2020 මාර්තු 14 වන සෙනසුරාදා

රට ඉඳන් ඇවිත් ගුවන්තොටේදී ඩෙඟා නටන අපේ කට්ටිය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

අපි යාළුවෝ තුන් හතර දෙනෙක් කතා වෙලා ආවේ අපේ ගෙදරක තනියම නතරවෙලා ඉමු කියලා. එතකොට අපිට තනියම නිරෝධායනය වෙන්න පුළුවන්නේ. අපිට ලෙඩක් වුණොත් කාටවත් බෝවෙන එකක් නෑ. අපිට මේ කාලගුණය දිරවන්නේ නෑ. කොරියාවේ සීතලයි. මෙහෙ එහෙම නෑ. අපිට අව්වේ ඉන්න නෑ, අපිට මෙහෙදි නැති ලෙඩ හැදෙයි.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි පිරිස කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට යොමු කරනු ලැබූහ. එම අවස්ථාවේදී නොසන්සුන්කාරී ලෙස හැසිරිනු කිහිපදෙනෙක් අතරින් සෞඛ්‍ය නිලධාරීන්ට තර්ජනය කරමින් හා දෝෂාරෝපණය කරමින් හැසිරුණාහ. ඉහත දැක්වූයේද එවැනි කතාවක කොටසකි.

පසුගිය 10 වැනිදා පෙරවුරැවේ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ 164 දෙනකුගෙන් සිව්දෙනකු පමණක් කල්ලි ගැසී මෙසේ විවිධ තර්ක ඉදිරිපත් කරමින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළු වීම ප්‍රතික්ෂේප කළෝය. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයකට එහා ගිය තරැ පන්තියේ සුපිරි හෝටලයක පහසුකම් ඉල්ලා සිටින බවක් පෙනෙන්නට තිබිණ.

අපිට කීවේ තනි කාමර දෙනවා කියලා. අද මේ කට්ටිය ඉඳියි. හෙට තව කට්ටියක් ගෙනත් දායි. එහෙම ගිහින් අන්තිමට මෙතන දාහක් විතර ඉඳියි. ආමි එකට කරන්න දෙයක් නෑ ඉතින්. මේක එයාලගේ තාවකාලික විසඳුමක් විතරයි. මේක එයාලට අදාළත් නෑ. උඩින් එන ඕඩරයට එයාලා වැඩ කරන්නේ. කවුරැ මොනවා කීවත් අපි ගැන කවුද වගකියන්නේ? මඩකලපුවේ සැප තියෙනවා කියලා කිව්වේ. අන්තිමට බස් එකක් නැතුව චොපර් එකෙන් ගෙනාවේ. කොරියාවෙදී අපිට හැමදේම නොමිලේ ලැබුණේ. දැන් ලංකාවෙදි අපිට ගල් ගහන ජාතියේ මිනිස්සුනේ ඉන්නේ

මේ ආකාරයට ඉතා පහත් හා අශෝබන ලෙස සිය අදහස් ප්‍රකාශ කරමින් ඒවා ජංගම දුරකථනය මගින් පටිගත කර සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධ කර ඔවුන් කිහිපදෙනාගේ විනය හැදියාව සමාජයට නිරාවරණය කොට තිබේ. ඒ හරහා ඔවුන්ගේ අධ්‍යාපනය හා දැනුම සම්බන්ධයෙන් සෙසු අයට අවබෝධයක් ලැබී තිබේ.

ඔවුන් විසින් පටිගත කළ වීඩියෝ පටය මේ වනවිටත් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී. අපරාදේ ලංකාවට ආපු එක. අපිට කොරියාවෙම ඉන්න තිබුණේ. කිසි සැලැස්මක් නෑ මෙයාලට යනුවෙන්ද ඔවුන් ප්‍රකාශ කරන බව දකින්නට ලැබේ. අප වැනි රටකට මෙවැනි හදිසි අවස්ථාවකදී සුපිරි පන්තියේ සැලසුම් මැද නිරෝධායන ක්‍රමවේද අනුගමනයට පහසුකම් නොවීම ගැටලුවක් නැත. එහෙත් අත්‍යවශ්‍ය පරිදි නිරෝධායන ක්‍රමවේද අනුගමනය කරමින් අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. පසුගියදා 180කට අධික පිරිසක් මෙරටට පැමිණ සිටියදී නිරෝධායනයට ඔවුන් යොමු කළ පසුබිමක මෙවැනි කිහිපදෙනකුගේ නොමනා හැසිරීම් හා අදහස් ප්‍රකාශනය ඉතා පිළිකුල් සහගත විය.

ඉකුත් දහවැනිදා අලුයම 3.33ට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළේ සිට කොරියානු ගුවන් සේවයට අයත් K.E. 473 දරන ගුවන් යානයෙන් මගීන් 166 දෙනකු පැමිණ තිබිණ. පිරිස අතර 164 දෙනකු ශ්‍රී ලාංකිකයන් වූ අතර දෙදෙනෙක් කොරියන් ජාතිකයෝ වූහ. මීට අමතරව වෙනත් ගුවන් යානා කිහිපියකින් ඉතාලියේ සිට පැමිණි මගීන් 15 දෙනෙකි. මේ කිසිවෙක් කොවිඩ් - 19 රෝගය ආසාදිත වූවන් නොවුණ ද කටුනායක ගුවන් තොටුපොළ කාර්යබාර නිලධාරීවරයා හා සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශ සහයෝගයෙන් ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැනිණ. මේ පිරිස මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා තිබිණ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් පහසුකම් සහිත බස් රථ පහක් යොදවා තිබිණ. එම ගමන අතරතුර පිරිස රුකබලා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත්ව සිටියේය. අදාළ පිරිස මඩකලපුව දක්වා රුගෙන යමින් සිටියදී පෙර කී පිරිසේ අයෙක් යුද හමුදා රියදුරකුගේ ගෙල මිරිකා සිදුකරන්නට ගිය කළබැගෑනිය බරපතළ එකකි. ඉතාම පහත් හා මිලේච්ඡ ක්‍රියාවක් සිදු කරන්නට උත්සාහ කළ ඔවුන්ගේ මානසිකත්වය කෙසේ වෙතත් සියලුදෙනාට එක හා සැලකීමට යුදහමුදාව හා සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මේ අයුරෙන් ඉදිරි දිනවලදී ඉතාලිය, දකුණු කොරියාව හෝ ඉරාණය යන රටවලින් මෙරට පැමිණෙන පිරිස නිරෝධායනය සඳහා පියවර ගැනේ. ඒ සඳහා කටුනායක ගුවන් තොටුපොළ සිට පෙරවරු 6ට හා පස්වරු වශයෙන් විශේෂ බස් රථ සේවයක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා යුද හමුදාව එක්ව ක්‍රියා කොට ඇත. මේ කාල සීමාව එළැඹෙන තෙක් ඊට පෙර පැමිණෙන ගුවන් මගීන් කටුනායක එයාර්පෝර්ට් ගාඩ්න් හෝටලයේ රඳවා තැබීමට පියවර ගෙන ඇත. එහිදී පිරිසට අවශ්‍ය සියලුම සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සනීපාරක්ෂක අවශ්‍යතා නවාතැන් හා ආහාරපාන සියල්ල යුද හමුදාව විසින් සැපයේ.

මෙතරම් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් හමුදාව හා සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වන්නේ මිලියන 21ක් තරම් මෙරට ජනතාව කොරෝනා වසංගතයෙන් බේරා ගැනීමටය. එම වෛරසය රටට ඇතුළු වීම වැළැක්වීමට ගන්නා පියවර සම්බන්ධ ස්තූතිය පළකළ යුතුව තිබියදී ආසාදිතයන් ජීවත් වූ රටක සිට මෙරටට පැමිණි පිරිස නිරෝධායනයට යොමු කරන්නේ රටේ ආරක්ෂාවට බව නොතකා කෑකෝ ගැසීම තේරැමක් නැත. ඒ පිළිබඳව අවතක්සේරැවෙන් ක්‍රියා කරන හා ක්‍රියා කළ පිරිස් මෙරටට ආවාට වඩා එරට රුඳී සිටියානම් හොඳ බැව් අපගේ අදහසය.

මෙම නිරෝධායන ක්‍රියාවලිය නිසි ලෙස ඉටු කරන්නට කැපවන යුද හමුදාව වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මෙරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම මෙන්ම ලංකාවේ මිලියන 21ක ජනතාව වෛරසයෙන් ආරක්ෂා කිරීම ද යුද හමුදාවේ වගකීම බවය. එබැවින් රටට පැමිණෙන පිරිසගේ යුතුකම රටේ ජනතාව වෙනුවෙන් නිසියාකාරව නිරෝධායනයට ලක්වී තම යුතුකම ඉටු කිරීමය.

චීනයේ වූහාන් සිට පැමිණි පිරිස දියතලාවේ රඳවා සිටි නිරෝධායනය කළේද එම වගකීම ඉසිලුවේද යුද හමුදාවය. එය අති සාර්ථකව සිදුකළ බැවින් ඉදිරියට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු කරයි. ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ විෂබීජ පරික්ෂාවක් සිදු කරන අතර එයද විශේෂිතය.

නිරෝධායනයට එරෙහිව හා එම ක්‍රියාවලිය පිළිබඳ අප්‍රසාදයෙන් අදහස් ප්‍රකාශ කොට තිබූ දකුණු කොරියාවේ සිට පැමිණි පිරිසේ කිහිපදෙනාගේ සිදුවීම හා ඊට පසුව එල්ල වූ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් දැක්වීය.

ත්‍රිවිද හමුදාව සෞඛ්‍ය අමාත්‍යංශය හා ආරක්ෂක අමාත්‍යංශය එක්ව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන දෙස් විදෙස් කිසිම කෙනකුගෙන් මුදලක් අය කරන්නේ නෑ. දැන් කාලේ කොට්ට මෙට්ට උඩ නිදාගත්තට අපි යුද්ධ කාලේ ගස්, ගල් උඩ නිදාගත්ත සෙබළු. සෙබළුන්ගේ භාවිතයට තිබුණු ඇඳන් 2000ක් මෙට්ට 4000ක් කොට්ට 4000ක් සහ ඇඳ ඇතිරිලි 8000ක් අපි ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කරලා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ. ප්ලාස්ටික් බෝතල් කපලා ඒවාට කෝපි දෙන විදිහේ වැඩ කරන්නේ නෑ. පුංචි රටක ඉන්න අපිට පහසුකම් නැතත් අපි අවශ්‍ය කටයුතු සඳහා උපරිම දායකත්වයෙන් කටයුතු කරනවා.

මෙකී කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය නීති කඩ කරන එම නීතිවලට පටහැකිව ක්‍රියා කරන පිරිස් වෙත නීතිය තදින් ක්‍රියාත්මක කරයි. ඒ සඳහා 1897 අංක 03 දරණ රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනත ප්‍රතිපාදන මත ක්‍රියා කරන බවත් එහිදී මාස 6ක සිර දඬුවමක් හා රුපියල් 2000 සිට 10000 දක්වා දඩ මුදලක් හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා අවධාරණය කළේය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර