප්‍රමාණයක් ඇත. පිටුපස ඇත්තේ ඉතා විශාල පොල් වත්තකි. මේ නිසාම මෙය අවට ඉතා ආරක්ෂාකාරී ප්‍රදේශයකි. මීට පෙරද ප්‍රියන්ත අසරණ වුණු හව්හරණක් අවශ්‍ය වුණු මිනිස්සුන්ට විවිධාකාර අන්දමින් උපකාර කර තිබුණි. සමාජ සත්කාර බොහෝමයක් කර තිබුණි. නමුත් ඒ කිසිවක් ගැන සමාජයට කියන්නට ඒ ඔස්සේ ප්‍රසිද්ධ වන්නට ඔහුගේ කැමැත්තක් නැත.

එහෙත් මනුෂ්‍යත්වය පිළිබඳ වචනයෙන් පමණක් කතා කරන, ක්‍රියාවෙන් නිහීන මිනිසුන් සුලභ සමාජයක ප්‍රියන්ත සැබෑ මනුෂ්‍යත්වයේ විරල එක් නිදසුනක් වග පහන් හැඟුමෙන් ලියා තබනු වටී.

► දිශානි ජයමාලි කරුණාරත්න
පසුබිම් කතාව (බුද්ධික කුමාරසිරි - හංවැල්ල)
  

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03