2020 මාර්තු 14 වන සෙනසුරාදා

මහමැතිවරණයට කඩාපාත්වෙන කොරෝනා අපලය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමත් සමඟ මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත අවශ්‍ය තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි යනුවෙන් මාධ්‍ය වාර්තා පළ විය. ඉදිරියේ ශ්‍රී ලංකාවේ ඇතිවන තත්ත්වය මත මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නිර්දේශ ලබා දෙන බවට වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ වරයා පවසා ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මෙවැනි වාතාවරණයක් යටතේ මැතිවරණය කල් යනු ඇතැයි සැකයක් පවතින බවද එම වර්තාවලින් අනුමාන කර තිබිණි. මේ සම්බන්ධයෙන් අප විමසා සිටියේ මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙනි.

සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය පරිදි මැතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බවත් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. සෑම මැතිවරණයක් පැවැත්වීමට පෙර මැතිවරණ කොමිසම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මැතිවරණ පැවැත්වෙන කාලයේ ඇතිවිය හැකි වර්ෂාපතනය, නියඟය වැනි කාලගුණික තත්ත්වයන් පිළිබඳව විමසා බලනවා. මහාමාර්ග අමාත්‍යංශය හා සාකච්ඡා කර නාය යා හැකි ප්‍රදේශවලට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. පසුගිය මැතිවරණයේදී අපි ආපදා කළමනාකරණ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කළා. ඒ කිසියම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහායි. ඉදිරි මැතිවරණ කටයුතු සඳහා  ඡන්ද මධ්‍යස්ථානවලට අපගේ නිලධාරින් යැවිය යුතුයි, දේශපාලන රැස්වීම් පැවැත්වෙනවා, ඡන්ද මධ්‍යස්ථානවල  ජනතාව ගැවසෙනවා. මේ දිනවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වන හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දිනයක දී සාකච්ඡාවකට පැමිණෙන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේ ගතයුතු පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහායි. එම අවස්ථාවේ මැතිවරණයක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු වූයේ නැහැ. මෙය සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකට පෙර අප ගන්නා ආරක්ෂිත පියවරයක් විනා මැතිවරණය කල්දැමීම පිළිබඳ සාකච්ඡාවක් නොවෙයි. 

රටේ කිසියම් හදිසි තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවරක් ගත හැකියි. දැනට එවැනි අවශ්‍යතාවක් නැහැ. මෙවැනි ප්‍රවෘත්ති පළවෙන්නේ අපි අභ්‍යන්තරයේ කරන කතාබහට ඇතැම් මාධ්‍ය විසින් විවිධ අර්ථකතන දෙන්නට උත්සාහ කිරීම නිසයි. අවශ්‍ය වුවහොත් මැතිවරණ කොමිසමට මැතිවරණ කල් දැමීම සඳහා පාර්ලිමේන්තු පනතේ යම් යම් බලතල පවතිනවා. පවතින නීතියට යටත්ව ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමට එවැන්නක් නිර්දේශ කළ හැකියි. ජනාධිපතිවරයා වුවත් කටයුතු කළයුතු වන්නේ පවතින නීතිය අනුවයි. නීතියට පටහැනි ලෙස කටයුතු කළ නොහැකියි. මැතිවරණ කොමිසම වුවත් මැතිවරණ නීතියට යටත්ව කටයුතු කළ යුතුයි. මැතිවරණයක් කල් දැමීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැඟී නැහැ. එහෙයින් එවැන්නක් පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. යනුවෙන් ප්‍රකාශ කළේය.

කිසියම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය කල්තැබිය හැකිද යන්න අප විමසා සිටියේ  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්  පක්ෂ‍හයේ ලේකම් හිටපු ඇමති ඩියු ගුණසේකර මහතාගෙනි. එවැනි අවස්ථාවක් උද්ගතවුවහොත්  මැතිවරණ කොමිසම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ යුතුයැයි ඔහු සඳහන් කළේය.

කොරෝනා වෛරසය නිසා මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. ශ්‍රී ලංකාව එම රෝගය පාලනය කර තිබෙනවා. චීනයෙත් මේ වන විට රෝගය පාලනය වී තිබෙනවා. අපේ සෞඛ්‍ය සේවය උසස් අන්දමින් කටයුතු කරන නිසා මෙම රෝගය ලංකාවේ  දරුණු ලෙස ව්‍යාප්ත වී මහා මැතිවරණය කල් දමන තත්ත්වයට පත්වේයැයි මා සිතන්නේ නැහැ. මැතිවරණ කොමිසමට තනිව තීරණයක් ගත නොහැකියි. ඔවුන්ට අවශ්‍ය මැතිවරණය පැවැත්වීමටයි. සෞඛ්‍ය අමාත්‍යංශය එවැනි ඉල්ලීමක් කරන්නේ නම් එය ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි එවිට කැබිනට් මණ්ඩලය මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දෙනවා මැතිවරණය කල් තැබිය යුතුද නැද්ද කියලා. මැතිවරණ කොමිසම ආණ්ඩුවේ මතය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. රටේ හදිසි තත්ත්වයක් පවතින්නේ නම් ජනාධිපතිවරයාට මැතිවරණය කල්දැමිය හැකියි. කොරෝනා රෝගය පැතිර යන්නේ ජනතාව ලෙස ඒකරාශි වූ‍ණොත්නේ. අපේක්ෂකයන්ට දේශපාලන රුස්වීම් නොතබා ජනමාධ්‍ය ඔස්සේ අවශ්‍ය ප්‍රචාරය ලබා ගත හැකියි.

2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරැවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරේ. මේ සම්බන්ධයෙන් 70 සහ 33 යන ව්‍යවස්ථා දෙකෙහි සඳහන්ය.

එහෙත් ජනාධිපතිවරයාට මැතිවරණය කල්දැමීමේ හැකියාවක් පවතීදැයි අපි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාගෙන් විමසා සිටියෙමු ඒ මහතා සඳහන් කළේ මැතිවරණ කල් දැමීම නිත්‍යනුකූල නොවන බවයි. එහෙත් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත්  නීතියේ විශේෂ ප්‍රතිපාදන නොමැති වුවද ඇතැම් සිද්ධාන්ත යටතේ එනම් &නොකළ හැකි ක්‍රියාවක් කිරීම සඳහා නීතියෙන් නියම කරන්නේ නැත යන සිද්ධාන්තය යටතේ නීත්‍යානුකූල වන අවස්ථා පවතින්නේ යැයි ඔහු පැවසීය.

මැතිවරණ කල් දැමීම පිළිබඳ ප්‍රවෘත්තිය කිසියම් බොරු බියක් ඇති කිරීමේ ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. මැතිවරණ කල් දැමීමේ කිසිදු අදහසක් නොමැති බවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය හමුවේ කියා තිබුණා. ඉතින් ඇයි නිකං අනවශ්‍ය බියක් ඇති කරන්නේ. රටේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි දරුණු වාතාවරණයක් උද්ගතවුවහොත් නීතිය කුමක් වුවත් මැතිවරණයක් පැවැත්විය නොහැකියි. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව හදිසියේ රැස්කර ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට සිදුවෙනවා.. එහෙත් දැනට පවතින තත්ත්වය අනුව නම් මැතිවරණ කල්දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. මෙය කාගේ හෝ දේශපාලන අවශ්‍යතාවක් මත කියන දෙයක්දැයි සැකයි. යනුවෙන් සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා