2020 මාර්තු 14 වන සෙනසුරාදා

ලෝක වෙළෙඳපොළේ බාගෙට බසිද්දී ලංකාවේ නොබසින තෙල් මිල

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 56
වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළ බැස තිබේ. පසුගිය 8 වැනිදා වාර්තා වූ පරිදි WTI බොරතෙල් බැලරය අමෙරිකානු ඩොලර් 31.03ක් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැලරයක් මිල අමෙරිකානු ඩොලර් 27.86 ක්ව ඇත. මෙලෙස තෙල් මිල පහළ ගියේ මේ වන විට කො‍රෝනා හෙවත් කොවිඩ්-19 වෛරස වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් ජාත්‍යන්තර වශයෙන් බොරතෙල් ඉල්ලුම පහළ බැසීම නිසාය. මෙයට තවත් හේතුවක් වූයේ තෙල් නිකුතුව සම්බන්ධයෙන් සෞදි අරාබිය හා රුසියාව අතර යම් විරසක තත්ත්වයක් උද්ගත වී තිබීමය. බොරතෙල් ඉල්ලුම අඩුවීම නිසා ඇතිවූ මිල පහළ යාම වැළැක්වීම සඳහා තෙල් නිකුත් කිරීම කප්පාදු කරන ලෙසට සෞදිය කළ ඉල්ලීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ද හේතු විය.
 
“සෑම කළු වළාකුලකම රිදී රේඛාවක් ඇත” යන ආප්තෝපදේශය සනාථ කරමින් මුළු ලෝකයටම මුහුණපාන්නට සිදුව ඇති කොරෝනා වෛරස ගැටලුව හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි ලොව දියුණු වෙමින් පවතින රටවලට ඉන්ධන මිල අඩුවීම නිසා ආර්ථික වශයෙන් විශාල සහනයක් උදාවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එහෙත් එලෙස ඉන්ධන මිල අඩු වී දැනට සති දෙකකට ආසන්න කාලයක් ඉකුත්ව ගිය ද එම වාසිය පොදු ජනතාවට ලැබෙන බවක් පෙනෙන්නට නැත. මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර ගනිමින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ නිකුත් කළ ද එතැනින් එහාට කිසිවක් සිදුව ඇති බවක් දක්නට නොමැත.
 
ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉදිරියේ දී බොරතෙල් බැලරයක මිල අමෙරිකානු ඩොලර් 10 දක්වා අඩුවනු ඇති බවය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 වෛරස බලපෑම ලෝක වසංගතයක් ලෙස නම්කර ඇති අතර මෙම තත්ත්වය ඉක්මනින් පාලනය වන බවක් පෙනෙන්නට නැත. ඒ නිසා තෙල් මිල පහළ යාම දිගටම අල්ලාගෙන සිටිනු ඇත.
 
මෙම වාතාවරණය මත බොරතෙල් මිල පහළ වැටීමෙන් ලැබෙන වාසිය මහජනතාවට හිමිකර දීම තවත් ප්‍රමාද කළ යුතු නොවන බව වැඩි දෙනාගේ අදහසයි. එහි ප්‍රතිඵලය වන්නේ පත්වී මාස තුනක් ඉකුත්ව යන නව රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය ජනිත වීමය. විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් මෙම තත්ත්වය රජය සහ ජනතාවගේ හොඳ හිත බිඳවීම සඳහා යොදාගන්නා බව ඔවුන් කරන ප්‍රකාශ අනුව පෙනෙන්නට තිබේ. ළඟ එන මැතිවරණයේ එය පාලක පක්ෂයට අවාසියක් වීමට ඉඩ ඇත.
 
මේ පිළිබඳ විදුලිබල, බලශක්ති සහ මගී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අනුව අපේ රටේ මිල අඩුකිරීම පිළිබඳ මේ වන විට අවධානය යොමුකර ඇති බවය. දැනටමත් මේ ගැන අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා පවත්වමින් සිටින බව පවසන ඇමැතිවරයා ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන දීම වහා කළ නොහැකි අතර එයට තව දෙසතියක් පමණ ගත විය හැකි බවද කියයි.
 
“ලෝක වෙළෙඳපොළේ මෙයට පෙර ද තෙල් මිල පහළ ගියා. මෙහි වාසිය ඍජුවම ජනතාවට ලබා දීමට නම් ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු මෙන්ම සියලු ප්‍රවාහන ගාස්තු ද පහළ යා යුතුයි. එම කටයුතු සැලසුම් සහගතව කරන්නට මේ වන විට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරමින් සිටිනවා.”
 
ඔහු තවදුරටත් පවසන්නේ පසුගිය ආණ්ඩුවේ මිල සූත්‍රය ක්‍රියාත්මක වූවා නම් තෙල් ලීටරයකට රුපියල් 12 ක් වැඩිපුර ගෙවීමට පාරිභෝගිකයාට සිදුවන බවයි. එසේම ලෝක වෙළෙඳපොළේ මිල අනුව මිල ඉහළ නොදමා ස්ථාවර මිලකට රටේ ඉන්ධන අලෙවි කිරීම නිසා පසුගිය මාස දෙකට පමණක් රජයට මිලියන 14,000 ක් පාඩු වී ඇතැයි ඔහු අවධාරණය කරයි.
 
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසන්නේ සංස්ථාව මේ වන විට මිලියන 14,000ක පාඩු ලැබුවද මිල පහළ යාමේ වාසිය ජනතාවට දෙන බවයි. අඩු වූ තෙල් මිල ඉදිරියේ දී ස්ථාවර මිලකට පත් කර ජනතාවට දිගටම සහන දෙන බවද ඔහු කියයි. සංස්ථාව පසුගිය සමයේ ලැබූ අලාභය මේ අවස්ථාවේ දී පියවා ගැනීමට අදහස් නොකරන බවද ඔහු කියයි.
 
ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල ලාභයක් තබාගෙන රාජ්‍ය අංශයේ ආයතනවලට ඉන්ධන සැපයීම නිසා එම ආයතන විශාල ලෙස පාඩු ලබන බවය. එම පාඩුව ආවරණය කිරීම සඳහා මිල ඉහළ නැංවීමට ද රජය අවසර නොදේ. මේ තත්ත්වය මත එම ආයතනවලට තෙල් සංස්ථාවෙන් ණයට ඉන්ධන ලබාගැනීමට සිදුව ඇති අතර, ඇතැම් අවස්ථාවල ණය සීමාව ඉක්මවා ගිය විට සංස්ථාව ණයට තෙල් සැපයීම නැවැත්වීමෙන් තමන් විශාල අර්බුදයකට ලක්වන බව ඔවුහු කියති. මෙහිදී රාජ්‍ය බැංකුවලින් ණය ගැනීමට ද එම ආයතනවලට සිදුවෙයි. ලෝක වෙළෙඳපොළේ මිල අඩුව ඇති මේ අවස්ථාවේ දී තවමත් මේ ආයතනවලට වැඩි මිලට ඉන්ධන සැපයීම විශාල අසාධාරණයක් බව පවසන ඔවුහු හැකි ඉක්මනින් අඩු මිලට ඉන්ධන සැපයිය යුතු බව අවධාරණය කරති. කෙසේ වුවද පාරිභෝගිකයාට ඉන්ධන අලෙවි කරන මිලට වඩා විශාල වශයෙන් ඉන්ධන පාවිච්චි කරන රාජ්‍ය අංශයේ ආයතනවලට සහන මිලට ඉන්ධන සැපයිය හැකි නම් ඒවා දැනට දරන විශාල පාඩුව අවම කර ගැනීමට හැකි බවද අවධාරණය කෙරේ.
 
ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත පෙන්වා දෙන්නේ තෙල් මිල අඩුවීම නිසා ඛනිජ තෙල් සංස්ථාව මේ දිනවල දිනකට රැපියල් හතළිස් තුන්කෝටි විසිහත් ලක්ෂයක් ලාභ ලබන බවය. ඔක්ටේන් 92 පෙට්‍රල්වලින් දිනකට රුපියල් දහසය කෝටි විසි ලක්ෂයක් ද, ඩීසල්වලින් විසිහය කෝටි හත් ලක්ෂයක් ද ලාභ ලබන්නේය. සෙසු ඉන්ධන වර්ගවලින් ලබන ලාභය මෙයට අතිරේක වශයෙනි. ඔහු මෙසේ කියයි.
 
“රාජ්‍ය ආයතනවලට පෞද්ගලික වෙළෙන්ඳන් වගේ කළුකඩ මිලට විකුණන්න බැහැ. ඒවාට සීමා තියෙනවා. 1986 ඛනිජ තෙල් සංස්ථා පනත අනුව ඉන්ධන අලෙවියෙන් ලැබිය හැකි උපරිම ලාභය 2.5% ක්. ඒත් ඛනිජ තෙල් සංස්ථාව විශාල ලෙස පාඩු ලබන බව සලකා පසුව මේ ප්‍රතිශතය 5% දක්වා ඉහළ දමන්න අවසර දුන්නා. එහෙත් මේ වන විට සංස්ථාව ලබන ලාභය 20% ඉක්මවනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට රජයේ නීතියක් තිබෙනවා. විශේෂයෙන් ඉන්ධන කියන්නේ රටේ ජීවන වියදම තීරණය කරන ප්‍රබල සාධකයක්.”
 
ඔහු තවදුරටත් පවසන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ එම ධූරයට පත්වන්නට පෙර දින 52 ආණ්ඩුව සමයේ දී තෙල් මිල සූත්‍රය අවශ්‍ය නැති බව පවසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වූ පසු මෙහි තෙල් මිල අඩු කළ යුතු බව අවධාරණය කළේය යන්නය. ඒ නිසා ඒ අනුව යමින් වහාම තෙල් මිල අඩු කළ යුතු යැයි හේ කියයි.
 
2019 සැප්තැම්බර්වල දැනට පවතින ඉන්ධන මිල තීරණය කර ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැලරයක මිල ඩොලර් 65ක්ව තිබියදීය. ඒ අනුව මිල ගැලපීමේදී අද ලීටරය රැපියල් 137ට අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 80ට ද, රුපියල් 161ට විකුණන ඔක්ටේන් 95 ලීටරය රුපියල් 94 බැගින් ද විකිණිය යුතු බව ඔහුගේ අදහසය. තවද රුපියල් 104 බැගින් අලෙවි කරන ඩීසල් ලීටරය රුපියල් 61 බැගින් ද, භූමිතෙල් ලීටරය දැනට විකුණන රුපියල් 70 සිට 40 දක්වා රුපියල් 30කින් අඩු කළ හැකි බවද කියයි.
 
2019 සැප්තැම්බර්වල මිල තීරණය කිරීමේදී පෙට්‍රල් ලීටරයට රුපියල් 52ක් ද, ඩීසල් ලීටරයට රැපියල් 13ක් ද ඍජු බදු අයකළ අතර සංස්ථා ලාභ හා මෙහෙයුම් වියදම පිළිවෙළින් රුපියල් 8 හා රුපියල් 7ක් ද වූ බවද කියයි. දැන් අලෙවි කරන මිල අනුව විශාල ලෙස අයුතු ලාභයක් ලබන බවද ඒ අනුව සනාථ වන බව පෙන්වා දෙයි.
 
“සංස්ථාව සමස්ත ඉන්ධනවලින් 7% ක් ඉන්දියානු තෙල් සමාගමට විකුණනවා. ඔවුන් ලීටරයට රුපියල් 4 ක් වැඩිපුර ලාභ ගන්නවා. අද පවතින මිල අනුව තෙල් සමාගම විශාල ලෙස අයුතු ලාභයක් ලබනවා. ඒ අයට හම්බකර ගන්න අපි ඉඩ දීලා තියෙනවා.”
 
ඔහු තවදුරටත් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් හෙවත් LP ගෑස්වල මිල ද සීඝ්‍රයෙන් පහළ වැටී ඇති අතර මේ වන විට රුපියල් 1493කට අලෙවි කරන ගාහස්ත ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 325කින් අඩු කළ හැකි බවය.
 
එසේ වුවද ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසන්නේ දැනට තම සමාගම මෙරට වෙළෙඳපොළට ගෑස් සැපයීමේදී රුපියල් මිලියන 350ක පාඩුවක් ලබන නිසා අඩු මිලට ගෑස් අලෙවි කළ නොහැකි බවය. තමන් රජයේ මිල නියාමනයට යටත් නිසා පාඩු ලබමින් විකිණීමට සිදුව තිබූ බව ඔහු කියයි. ලිට්රෝ සමාගමේ අලෙවි අංශයේ නිලධාරියකු පැවසුවේ මේ අවස්ථාවේ දී තමා සමාගම මිල අඩු කිරීමකට නොයන බවකි.
යසවර්ධන රුද්රිගූ