2020 මාර්තු 14 වන සෙනසුරාදා

රවී ඇතුළු පිරිසගේ නීති හරඹය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

යහපාලන ආණ්ඩුව බලයට පත් වී කෙටි කලකින් සිදුකළ භාණ්ඩාගාර නිකුතුවේදී සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය වංචාව හෙවත් බැඳුම්කර වංචාව රටම දනිති. ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී රැපියල් කෝටි 5,200ක් හෙවත් රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළා යැයි කියන චෝදනාවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සමඟ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු දස දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කරමින් වරෙන්තු නිකුත් කොට තිබුණේ පසුගිය 6 වැනිදාය.

අත්අඩංගුවට ගැනීමට නියම කළ සෙසු පිරිස අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, අධ්‍යක්ෂකවරුන් වන රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් පුංචිහේවා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරී එස්. පදුමනාපන් සහ සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරී ඉන්දික සමන් කුමාර යන අයද වූහ. චෝදනාවේ පළමු සැකකරු වශයෙන් නම් කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත සිතාසියක් නිකුත් කෙරුණු අතර සිද්ධියේ දහවැනි සැකකරු ලෙස නම් කළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී බුද්ධික සරත්චන්ද්‍ර මහතා සම්බන්ධයෙන් නඩුවක් පවත්වාගෙන යාමට කරැණු නොමැති හෙයින් ඔහුට සිතාසියක් හෝ වරෙන්තුවක් නිකුත් නොකිරීමට ද තීරණය කළේය.

සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කරමින් මාර්තු 4 වැනිදා අධිකරණ නියෝගයක් නිකුත් කෙරුණු අතර මාර්තු 6 වැනිදා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කෙරිණ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සිරිත් පරිදිම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් තිබුණි. ඒ වනවිටත් රවී කරුණානායක මහතා නිවසේ නොසිට අතුරුදන් තත්ත්වයේ පසු වූයෙන් නිලධාරීන් හිස් අතින් පිටත්ව ගොස් තිබිණ. මේ ආකාරයෙන් නැවත අවස්ථාවකදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයා සොයා නිවසට ගිය ද ඵලක් තිබුණේ නැත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ප්‍රවෘත්ති වාර්තා කරද්දී මහජනතාව ඒ දෙස අවධානයෙන් පසුවූහ. එහෙත් තවමත් සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැත. මේ හා සම්බන්ධ නොයෙක් විවේචන කතා එල්ල වෙද්දී දේශපාලන පක්ෂ හා සංවිධානවලින් සිය ප්‍රකාශන සමාජගත කරන්නට පියවර ගත්තේය. මේ අතර ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කර තිබුණේ රවී කරුණානායක මහතා අතුරුදන්ව සිටීම පසුපස ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ මැදිහත්වීමක් පවතින බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ පළිගැනීමේ වුවමනාව මත පිහිටා පසුගිය එජාප ආණ්ඩුව තමාගේ දරුවන් හා සහෝදරයන් මෙන්ම කිට්ටුවන්ත දේශපාලනඥයන් සිරගත කළ ආකාරය අමතක නැති බවය. අධිකරණ කටයුතුවලට අත පොවා බැඳුම්කර සිද්ධියට අදාළ චූදිතයන් අත්අඩංගුවට ගැනීම නතර කරන්නට තරම් තමන් අඥානයකු නොවන බවද අධිකරණ නියෝග ප්‍රකාරව නොපමාව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගතයුතු බවය.

පැවති මැතිවරණවලට අදාළ ප්‍රචාරණ ක්‍රියාවලියේදීත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නොයෙක් කතා අසන්නට ලැබිණ. එවකට ආණ්ඩුව ගෙදර යැවීමේ ප්‍රබල තුරැම්පුවක් බවටද එම බැඳුම්කර කතාව පත්ව තිබිණ. සිදුවීම පිළිබඳ විමර්ශන සිදුවෙමින් පැවති අතර ඒ සඳහා ජනාධිපති කොමිසමක් ද පත්කරනු ලැබීය. ඒ අනුව පැවැත්වූ වෝහාරික විගණන වාර්තාව මගින් බැඳුම්කර වංචාවේ මුල මැද අග සියලු කරුණු ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.
මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පැවතිණ. එහිදී අනාවරණය කරගෙන තිබුණේ 2016 මාර්තා 29 සහ මාර්තු 31 යන දින දෙකේදී පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 51.98 ප්‍රමාණයක් සාවද්‍යව පරිහරණය කර ඇති බවයි. ඉන් මාර්තු 29 වෙන්දේසියේදී රුපියල් බිලියන 36.98ක සහ මාර්තු 31 රුපියල් බිලියන 15ක භාණ්ඩාගාර බැඳුම්කර සාවද්‍ය පරිහරණය කර ඇතැයි හෙළි වී ඇත. 2015 වසරට අදාළ බැඳුම්කර නිකුතුවට අදාළව නීතිපතිවරයා විසින් ඉකුත් 2019 වසරේ ජූනි 28 වැනිදා සැකකරැවන්ට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමෙන් පසුව මේ දක්වා නඩුව විභාග වෙමින් පවතී.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය නියෝග කොට තිබුණේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසය. එසේ තිබියදී රවී කරුණානායක හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් දෙපළ ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා රිට් පෙත්සමක් ගොනු කර තිබිණ. බත්තරමුල්ල හා කොල්ලුපිටිය මොනැෂ් නිවාස සංකීර්ණයේ පිහිටි රවී කරැණානායක මහතාගේ නිවෙස් පරීක්ෂාවේදී ඔහු එම ස්ථානවල නොසිටීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කරමින් සිටිති. එම රහස් පොලිස් කණ්ඩායම් හතර මේ වනවිට ප්‍රදේශ කිහිපයක රැඳී සිටින බවද දැනගන්නට තිබේ;. එම පිරිස සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනකු නායකත්වය සපයන බව රහස් පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය.

රවී කරුණානායක පාර්ශ්වය විසින් යොමු කළ රිට් පෙත්සම පසුගිය 10 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබිණ. අධිකරණ භූමිය අවට එදින රහස් පොලිස් නිලධාරීන් ස්ථානාගතව සිටියද අමාත්‍යවරයාගේ පැමිණීමක් සිදුවූයේ නැත. එදිනද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුණු අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක මුත්තුරාසා සුරේන්ද්‍රන් නැමැත්තා පසුගිය 7 වැනිදා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගක කිරීමට නියෝග කෙරිණි.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රවි කරුණානායක මහතා ඇතුළු පිරිසට සිකුරාදා (13) පස්වරු 4.ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය නියෝග කොට තිබිණ. ඒ අනුව අධිකරණයට පැමිණි රවි කරුණානායක මහතා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. අභියාචනාධිකරණ නඩුව විභාග කර අවසන් වනතුරු සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද නියෝග කළ හෙයින් පිරිස යළිත් පිටව ගොස් තිබිණ. යළිත් නඩුව කැඳවීම ලබන (18) වැනිදාට කල් තැබිණි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර